සිංහල, Batticaloa, Democracy, Peace and reconciliation

ටීඑම්වීපී ය සන්නද්ධ අංශය විසුරුවයි….!

tmvp-vikalpa-1.jpg

ටීඑම්වීපී හෙවත් දෙමළ මහජන විමුක්ති කොටි සංවිධානය අද(7) මඩකළපුවේ වෙබර් ක්‍රීඩාංගණයේ පැවැති නිළ උත්සවකයදී තමන් සතු ආයුධ තොගයක් මඩකළපුව බලසේනාධිපති බ්‍රගේඩියර් සම්පත් පෙරේරා මහතා වෙත බාරදෙනු ලැබීය. එම පක්ෂයේ වාකරේ සන්නද්ධ නායක දේවකාන්ත් හා තොප්පිගල සන්නද්ධ නායක අජිත් මෙහිදී සංකේතාත්මකව බ්‍රගේඩියර්වරයා වෙත ආයුධ භාරදෙනු ලැබූ අතර නැගෙනහිර පළාත් මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, මඩකළපුව නගරාධිපතිනි ශිවගීතා ප්‍රභාකරන් මහත්මිය ඇතුළු එම පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් රැසක් එම අවස්ථාවට සහභාගී වීය.

එම උත්සවයෙන් පසුව මඩකලපුව නගර ශාලාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ නැගෙනහිර මහඇමතිවරයා ප්‍රකාශකලේ ‛‛1983 න් පස්සේ ජනවාර්ගික අර්බූදය වැඩි වීම නිසා ලංකාවේ අයුධ සංස්කෘතියක් බිහි වුනා. මේ හේතුව නිසා විවිධ ආයුධ සන්නද්ධ කණ්ඩායම් ඇති වූ නමුත් අද වන විට අප දන්නවා ආයුධ බලයෙන් අපේ අයිතිවාසිකම් දිනාගත නොහැකි බව. මේ වනතෙක් අපි සම්පුර්ණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇවිත් තිබුනේ නැහැ නමුත් මහජනතාවගේ උදවු ඇතිව අපි මෙම දේශපාලන ගමන මේතාක් දුර ඇවිත් තියෙනව දැන් අපි ලැස්තියි ආයුධ අත්හැර සම්පුර්ණයෙන් ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇතුළු වෙන්න. මින් මතුවට ගැටලු සහගත තත්ත්වයක් මතු උවහොත් අපි ජනාධිපතිවරයා සමග එය සාකච්ඡා කර විසඳුම් සොයාගන්නවා. මේ අතර අපේ ප්‍රධාන ගැටළුව වන්නේ අපේ සාමාජිකයන්ට අනාගතයේදී කළයුත්තේ කුමක්ද කියායි. මේවන විටත් මම විවිධ සංවිධානවල උදව් ඇතිව ඒ සඳහා ඉදිරි සැලසුම් සකස් කරමින් සිටිනවා.’’
මේ අතර මාධවේදීන් විසින් කරුණා අම්මාන් ආයුධ භාරනොදෙන්නේ ඇයි යනුවෙන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහඇමතිවරයා පැවසූවේ ඔහුටද ආයුධ අතැතිව තවදුරටත් මේ ගමන යාමට නොහැකි නිසා ඔහුත් හැකි ඉක්මනින්ම ආයුධ බාරදුන්නොත් හොදයි බවයි.