සිංහල, Colombo, Democracy, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – විවාදය – ප්‍රභාකරන්ගෙන් පසු

සුනන්ද දේශප්‍රිය

එල්ටීටීඊය ලබමින් සිටින යුද්ධමය පරාජයන් විසින් එය සංවිධානමය වශයෙන් සහමුලින්ම විනාශ වනු ඇත් ද? එසේ නම් ඉන් පසු කුමක්ද යන්න අද දේශපාලන වශයෙන් ශ්‍රී ලංකාවට වැදගත්ම ප්‍රශ්නය වියහැකි ය. නමුත් කණගාටුවට කරුණක් වන්නේ ඒ අරභයා වන දැනුවත් සාකච්ඡාවක් රට තුල නොපැවතීම යි. ඇත්තේ ඒක පාර්ශවීය මත ප්‍රකාශ වීම පමණි. පුරවැසියා දැනුවත් කැරෙන කිසිදු සාකච්ඡාවක් නැත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැනුමක් ඇති දේශපාලන විචාරකයින් දැන් මෙම සාකච්ඡාව අන්තර් ජාතික වශයෙන් ආරම්භ කොට තිබේ.

අප බොහෝ දෙනෙකු දන්නා දයාන් ජයතිලක මහතා ජීනීවා නුවර ශ්‍රී ලංකා තානාපතිවරයා ය. එනමුත් මෙම ප්‍රශ්නය අරභයා ස්වකීය පුද්ගලික මතය ප්‍රකාශ කිරිමට පැකිලෙන්නේ නැත:

“2009 අභියෝගය දේශපාලන සහ යුදමය එකකි. ප්‍රථමයෙන්ම මුලතිව් ජයග්‍රහණය එල්ටීටීඊ යට ගෙරිල්ලා/ත්‍රස්ත බලවේගයක් ලෙස පැවැතීමට නොහැකි වන ලෙස සර්ව සම්පූර්ණ කළ යුතු ය. ඒ හා සමඟම දෙවනුව මෙරට දෙමළ ජනයාට තමන් ශ්‍රී ලංකාවෙහි සමාන අයිතිවාසිකම් සහ අව්‍යාජ ප්‍රාදේශිය ස්වායත්තතාවය භුක්ති විදින පූර්ණ පුරවැසියන්ය යන හැගීම ඇති කරවිය හැකි පරිදි ශ්‍රී ලංකාවේ සමාජ ගිවිසුම සබුද්ධික සහ ප්‍රතිසංස්කරණවාදි ලෙස සකස් කළ යුතු ය.

ශ්‍රී ලංකාවට යුද්ධය දිනීමෙන් පසු වැරදි දෙකක් මත සාමයෙන් පැරදිය හැකිය. පළමුවැන්න නම් බෙදුම්වාදී දේශපාලන ව්‍යාපෘතියට දිගටම පැවැතීමට ඉඩ දීම ය. එසේ වුවහොත් යුදබිමෙහි දිනාගත් දේ සාමයෙන් නැති විය හැකි ය. ඒ තරමටම හානිකර අනෙක් වරද වන්නේ දෙමළ සුළුතරය පෙළෙන විශම සැළකීම්, අපේක්ෂා භංගත්වය සහ තනිකරනු ලැබීම ඉක්මනින් දුරැලීමට අසමත්වන පරිදි අව්‍යජත්වය, නම්‍යශීලී බව, සබුද්ධික සහ ඥානාන්විත බව නොපෙන්වීම ය.”

අද ශ්‍රී ලංකාවෙහි එවැනි සබුද්ධික අව්‍යාජ දේශපාලන පෙළ ගැස්මක් ඇත්ද නැත්ද යන්න තීරණය කිරීම පාඨකයාට බාර ය.

ශ්‍රී ලංකාව ගැන එල්ටීටීඊ නොවන දෙමළ දෘෂ්ඨි කෝණයකින් සිය විශ්ලේෂනයන්හි යෙදෙනෙ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන රාජන් හූල් කියන්නේ මෙසේ ය:

“කොළඹ ආණ්ඩුව සිය යුද ව්‍යාපාරය කර ගෙන යන්නේ දරුණු මාධ්‍ය වාරණයක් ඇතිව ය. ආණ්ඩුව දේශපාලන විසඳුමක් ඉදිරිපත් කර ඒ අතර දෙමළ ජනයාගේ ආරක්ෂාව සහතික කළේ නම් දරුණු මර්දනයකින් තොරව කැරලිකරුවන්ගේ දේශපාලන පරාජය සහතික කරන්නට ඉඩ තිබුණි. සුලුතර ජනයා දිනා ගැනීම සහ රට එක්සත් කිරීම සඳහා වූ දේශපාලන දැක්මක් නැතිකම විසින් “ත්‍රස්තයට එරෙහිව යුද්ධය” සුලුතර ජනයාට එරෙහි රාජ්‍ය ත්‍රස්තවාදය සඳහා අවසරයක් බවට පත් ව ඇත.

“2006 සිට මේ වන විට 1,500 කට වැඩි දෙමළ සිවිල් වැසියන් රාජ්‍ය ඔත්තු සේවා යටතේ ක්‍රියාත්මක වන මිනීමරු කණ්ඩායම් විසින් ඝාතනය කර තිබේ. ජනවාරි අග වන විට උතුරු ශ්‍රී ලංකාවෙහි ආණ්ඩුවේ බෝම්බ සහ ෂෙල් ප්‍රහාර නිසා දිනපතා සිවිල් වැසියන් 35 දෙනෙකු පමණ මිය යමින් සිටිති.

“අවසාන විග්‍රහයේ දී කොළඹ ආණ්ඩුවට දෙමළ ජනයා දිනා ගත හැකි ක්‍රම තිබුනි. එල්ටීටිඊ යේ ක්‍රියාකාරිත්වය නොසළකා දෙමළ ජනයාට දේශපාලන අයිතිවාසිකම් ඇතිබව පිළිගැනීම මගින් යුද්ධය අතර තුරදීම මානව හිමිකම් ආරක්ෂා කිරිමට කටයුතු කිරීම ය. එමගින් ජීවිත හානි අවම කිරීමට තිබුණි. එනමුත් රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කළේ උතුරු නැගෙනහිරට මහත් හානි ඇති කරන එහි ජනයාගේ මානසිකත්වය බිද දමන සහ මාධ්‍ය මර්ධනය මගින් විපතේ ස්වභාවය සිංහල ජනයාගෙන් වසං කරන සිංහල අන්තවාදි උපදෙස් ය.

“පසුගිය තිස්වසර පුරා උතුරු නැගෙනහිර ජනයා කෙරෙහි දක්වන ලද ආකල්පය නිසා එහි ජනයා කොළඹ ආණ්ඩුවෙන් මහත් සේ දුරස් ව සිටිති. ශ්‍රී ලංකාව යළි හරි පාරට ගැනීමට නම් සැබෑ බලය බෙදීමක් ලබා දෙන දේශපාලන විසඳුමක් අවශ්‍ය ය. ශ්‍රී ලංකාවේ ජනයාට අවශ්‍ය වන්නේ නැගෙනහිර දී යුද හමුදාවන්හි අධාරක බලවේගයන් බලයේ පිහිට වු වර්ගයේ බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් නොවේ. ඒ සඳහා පරිපාලනය යුදමය කිරිම නවතා ජනයාගේ අයිතීන්ට ඉඩ දිය යුතු ය.”

අහීලන් කදිරගාමර් ද එල්ටීටීඊ කෙරෙහි විවේචනාත්මක ආකල්පයක් දරණ දෙමළ බුද්ධිමතෙකි. ඔහු කියන්නේ මෙසේ ය:

“පශ්චාත් එල්ටීටීඊ කාලපරිච්ඡේදය ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියම යළි සකස් කිරීමේ හැකියාවකින් යුතු එකකි. නමුත් අනෙත් අතට පශ්චාත් එල්ටීටිඊ කාල පරිච්ඡේදය බහුතරයේ බලය තව දුරටත් තහවුරු කැරෙන කාලයක් වනු ඇතැයි තර්ක කරන පිරිස් ද සිටිති. මෙම ජයග්‍රහණය සිංහල බෞද්ධ ජාතිකවාදයේ ජයග්‍රහණයක් ලෙස සැළකෙනු ඇතැයි ද කිසිදු යුද්ධයක් පරාජිතයාට සැළකීමක් දක්වා නැතැයි ද ඔව්හු කියති. එවැනි තත්ත්වයක් ඇති වුව හොත් අවාසනාවන්ත ලෙස සිදුවනු ඇත්තේ ජාතික ප්‍රශ්නයට විසදුමක් ලබා ගැනීම යළි කල් යාමකි.

“යුද්ධයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණ සහ ජනාධිපතිවරණ පවත්වා මහින්ද රාජපක්ෂ පාලනය ජය දිනා ගන්නවා ඇත. මර්දනයට පත් කොට ඇති දෙමළ සමාජ දේශපාලනය යළි ඉදිරියට ගැනිම පිණිස නව දෙමළ දේශපාලන නායකත්වයක් අවශ්‍ය ය. එලඹෙන විසිපස් වසර එනම් ප්‍රථම පශ්චාත් එල්ටීටීඊ කාල පරිච්ජේදය එකිනෙකට සහමුලින්ම වෙනස් හැකියාවන්ගෙන් යුතු එකකි. එකක් නම් ප්‍රජාවන් බෙදා වෙන් කරන බහුතරවාදි මර්දනය දිගටම පැවැතිම ය. අනෙක් නම් සුලුතර ජනයාට සාධරණ දේශපාලන ක්‍රියාදාමයක් විවර කර දී ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම ය.”

එල්ටීටීඊ නොවන දෙමළ දේශපාලනය දැන් අපේක්ෂා කරන්නේ දයාන් ජයතිලක ද කියා සිටින පරිදි අව්‍යාජ බලය බෙදීමක් සහිත නව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියකි.

බලය බෙදීමක් සිදුවිය හැක්කේ කෙළෙසද යන ප්‍රශ්නයට ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂඥයකු වන අධිනීතිඥ ජයම්පතී වික්‍රමරත්න මහතා මෙසේ පිළිතුරු දෙයි:

“ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවන ශ්‍රීලනිප ය ස්ථාවරයක් ගැනීමයි ඉතාම වැදගත්. අනෙත් අතට බලය බෙදිමට විරුද්ධව ආණ්ඩුවේම කොටස්කරුවන්ගෙන් තෙරපුමක් තිබෙනවා. යුද ජයග්‍රහණයන්ගෙන් පස්සේ මට පෙනෙන්නේ බලය බෙදීමට තිබෙන කැපවීම ක්‍රමයෙන් අඩු වී යාමක්. අන්තිමේ දි මෙය තීරණය වන්නේ ශ්‍රීලනිපය උඩ. එය ස්ථාවරයක් ගත යුතු යි. බලය නියමාකාරයෙන් බෙදන විසදුමක් ආවොත් එය විසින් එල්ටීටීඊ ය දේශපාලන වශයෙන් ඉවර කර දමාවි”

එය සිදුවිය හැකිද නැත්ද යන්න තවමත් අවිනිශ්චිතය. නිදහස් දින කතාවේ දී නම් ජනාධිපතිවරයා එවැනි කිසිදු ඇඟවීමක් කළේ නැත.

(දළ අනුවාදයන් යසප්කිදමඑය්ිස්බ පෙබරවාරි කලාපයේ ලිපි අසුරෙනි)