සිංහල, Colombo, Democracy, Peace and reconciliation

ප‍ශ්චාත් යුද්ධ විවාදය – දෙමළ ජාතිකවාදි සාකච්ජාව

සුනන්ද දේශප්‍රිය

භූමි ප්‍රදේශයන් පාලනය කරන්නාවූත් සහ පාබල සටන් හි යෙදීමට හැකියාව ඇත්තාවූත් යුදමය සංවිධානයක් ලෙස එල්ටීටීඊ යේ පරාජය දැන් තීන්දු වී හමාර ය. එනමුත් ඒ බව පිළි ගන්නා මෙන්ම පිළිනොගන්නා දෙමළ ජාතිකවාදී පිරිස් සිටිති. දෙමළ දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණීම දැන් හොඳම තෝරා ගැනීම බව යුදමය පරාජය පිළිගන්නා පිරිස් කියා සිටිති. ඔවුන් කියා සිටින්නේ නව දෙමළ දේශපාලන නායකත්වයක් බිහිවීම දැන් අත්‍යවශය බව යි. ආණ්ඩුව සමග එල්ටීටීඊ විරෝධි යුද්ධයේ කොටස්කරුවන් වු දෙමළ දේශපාල කණ්ඩායම්වලට එම අවකාශය පිරවීමට නොහැකි බව මෙම බොහෝ දෙනා කියා සිටිති.

අනෙක් පිරිස් එවැනි යෝජනා පිළිගන්නේ නැත. උදාහරණයක් වශයෙන් ඔව්හු අවි ආයුධ බිම තබා දේශපාලන ප්‍රවාහයට පැමිණෙන සේ අන්තර් ජාතික ප්‍රජාව විසින් එල්ටීටීඊ යට කරන ලද යෝජනාව සම්බන්ධයෙන් එවැනි පිරිස් උග්‍ර විරෝධයක් දැක්වුහ. එල්ටීටීඊ ය තවමත් යුද්ධමය වශයෙන් ශක්තිමත්ය යනුවෙන් එවැනි සමහර පිරිස් කියා සිටියහ. උතුරු නැගෙනහිර දේශපාලනය තුළ එල්ටීටීඊ ය සිය ආධිපත්‍ය තවදුරටත් පවත්වා ගනු ඇතැයි මෙම පිරිස් කියා සිටිති. දෙමළ ජාතික සංධානය දරන්නේ ද මෙම අදහස ය.

වත්මන් තත්ත්වය යටතේ දේශපාලන බැලපෑමක් ඇති කළ හැකි පුරවැසි සාකචාජාවක් ගැන සිතීම දුෂ්කර බව සැබෑය. එසේ වෙතත් දෙමළ දේශපාලනය තුළ කැරෙන මෙම විවාදයන් දැන ගැනීම පශ්චාත් යුද්ධ වර්ධනයන් පිළිබඳ අපේ අවබෝධය පුළුල් කර ගැනීමට වැදගත් ය.

නොර්වේ, ජපානය, ඇමෙරිකාව සහ යුරෝපීය සංගමය යන සාම සාකච්ජා සම සභාපති මණ්ඩලය නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දැක් වූ ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවියේ කතුවැකිය මෙසේ කීවා ය.

“සිංහල රාජ්‍යයේ මහජාතිවාදය හෙළා දැකීමට අන්තර් ජාතික ප්‍රජාව කිසිවිටෙක සමත් වුයේ නැත. දැන් එම මහජාතිවාදය බලවත්ව ඇතිවිට ඔව්හු ඊට යටත් වී දෙමළ ජනයාට ද ඊට යටත්වන ලෙස කියති. මෙමගින් සම සභාපතිවරු දෙමළ ජනයා සතු සිය අයිතීන් දිනා ගැනීමේ හැකියාවත් දෙමළ ජනයාගේ පැවැත්මත් යුද බිමෙහි ලබන ජය පරාජයන්ට යටත් කර තිබේ. අප මීට පෙර ද කියා ඇති පරිදි මෙම දිවයිනට යුද්ධය ගෙන ආවේ සිංහල මහජාතිවාදය විසිනි. සන්නද්ධ අරගලය මතුවුයේ ඊට ප්‍රතිචාරයක් ලෙස ය. දැන් අප ඉගෙන ගතයුතු පාඩම මෙයයි: සිංහළ ආධිපත්‍යට එරෙහිව අප ප්‍රබලව නැගී සිටිය හොත් පමණක් අන්තර් ජාතික ප්‍රජාව අපේ අරගලයේ ප්‍රතිඵලය පිළිගනු ඇත.”

නව දිල්ලියේ සිට ලියන තවත් විශ්ලේෂකයකු කළ විග්‍රහය මෙසේ ය:

“අන්තර් ජාතික ප්‍රජාව රාජපක්ෂ පාලනය ශක්තිමත් කිරිම පිනිස දෙමළ පාර්ශවය දුර්වල කළ බව ඉතා පැහැසුදිළි ය. එල්ටීටීඊ ය තවමත් දකුණේ හෝ ආර්ථිකය මත ප්‍රහාරයන් කර නැත්තේ අන්තර් ජාතික පිළිගැනිමක් ලබා ගැනිමට විය හැකි ය. එල්ටීටීඊ ය ගෙරිල්ලා හමුදාවක් බවට පරිවර්ථනය වූ විට එය වඩා දරුණු විය හැකි ය.

එල්ටීටීඊ ය ද ජවිපෙ මෙන් පරිනාමය වනු ඇතැයි සමහරු සිතති. ජවිපෙ සිංහල බෙෘද්ධ ජාතිය තුළ උපන් ව්‍යාපාරයක් බවත් එල්ටීටීඊ ය නව ජාතියක් බිහි කිරීමට ඉපදුනු ව්‍යාපාරයක් බවත් ඔව්හු තේරුම් ගන්නේ නැත. එල්ටීටීඊයට දේශපාලන භූමිකාවක් නොදීමෙන් රාජපක්ෂ පාලනය දක්වා ඇත්තේ සිය නොදන්නාකම පෙන්වීම ය. වාර්ගික ජාතිකවාදය තේරුම් නොගෙන ශ්‍රී ලංකාවේ ගැටුම තේරුම් ගත නොහැකි ය.”

දෙමළ ජාතික සංධානයේ තරුණ සහ සටන්කාමි මංත්‍රිවරයකුවන සෙල්වරාජා කජේන්ද්‍රන් මෙසේ කිවේ ය:

“භූමි ප්‍රදේශයන්හි පාලනය එල්ටීටීඊ ය අතින් ගිලිහී යමින් තිබෙන්නේ ය සහ දෙමළ ජනයා සිය විමුක්තිය සඳහා අරගලය අතහැර දමා ඇත්තේ ය යන සම සභාපතිවවරුන්ගේ නිගමනය වැරදි ය.

ආයුධ බිම තබා ජනඝාතක කොළඹ ආණ්ඩුවෙන් සමාවක් ලබා ගන්නා සේ කැරෙන සම සභාපතිවරුන්ගේ ඉල්ලීම ඔවුන් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රකාශකයන් බව පෙන්වාල යි.

එමෙන්ම සම සභාපතිවරු් මූලික ප්‍රශ්නයෙන් මඟහරිති. එනම් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යුහය තුළ දේශපාලන විසදුමකට ඉඩක් නැත යන්න යි. ඔව්න් උදව් කරන්නේ යුදමය විසදුමට පමණි. කෙටියෙන් කියන්නේ නම් සම සභාපතිවරුන් ඉල්ලා සිටින්නේ දෙමඵ ජනයාට යටත්ව ජීවත්වන ලෙස ය.

තවද දෙමළ ජනයාගේ පැවැත්මත් කදවුරු ජීවිතයත් සුරක්ෂිත කරන ලෙස සම සභාපතිවරු ඉල්ලති. නමුත් මානව හිමිකම් සුරකින සේ කොළඹ ආණ්ඩුව නම්මවා ගැනීමට තමන්ට නොහැකි වු බව ඔව්හු හොදින් ම දනිති.

ලංකාවේ දෙමළ ජනයාට ආරක්ෂාව සහ ගරුත්වය ඇතිව ජිවත්විය හැක්කේ තමන් විසින් ම තොරා ගත් දෙමළ පාලනයක් යටතේ බව සම සභාපතිවරු දැන දැනම අමතක කරති. ”

දෙමළ ජාතික සංධානයේ ජාත්‍යන්තර කමිටුව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව දෙමළ ජාතිය සහ සිංහළ ජාතිය යන ජාතීන් දෙකෙන් සමන්විත බවත් කොළඹ ආණ්ඩුව සහ එල්ටීටීඊ ය එම ජාතීන් දෙක නියෝජනය කරන බවත් ය. එම පිළිගැනීමෙන් තොර කිසිදු විසදුමක් සාර්ථක නොවන්නේයැයි එය සම සභාපතිවරුන්ට විවේචනයක් වශයෙන් කියා සිටියේය.

මෙම පිරිස් එල්ටීටීඊය එසේත් නැත්නම් දෙමළ රණකාමී ජාතිකවාදය විනාශ වී යනු ඇතැයි විශ්වාස කරන්නේ නැත. එල්ටීටීඊ ය හුදෙක් සංවිධානයක් නොව කාලයක් පුරා මුල්බැස ගත් අදහසක් බව මෙවැනි පිරිස් කියා සිටිති. එමෙන්ම එම අදහස සහ එහි සංවිධානාත්මක මුහුණුවර තවදුරටත් විකල්පයක් ලෙස පවතිනු ඇති බවත් පැවැතිය යුතු බවත් කියති. මේ හැම අයකුම ඊට හේතු වශයෙන් දක්වන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සිංහල අධිපත්‍යයේ උපකරණයක් බවත් එය වෙනස් කළ නොහැකි බවත් ය. දේශපාලන විසදුමක් ඇතිකර ගැනීමට දරන ලද සියළු උත්සාහයන් එල්ටීටීඊ ය බැරුරුම් ලෙස නොසළකන ලද්දේ එම මතවාදය උඩ ය.

නමුත් අනෙක් අතට එල්ටීටීයේ පරාජය යථාර්තයක් ලෙස පිළිගනිමින් ඊට හේතු මොනවාද යන්න විදේශගත දෙමළ ප්‍රජාව අතර උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. එහෙත් කණගාටුවකට මෙන් එම සාකච්ජාව තවමත් කැරෙන්නේ පෙනෙන විදියට ඉංග්‍රිසි බසින් පමණි. හරියට දේශපාලන විසදුමක් පිළිබඳ සාක්චජාව ද ප්‍රධාන වශයෙන්ම ඉංග්‍රිසි බසින් කැරෙන පරිදි ය. එම සාකච්ජාව පිළිබඳව ලබන සතියේ ලිවීමට අපේක්ෂා කරමි.