සිංහල, Democracy, Jaffna, Life quips, Peace and reconciliation

වන්නිය පිළිබඳ කෙටි සටහනක්

පසුගිය සැප්තැම්බර් 17 වන දින, වව්නියාවෙන් ආහාර ලොරියක් වන්නියට රැගෙන යාමේ අදහසින් මම පිටත් වුයෙමි. එය කළ නොහැක්කක් බව මට පසක් වුනේ කිළිනොච්චි දිසාපතිවරයාගේ වාහන පේලියද ඒ වනවිට නවතාගෙන ඇති බව දැනගත් පසුයි.
පසුගිය මාසයේදී මම ඕමන්තෙයි පිවිසුම්/පිටවීම් මුරපොළ හරහා කිළිනොච්චියට යන අවස්ථාවට වඩා මේ වනවිට මෙහි තත්ත්වය එහෙම පිටින්ම වෙනස්වී ඇත.කිළිනොච්චි රෝහල දක්වා පාරේ කිසිවෙකු සිටියේ නැත.

පසුගිය සතියේ මිනිසුන්ගෙන් පිරී ඉතා කාර්ය බහුලව පැවැති මුරුක්කණ්ඩි නගරය අද මිනිසුන්ගෙන් තොර, සියළු දේ ගිනිගෙන අළු දූවිලි බවට පත් කළාපයකි. බෝම්බ හා ෂෙල් ප්‍රහාර වලින් කඩසාප්පු විනාශ වී ගොසිනි. එහි විසු සියළු මිනිසුන් ප්‍රදේශයෙන් පළාගොසිනි. වට්ටකච්චි හා ධර්මපුරම් ප්‍රදේශ කරා සංක්‍රමණය වන ජනයා ඒ 9 මාර්ගය හරහා ගමන් කිරීම නිසා කිලිනොච්චි නගරය පුරා දැඩි වාහන තදබදයක් පැවතුනි. තුවාල කරුවන්ගෙන් පිරීගිය කිළිනොච්චි රෝහලේ කොරිඩෝවල පවා රෝගීන් සිටිනු දක්නට ලැබිණි.

සාමාන්‍යයෙන් ශාන්ත තෙරේසා පල්ලියේ හා වන්නි කරිටාස් ආයතනය තුළ රැඳී සිටින කතෝලික පියතුමන් ලා තමන් සතු දෑ රැගෙන පිටව යමින් සිටිනු දක්නට ලැබිණි. විදුලිය නොමැති කම නිසා කිළිනොච්චි නගරය රාත්‍රිය පුරා අඳුරේ ගිලී පවතී. නගරයේ සියළු කඩසාප්පු වසා දමා ඇති අතර සමහරුන් ඉතිරිව තිබෙන බඩු තොග කිළිනොච්චියෙන් ඉවතට ගෙන යාම සඳහා පොදි බඳිමින් සිටියහ.
දැනට සාමන්‍ය ජනතාව රැඳී සිටින වට්ටකච්චි හා ධර්මපුරම් ප්‍රදේශ ‛‛ආරක්ෂිත කළාපයක්’’ වශයෙන් නම්කරන ලෙස ඔවුන් ඉල්ලීමක් කර තිබේ. සාමාන්‍ය ජනයා වෙත පවා ගුවනින් බෝම්බ හෙළීම නිසා ඔවුන් අතර දැඩි නොසන්සුන්තාවයක් පවතී. ආහාර හා කූඩාරම් හිඟකම උග්‍ර ගැටුළුවකි. කෑමට යමක් සොයාගන්නටත්, රැඳීසිටීමට තැනක් නොමැතිකමින් මිනිසුන් පිඩාවට පත්වී සිටිති.
ග්‍රවුන්ඩ් වීව්ස් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි