සිංහල, Colombo, Corruption

සක්විති ගේ සක්විති වැඩ


ඇගේ කථාව දැන් බිඳුණු ස්වරයකට පත්ව තිබේ දෑස් අගින් කදුළු බිදුවක් ක්ෂණිකව කඩා වැටේ.

‛‛අපි අමාරුවෙන් උපයපු සල්ලි මේ, අපි දරුවන්ගේ අනාගතය වෙනුවෙනුයි මේ දේවල් කලේ. අපි අද කර කියා ගන්න දෙයක් නැති තැනට පත් වෙලා.’’


‛‛මිරිහාන පොලීසිය’’
දැනට විනාඩි කීපයකට පෙර ප්‍රධාන දොරටුවෙන් පිවිසෙද්දී අප දෙස සැකයෙන් බැලූ ඔවුන් සියලු දෙනා දැන් අප සමග කුළුපගව සිටී.
‛‛මම නම් බය නැහැ මට වුන අසාධාරණය මම ඕනෑ කෙනෙකුට කියන්න සූදානම්’’
ඩිජිටල් කැමරාවේ තිරය ඔස්සේ පටිගත වන ඒ කටහඩ ස්ථිර වුවද සුදුමැලි විඩාබර මුහුණේ ඔහුගේ පශ්චාත්තාපය මනාව පැහැදිලි කරයි.
මේ දිගහැරෙන්නේ අපේ රාජ්‍යයේ පුරවැසියන්ගේ නොදැනුවත් කමේ කතාන්දරයද නැතිනම් පාලනයේ අසමමිතික බවද? පිළිතුරු කවරක් වුවද සිදු නොවිය යුත්තක් සිදුව තිබේ.
මම මිනිස් ගොන්නෙන් ඉදිරියට ඇදෙමි. හදිසියේ තහඩු වලින් නිමාවූ මඩුවක පේලියට මේස පුටු අසුරා තිබේ. කාකි ඇදුමෙන් සැරසුන පොලිස් නිළධාරීන් ලහි ලහියේ, පැමිණිලි පොත තුල ඉකි ගසන ජීවිත වල කථාව ලියා තබයි.
කැමරාවේ පටලය ඇරී වැසෙන ශබ්දයට පේළියට හිද සිටින මිනිසුන් මුහුණ හංගා ගනියි.
‛‛අනේ මල්ලී ෆොටෝ ගන්න නම් එපා. අම්මා එපා කියද්දී හොරෙන් තමයි සල්ලි දැම්මේ. මේ බව දැන ගත්තොත් ගෙදරිනුත් පන්නාවි. ඇගේ කටහඩ තුල ගැබ් වී ඇති පරාජිත බව මිරිහාන පොලීසියේ වා තලය තුල මුසු වෙද්දී තවත් අයෙක් පැමිණිලි පුටුවේ හිද ගනී.
පේලියට හිදගෙන සිටි පොලිස් නිළධාරීන් හිටිවනම ඉද්ද ගැසුසේ කෙළින් හිඳියි.
තරු පැළදි නිළධාරියෙක් පැමිණ අලුත්ම තත්ත්වය මාධ්‍යවේදීන්ට සහ පැමිණිලිකරුවන්ට පැහැදිලි කරයි.
මම එතැනින් නික් මී ප්‍රධාන දොරටුව වෙත යන්නට පය එසෙව්වෙමි. හෝරාවකට වැඩි කාලයක් තුල ඇසු දුටු සියල්ල චිත්‍රයක් වී යලි දිගහැරෙයි. ‛‛සක්විති පෙළහරේ’’ මතකය මෙතැකින් නිමා වේදැයි මම නොදනිමි. රටේ මූල්‍ය වගකීම් සියල්ල ඔසවා සිටින මහ බැංකුව නීතිගත නොවූ මූල්‍ය සමාගම් හෙලි දරව් කරයි. ප්‍රවීනත්වය පසෙකට විසි කර එඩ්වින් ආරියදාස ශූරින් හුදකලා වෙයි. පොලිසියේ පරීක්ෂණ සිදුවෙයි. විසඳුමක් තවමත් නැත. සමහරෙක් මාධ්‍යයට දෙස් දෙවොල් තබයි. නීතිය අවනීතිය අතර ගැටළුව නැවතත් කරළියට එයි. සක්විති නාඩගමේ අවසාන ජවනිකාවේ නළුවන් නොමැත. අපේක්ෂකයින් තුෂ්නිම් භූතව බලා හිදියි.
තැනින් තැන තවමත් සක්විති කසුකුසුව ඇසේ. මම පොලීසියට පිටුපා ත්‍රී රෝද රථයේ අසුන් ගතිමි. මාත් සමග මෙතෙක් වෙලා රැදී හුන් ත්‍රී රෝද රථ රියදුරු කටහඩ අවදි කරයි.
‛‛මිනිහා නම් ඇත්තටම සක්විති කෙනෙක් තමයි නේද? මම සිනාසී බිම බලා ගතිමි. අවසාන වරට ඒ දෙස බලමි. වයසක යුවලක් පැමිණිලි මඩුව දෙසට ලහි ලහියේ ගමන් කරනු පෙනේ.

සමන්තිලක බණ්ඩාර