සිංහල

පිළිසරණක් ලබාගැනීම සදහා !

කැකිරාවෙ ඔඵකරෙද ඉන්නව අසරණ වුනු තරුණියක් ඇගේ නම ”ආර්.පී.සුරංගිකා”

මීට අවුරුදු 10 කට විතර ඉස්සරදි ඇගේ පියා මියගියා. ඇගේ පවුලේ ඉන්නේ අම්මයි, අයියල දෙන්නයි නංගියි. ඔවුන් හුගක් දුප්පත්. මේ දවස් වල ඇයයි නංගියි ඉන්නෙ තැන් තැන් වල. ඔවුන්ගෙ අම්මයි ලොකු අයියයි හිර ගෙදර. පොඩි අයිය ආගිය අතක් නැහැ. අබලන් වෙච්ච කටුමැටි පැල තිබුනත් ඇයයි නංගියි තනියෙන් කොහොමද ඒ ගෙදර ඉන්නේ? කවුද ඔවුන්ව ආරක්ෂා කරන්නෙ? ආරක්ෂාවට හිටි අම්මයි අයියයිත් නැති කොට. ඇය පිළිසරණක් පතා ඇගේ කතාව රටේ ප‍්‍රධාන පුරවැසියට ලියායැවුව. මේ ඇගේ කතාවයි.

පිළිසරණක් ලබා ගැනීම සදහා

ගරු ජනධිපතිතුමනි,

ආර්.පී.සුරංගිකා වන මම දැනට කලා අංශයෙන් අ.පො.ස (උ.පෙ) හදාරන අතර මගේ පුංච් නැගණිය දැනට 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. අප දෙදෙනා පත්වී ඇති අසරණ තත්වය කීමට කිසිදු කෙනෙකු නොමැති තැන ඔබ තුමාට ලිවීමට අදහස් කරම්. එය මේසේය, මගේ සහෝදරයකු වන ආර්.පී.රුවන් රත්නසිරි කුඩා කාළයේ සිට කැකිරාව ඔළුකරද, සෑම් ද සිල්වා නැමැති ගුරු මහතකුගේ ගෙදර සේවය කළා. මෙම ගුරු මහතා මගේ මවගෙන් අයියා ඉල්ලාගෙන ගියේ ඔහුගේ අනාගතය සකසා දෙන බව කියා අපේ අම්මාව රවටාගෙනයි. පසුව අනාගතය කෙසේ වෙතත් කිසිදු වැටුපක් හෝ නොගෙවු නිසා අයියා විසින් එම නිවසේ ඔහු පාවිච්ච් කරන ලද කුඩා පාපැදිය රැගෙනගියා. එහිදී ඔවුන් අයියාව කැකිරාව පොළීසියට භාරදී අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. අධිකරණයේදී අයියාට ඇප නියම කලා. අපිට මුදල් නොමැති නිසා අපේ අම්මයි ලොකු අයියයි ශරීර ඇප තියල අපේ අයියව බේරා ගනු ලැබුව.

එහෙත් ඇප දී ගෙදර ආදා සිට මේ වන තෙක් ඔහු ආගිය තැනක් අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා ඇපකරුවන් වන මගේ මවට සහ සහෝදරයාට ශරීර ඇපය මුදල් ඇපයක් බවට පත්කර අධිකරණයට ගෙවීමට ගරු අධිකරණය විසින් දන්වා එවුවා.

ගරු ජනාධිපතිතුමණි,

එදා වේල පවා සොයා ගැනීමට නොහැකි තත්වයක සිටින අපහට රුපියල් ලක්ෂයක් කියන්නෙ හිනයක්. අපගේ පියා මියගොස් දැනට වසර දහයක් වන අතර මව විසින් අපව නඩත්තු කරනු ලැබුවේ කඩ කෑම සාදාය. භාගෙට හදන ලද කටු මැටි ගසන ලද කිසිදු ආරක්‍ෂාවක් නැති පැල්පතක සිටි අප දෙදෙනා (නංගි සහ මම) දැනට පත්ව සිටින්නේ සිටිය තත්වයටත් වඩා ඉතා අසරණ තත්වයකටයි. මගේ මවට සහ වැඩිමහල් සහෝදරයා හට 2007.07.25 දින ගරු අධිකරණය විසින් මාස හයක සිර දඩුවම් නියම කරන ලදි. මම සහ මගේ බාල සහෝදරිය පසුගිය දින කිහිපය සිටියේද හරි හැටි ආහාරයක්වත් නොමැතිවයි. යන්න එන්න තැනක් වත් නැති නිසා කිසිදු ආරක්ෂාවක් නැති අප නිවසේම අප හට ඉන්නට සිදුවී තිබෙනවා. මේ නිසා කුමන වේලාවක අපගේ ජීවිත විනාශ වේ දැයි කීමට නොහැක.

ගරු ජනාධ්පතිතුමණි,

මම සහ මගේ නංගි අධ්‍යාපනය හදාරණ නිසා අපට රැුකියාවක් කළ නොහැක, කුළී වැඩක් කරල හරි අපිව පෝෂණය කරපු මගේ සහෝදරයාවත් අපට ආරක්ෂාව ලබාදීපු අපේ මවත් බේරාදෙන ලෙස ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිම්. එසේ නොමැති විටදි මට සහ මගේ නංගියාට අධ්‍යාපනය හැදෑරීමට නොහැකිවනු ඇත. තවද මගේ මව අධික රුධිර පීඩනයෙන් හා තවත් රෝග ගනනාවකින් පෙළෙන නිසා ඇය සිරගෙය තුළදී මියයනු ඇත. එසේ වුවහොත් අපි දෙදෙනාට කරගැනීමට කිසිදු දෙයක් නොමැති තැනදී අපගේ ජීවිත ද විනාශ වී යාවී.

ගරු ජනාධ්පතිතුමණි,

ඉහත කරුණු ගැන සලකා බලා ඔබතුමාගේ කාරුණික අවධානය අසරණ මගේ සහෝදරියට හා මාහට යොමුකර අපහට පිහිට වෙන්න කියා දස දහස් වාරයක් කාරුණිකව ඉල්ලා සිටින අතර ඔබතුමාට ජය ශ‍්‍රීමා බෝ සමිදු පිහිට පතමි.

මෙයට අසරණබවට පත් දරු දෙදෙනා

ආර්.පී.සුරංගිකා (අක්කා)
ආර්.පී.ලංකා තිළිණි (නංගි)