Anuradhapura, සිංහල, Democracy, Peace and reconciliation

අනුරාධපුරයේ බෝම්බ ප්‍රහාරයෙන් ජානක පෙරේරා ඇතුළු 27 දෙනෙක් මරුට

අද උදෑසන 8.45ට පමණ අනුරාධපුර පරණ බස් නැවතුම් පොළ අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා(විශ්‍රාමික) මහතා ඇතුලු පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 82 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා පැවසූවා.
ප්‍රහාරයෙන් මියගිය අය අතර මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ගේ බිරිඳ,පලාත් සභා මන්ත්‍රීන් දෙදෙනෙකු වන සුනිල් දිසානායක හා නීතිඥ අනූර්ඩීන් යන මහත්වරුන් හා අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කළමණාකරු ලෙස කටයුතු කළ වෛද්‍ය ජෝන් පුල්ලෛ් මහතා හා ඔහුගේ බිරිඳ ද වනවා. මීට අමතරව නීතිඥවරු තිදෙනෙක්ද මිය ගිය අය අතර සිටින බව අනුරාධපුර පොලීසීය පැවසූවා. සිරස ප්‍රාදේශීය මාධ්‍යවේදී රෂ්මි මහරූප් මහතාද සිද්ධියෙන් මිය ගියේය.
සිද්ධිය වූ ස්ථානයේදී ම පුද්ගලයන් 22 නෙකු මියගිය බවත්, තවත් හතර දෙනෙකු රෝහලට ගෙන එන අතරතුර මියගිය බවත් රෝහල් ගත කර සිටින අයගෙන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසූහ.
සිද්ධිය වන අවස්ථාවේ ජනරාල් ජානක පෙරේරා මහතාගේ ආරක්ෂාව සඳහා රාජකාරියේ සිට ඇත්තේ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු පමණක් බවත් වාර්ථාවේ.