සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

තමිල්නාඩු දේශපාලනය සහ ශ්‍රී ලංකාව

සුනන්ද දේශප්‍රිය

තමිල්නාඩුවෙහි ඇතිවෙමින් යන සමාජ – දේශපාලන මතවාදි වෙනස්කම් ශ්‍රී ලංකාවේ ඉදිරි දේශපාලන වර්ධනයන්ට තිරණාත්මක වැදගත්කමකින් යුතු ය. තමිල්නාඩුව භුමිය අතින් ඉන්දියාවේ 11වන ප්‍රාන්තය වන අතර ජනගහණය අතින් 7වන ස්ථානය ගනී. ඉන්දියාවෙහි වඩාම නාගරික වූ ප්‍රාන්තය වන එය ඉන්දියාවෙහි දළ ජාතික නිශ්පාදනයට ලබාදෙන දායකත්වය සියයට 20ක් නොහොත් පහෙන් එකකි. ඉන්දියාවෙහි සමස්ත සංවර්ධනය අතින් පෙරමුණේහිම සිටින තමිල්නාඩුවට ප්‍රාන්ත අනුව වැඩිම ව්‍යාපාරික ආයතන හිමිකාරිත්වය (10.56) ද හිමි ය. තොරතුරු තාක්ෂනය අතින්ද ඉදිරියෙන්ම සිටින තමිල්නාඩුවෙහි සියයට සියයක්ම ප්‍රාථමික අධ්‍යයාපනයට ඇතුල් වෙති. සාහිත්‍ය සහ කලාව අතින් ද තමිල්නාඩුව අන් කිසිදු ප්‍රාන්තයකට නෙදෙවෙනි ය. එහි ජනගහනය මිලියන 66කි. ඉන්දියානු දේශපාලනය තුළ තමිල්නාඩුවෙහි වැදගත්කම අවතක්සේරු කළ නොහැකි සාධක ඒවා ය.

අනෙක් අතට තමිල්නාඩු දේශපාලන ඉතිහාසය ද වර්ධනය වන දේශපාලන තත්ත්වය තුළ වැදගත් භූමිකාවක් රඟපායි. ඉන්දියාව නිදහස ලබන විට තමිල්නාඩු ප්‍රාන්තයක් තිබුණේ නැත. එකල තිබූ මදුරාසි ප්‍රාන්තයට වත්මන් අන්ද්‍රා සහ කේරළ ප්‍රාන්ත කොටස් ද හිමිව තිබුණි. භාෂාව මත පදනම වූ දෙමළ ප්‍රාන්තයක් සඳහා වු ඉල්ලීමට ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහල් ලාල් නේරු මාරාන්තික විරෝධයක් දැක්වුව ද අවසානයේ දී දෙමළ රට යන නමින්ම තමිල් නාඩුව බිහිවීම වැලැක්වීමට කොන්ග්‍රස් පක්ෂයට හැකියාවක් නොතිබුණි. ඒ කොන්ග්‍රස් පක්ෂය පරාජය කරමින් අන්න දොරෙයිගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය ප්‍රාන්තයේ 1967 දී බලය දිනා ගැනීමත් සමඟය ය. වෙනම දෙමළ රාජ්‍යයක් ඉල්ලා 1939 තරම් ඈතදී ඇරඹි දෙමළ ජාතිකවාදි ව්‍යාපාරය අවසන් වුයේ දෙමළ රට ( තමිල්නාඩු) පිහිටුවීමෙන් පසු 1968 දී ය.
ඉන්දියානු ජාතික දේශපාලනය තුළ තමිල්නාඩුවේ බලපෑම සෑම අතකින් ම අද ප්‍රබල ය. 543කින් යුතු ඉන්දියානු පාර්මේන්තුවෙහි ආසන 39ක් තමිල්නාඩුව සතු ය. එළඹෙන මහා මැතිවරණයේ දී තමිල්නාඩුවෙහි බලය කරුනානිධිගේ ඩීඑම්කේ පක්ෂයෙන් ගිලහී ජයලලිතාගේ එඅයිඩීඑම්කේ පක්ෂය කරා මාරුවනු ඇතැයි දැනට ම අනාවැකි පළ වී තිබේ. ඊට ප්‍රධාන හේතුව වශයෙන් සැළකෙන්නේ කරුණානිධි පාලනයේ දූෂිත බව යි. ඩීඑම්කේ පක්ෂයේ මීලඟ නායකත්වයට සූදානම් කර ඇත්තේ ද කරුනානිධිගේ දූදරුවන් තිදෙනෙකි.

මෙම අවාසිදායක තත්ත්වය යම් දුරකට හෝ සමනය කර ගැනීම සඳහා කරුණානිධි සතුව තිබූ එක් සාධකයක් වුයේ ශ්‍රී ලංකා දෙමළ ජනයාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් පෙනී සිටීම මගින් ලද ප්‍රසාදය යි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඉන්දියානු ආණ්ඩුව මැදිහත් කර ගැනීම පිණිස සහ ඩීඑම්කේ පක්ෂය විවිධ පියවර සහ ව්‍යාපාරයන් දියත් කළේ ය. එනමුත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ එල්ටීටීඊ ය පරාජය කිරීම සම්බන්ධයෙන් සිටියේ එක මතයක ය. ඉන්දීය විදේශ ඇමැති ප්‍රනාබ් මුකර්ජි කියා සිටියේ ශ්‍රී ලංකාව සෛවරී රාජ්‍යයක් බැවින් ඊට බැලපෑම් කිරිමට ඉන්දීය ආණ්ඩුවට නොහැකි බව යි. කරුණානිධි නායකත්වය දෙන ඩීඑම්කේ පක්ෂය කොන්ග්‍රස් පක්ෂය නායකත්වය දෙන ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ කොටස්කරුවකු වන බැවින් මෙම තත්ත්වය ඩීඑම්කේ පක්ෂයට තවත් නරක ලෙස බලපෑවේ ය.
ඩීඑම්කේ පක්ෂය විවෘත එල්ටීටීඊ ස්ථාවරයක් ගත්තේ නැත. ජය ලලිතාගේ ස්ථාවරය කෙලින් ම එල්ටීටීඊ විරෝධී එකක් විය. එල්ටීටීඊ පක්ෂපාති ස්ථාවරයක් ගත්තේ කුඩා පක්ෂ ගණනාවකින් සැදුම් ලත් සංධාන ගණනාවකි. ශ්‍රී ලංකා ආණ්ඩු විරෝධී උද්ඝෝෂනයන් හි පෙරමුණ ගොඩ නැගුවේ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය යි. එම පෙරමුණට විවිධ පිඩිත ජන කණ්ඩායම් අතර බලයක් සහිත තවත් කුඩා පක්ෂ ගණනාවක් එක් ව සිටියේය.
තමිල්නාඩුවේ මෑත ඇති වූ පශ්චාත් මුතුකුමාරන් වර්ධනයන් ද තීරණාත්මක වැදගත්කමකින් යුතු ය. මුතුකුමාරන් යනු ජනවාරි අග දී ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා වෙනුවෙන් ගිනි තබාගෙන මිය ගිය ප්‍රථම දෙමළ ජාතිකයා ය. ඔහු මාධ්‍ය සේවකයකු වූ අතර මියයාමට පෙර ඔහු විසින් ලියා තබන ලද ලිපිය මහත් ප්‍රසිද්දියක් ලබා ගත්තේ ය. දස දහස් ගණනාවක් සහභාගි වූ ඔහුගේ මළ සිරුර රැගත් අවමගුල් පෙරහර පැය 9ක් ගමන් ගත් අතර අවසන් කටයුතු සිදුකරන ලද්දේ අලුයම 1.30ට ය. මුතුකුමාරන්ගේ මරණය ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්න පිළිබඳ කටයුතු කරන තමිල්නාඩු සිවිල් සමාජයට නව ජීවයක් සහ නායකත්වයක් ලබා දුන්නේ ය. මෙම සිවිල් ව්‍යාපාරයට නායකත්වය දුන්නේ නිතිඥ එකමුතුව සහ ශිෂ්‍ය ව්‍යාපාරය විසිනි.
මෙනයින් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට පාලනයක් නැති ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්න සිය දේශපාලන තේමාව කරගත් බල කේන්ද්‍ර දෙකක් තමිල්නාඩුවේ වර්ධනය විය. තමිල්නාඩුවෙහි මෑත දේශපාලන වර්ධනයන්ට මෙම බල කේන්ද්‍ර දෙක තීරණාත්මක බලපෑමක් ඇති කළේ ය. චෙන්නායි හි සියළුම නීතිඥයින් දෙමසක්ම පුරා වැඩ වරා සිටියේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ අයිතීන් රැක ගැනීමේ අරමුණ පෙරදැරි කරගෙන ය. ශීෂ්‍ය ව්‍යාපාරය පාලනය කිරීම පිණිස මුතුකුමාරන්ගේ මරණයෙන් පසු තමිල්නාඩුවේ උසස් පාසැල් වසා දැමීමට ප්‍රාන්ත ආණ්ඩුව පියවර ගත්තේ ය.
ඉන් අනතුරව එලඹියේ අවසානයක් නැති විටෙක රණකාමී ස්වභාවයන් ගත් ශ්‍රී ලංකා ආණ්ඩු විරෝධී විවිධාකර වු උද්ඝෝෂන මාලාවකි. තමිල්නාඩු දෙමළ ජනමාධ්‍ය අති බහුතරය මෙම උද්ඝෝෂනයන්හි ප්‍රචාරකයින් ලෙස කටයුතු කළේ ය. ඒ සියල්ලෙහි ම වාගේ අරමුණ වුයේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ආරක්ෂාව පිණිස පෙනී සිටීම, ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව තමිල්නාඩු ජනමතය සකස් ඉහළ නැංවීම සහ එමගින් මධ්‍යම ආණ්ඩුව මත බලපෑම් උත්සන්න කිරීමත් ය.
කොන්ග්‍රස් පක්ෂයේ තම්ල්නාඩු සාමාජික සාමාජිකාවන්ට විශේෂ ආයාචනයක් කළ එහි නායිකා සෝනියා ගාන්ධි ශ්‍රී ලංකාවේ වන්නියෙහි යුද ගැටුමට හසුව සිටින දෙමළ ජනයාට යැවිම පිණිස ආධාර එක් කරන ලෙස ඉල්ලා සිටියා ය. විදේ්ශ ඇමැති ප්‍රනාබ් මුකර්ජි සිය මුල් ප්‍රකාශය වෙනස් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවෙි දෙමළ ජනයාගේ ආරක්ෂාවට ඉන්දියාව මීට වැඩි දෙයක් කළ යුතු බව ය.
ශ්‍රී ලංකා දෙමළ ජනයාගේ ප්‍රශ්නය කෙරෙහි එතරම් උනන්දුවක් නොපෙන්වූ ජයලලිතා ජයරාම් ඒ අරමුණින් සංවිධානය කෙරුණු දැවැන්ත උපවාසයකට සහභාගි වීමත් අනතුරුව ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට ස්වයං පාලනයක් අවශ්‍ය බවට ප්‍රකාශ කිරීමත් අප තේරුම් ගත යුත්තේ මෙම වර්ධනය වන දෙමළ ජාතිකවාදි දේශපාලනය තුළ ය. එපමණක් නොව ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සමූළඝාතනය විමෙන් බේරා ගැනීමට කොන්ග්‍රස් පක්ෂ මධ්‍යම ආණ්ඩුව හෝ කරුණානිධි ප්‍රාන්ත ආණ්ඩුව කිසිවක් නොකළ බවටත් ඇය ප්‍රසිද්ධ චෝදනාවක් කළා ය.
දැන් තමිල්නාඩු මැතිවරණ සටන තුළ තීරණාත්මක සාධකය නැත්නම් සාධකයක් බවට ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ස්වයං පාලන අයිතිය පිළිබඳ ප්‍රශ්නය පැමිණ තිබේ. මේ වනාහී මැතිවරණ සටන් පාඨයක් පමණක් යැයි කියා නොසළකා හැරිය හැකි වර්ධනයක් නොවේ. මේ වනාහී තමිල්නාඩු සමාජ දේශපාලන කතිකාව තුළ මුල් බැස ගනිමින් ඇති ප්‍රබල දෙමළ ජාතිකවාදී ප්‍රවණතාවයකි. එහි කේන්ද්‍රය වන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ අයිතීන් පිළිබද ප්‍රශ්නය යි.