සිංහල, Corruption, Matale

නොරිටාකේ ගොඩනැගිලි විකුණයි

මාතලේ නොරිටාකේ පෝසිලෙන් සමාගම, සිය ආයතනය සතුව පවතින ගොඩනැගිලි හා දේපල විකිණීමේ සුදානමක් පවතින බවට එහි සේවකයෝ ප්‍රකාශ කර සිටියහ.

මේ පිළිබඳව කළ විමසීමකදී මධ්‍යම පළාත් සභාවේ සභාපති ඩබ්.එම්. යසමාන්න මහතා පවසා සිටියේ තමටද මේ පිළිබඳව දැනගන්නට ලැබී ඇති බවත් තමන් මේ පිලිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට හා ජනාධිපතිවරයාටද දැනුම් දී ඇතිබවත්ය. ඔහු වැඩි දුරටත් ප්‍රකාශකර සිටියේ පෝසිලේන් සමාගමට අයිති කොළඹ පිහිටි ගොඩනැගිල්ලක් විකිණිම සඳහා සූදානම් කර තිබෙන බවද තමාට දැනගන්නට ලැබී ඇති බවයි. මෙසේ ගොඩනැගිලි විකුණනු ලබන්නේ කුමක් නිසාදැයි අප විමසුවිට ඔහු ප්‍රකාශ කොට සිටියේ, “අපට පළපුරුද්දක් තියනවා මෙවැනි දේ සිදුවන විට හිටපු ගමන් මේවා වහලා දාලා යනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතිනවා.”

එදහස් නවසිය හැත්තෑව(1970) වසරේ දී ආරම්භ කරන ලද ලංකා පෝසිලෙන් සමාගම වර්තමානය වනවිට නොරිටාකේ පෝසිලෙන් සමාගම නමින් තම නිශ්පාදන කටයුතු සිදුකරමින් සිටියි. රත්තොට පෙල්ස්පාර් පතල ද මෙම සමාගම යටතේ පවතී. මෙම ව්‍යපෘතිය මඟින් මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට මෙන්ම ජාතික ආර්ථිකයට ද විශාල ආදායමක් එක්කරනු ලබයි.
මේ පිළිබද නොරිටාකේ පෝසිලෙන් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකුවන මනෝ වික්‍රමසූරිය මහතාගෙන් කරුණු විමසීමකදී ඔහු පවසා සිටියේ “මෙවැනි කිසිවක් තම ආයතනය තුළ සිදුනොවන බවයි.”