සිංහල, Corruption, Puttalam

සිංගප්පූරු යවන බව පවසා රු. ලක්‍ෂ 6 ක් වංචා කරලා

සිංගප්පූරු යවා එරට රැකියා ලබා දෙන බවට පොරෙන්දු වී රුපියල් ලක්‍ෂ හයකට වැඩි මුදලක් වංචා කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් නාත්තන්ඩිය, කිරිමැටියාන ප්‍රදේශයෙන් වාර්තා වේ. නාත්තන්ඩිය හා අවට ප්‍රදේශ කිහිපයක පදිංචි තරුණයින් හයදෙනෙකු සිංගප්පූරු යවන බව පවසා මෙම මුදල් වංචාව සිදුකර ඇතැයි මුලාවට ලක් වූ එක් තරුණයකු වන නො.20, අක්කර අසූව, නාත්තන්ඩිය යන ලිපිනයෙහි පදිංචි ඒ. පී. සම්පත් ප්‍රියරංජන (28) නැමති තරුණයා පැවසීය.

මෙම තරුණයින් පවසන ආකාරයට ඔවුන්ගෙන් මුදල් අයතා ලෙස ලබාගෙන ඇත්තේ නාත්තන්ඩිය, කිරිමැටියාන ප්‍රදේශයේ පදිංචි ඩබ්.එම්.පී. කුලසේකර යන අයයි. මොවුන් පසුව සොයාගෙන ඇති තොරතුරුවලට අනුව මෙම පුද්ගලයා කලක පටන් බොරුවට රට යැවීමේ ජාවාරම සිදුකරමින් සිට ඇත. මෙම පුද්ගලයා සතුව විවිධ නම්වලින් යුත් පාස්පෝර්ට් තුනක් ද පවතින බව ඉහත තරුණ පිරිස අනාවරණය කරගෙන ඇත.

එම්. පී. කුලසේකර යන අය 2008 ජනවාරි මාසයේ දී තරුණයින් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිංගප්පූරුවට යවා ඇති බවත් එම පිරිස රවටා මාස දෙකකින් ආපසු මෙරටට ගෙන්වා ඇති බවත් මෙම පිරිස තව දුරටත් පෙන්වා දෙයි. එම 18 ටේ කණ්ඩායමට හසු වූ ඒ. පී. සම්පත් ප්‍රියරංජන තරුණයාව නැවතත් කුලසේකර යන අය රවටා ඇති අතර ඔහුගෙන් රු. ලක්‍ෂ දෙකකට අධික මුදලක් වංචා සහගතව ලබාගෙන ඇත.

මෙම වංචාව පිළිබඳව වෙන්නප්පුව සහකාර පෙලිස් අධිකාරී කාර්යාලයට සහ මාරවිල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ඒ. පී. සම්පත් ප්‍රියරංජන ඇතුළු පිරිස පැමිණිලි ඉදිරිපත් කර ඇත. නමුත් මෙතෙක් ඒ පිළිබඳව කිසිදු පරීක්‍ෂණයක් සිදුකර නැතැයි මෙම පිරිස පවසති. නිතර පොලිසියට මේ පිළිබඳව මතක් කළ ද පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ සැකකරු සැඟව සිටින ස්ථානය සොයා දන්වන ලෙස ය. ඊට පසුව පියවර ගතහැති බවය.

එමෙන්ම, වංචාකර ලබාගත් මුදල් නැවත ලබා ගැනීම සඳහා එම්. පී. කුලසේකරගේ නිවසට ගිය විට ඔහුගේ බිරිඳ තමන්ට විවිධ ආකාරයෙන් තර්ජනය කරන බව ද මෙම තරුණයින් පවසා සිටී. තමන් තිස්සමහාරාමයේ බවත් ඇයගේ සොහොයුරා එහි ග්‍රාමසේවා නිළධාරියෙකු වන බවත් ආරක්‍ෂක ලේකම් ගෝඨාබය රාජපක්‍ෂ මහතා ලඟින් ඇසුරු කරණ බවත් පවසමින් දිනෙන් දින තම මුදල් නොදී මගහරින බව මෙම පිරිස පවසයි.

එදිනෙදා කුලී වැඩ කරමින් නොකා නොබී හරිහම්බ කළ මුදල් මෙසේ වංචා කළ පුද්ගලයාව කෙසේ හෝ අත්අඩංගුවට ගෙන තමන්ට සාධාරණය ඉටුකර දෙන ලෙසත් මින් පසු මෙවන් වංචා සිදුකීරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන ලෙසත් වගකිව යුත්තන්ගෙන් මෙම මුදල් වංචාවට හසුවූ පිරිස ඉල්ලා සිටී.

සම්පත් රොහණ