සිංහල, Life quips, Moneragala, Stories from the silent

ජීවත්වෙන්න යමක් ඉල්ලා පහළ වූවේ ගොවීහූ උද්ඝෝෂණයේ

පහළ ඌව ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් සංවිධානය කරන ලද ගොවි උද්ඝෝෂණයක් මොණරාගල කච්චේරිය හංදිය අසල දී අද (16) උදෑසන පැවැත්වුවා. මොණරාගල දිස්ත්‍රික්කය පුරා පවතින දැඩි නියඟය හේතුවෙන් ගොවි බිම් විනාශ වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ක ගොවින් එම උද්ඝෝෂණය සඳහා සහභාගී වීය. මෙහිදී ගොවීන් ඉල්ලා සිටියේ නියඟය නිසා ගොවිබිම් විනාශවී අසරණව සිටින තමන් වෙනුවෙන් ජීවත්විමට ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා දෙන ලෙසයි. පැයක පමණ කාලයක් පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව උද්ඝෝෂකයින් තම ඉල්ලීම් ඇතුළත් සංදේශයක් මොණරාගල අතිරේක දිසාපතිනියට භාර දෙන ලදි.

මෙහිදී විකල්ප වෙත අදහස් දැක්වු පහළ ඌව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති කරුණාතිලක හේරත් මහතා ප්‍රකාශකළේ ‛‛මොණරාගල දිස්ත්‍රික්කයේ මහකන්නය වගා කිරීම ආරම්භ කරන්නේ ඊසාන දිග මෝසම් වැස්සත් සමගයි. මෙම කන්නයේ දීත් වැස්ස ආරම්භයත් එක්කම ගොවියො තමන්ගෙ වගාකටයුතු ආරම්භ කළා නමුත් වෙනදා වගේ මෙවාරේ අවශ්‍ය තරම් වැස්ස ලැබුනෙ නැහැ. වෙනදා වගේම වී, ඉරිඟු, අල වර්ග, මෙනේරි, කුරක්කන්, කව්පි, මුංඇට, රටකජු වැනි බෝග තමයි වැඩියෙන් වගා කළේ. ඒත් දැන් වගා බිම් සියල්ල විනාශ වෙලා. පහළ ඌවේ ගොවි බිම් වලින් සියයට 60 පමණ වැසි ජලයෙන් තමයි වගාකරන්නෙ. ඉතිර සියයට 40 පමණ මහ වාර්මාර්ග හා සුළු වාරිමාර්ග වලින් වගා කරනව. උදාහරණයක් ලෙස ගතහොත් මඩුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහා වාරිමාර්ග වලින් වගාකෙරෙන්නේ අක්කර 58 යි, සුළු වාරිමාර්ග වලින් අක්කර 1086 යි, අහස් දියෙන් වගාකරන ප්‍රමාණය අක්කර 4042 ක්. මැදගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිළිවෙලින් එය අක්කර 26, 2012 හා 3078 ක් පමණ වනව. වැස්ස කළට වේලාවට නොලැබුනොත් අහස් දියෙන් ගොවිතැන් කරන ගොවින් සියලු දෙනාම අමාරුවේ වැටෙනව. අද වෙනකොට පළාතේ ගොවීන් පත් වි ඇති තත්ත්වය පිළිබඳව සලකා බලා සහනයක් සලසන ලෙස අපි ඌව පළාත් සභාවේ යෝජනාවක් පවා සම්මත කළා. නියගයට සියළුම වගාබිම් විනාශවෙලා ගොවින්ට කන්න දෙයක් නැතිව කෙසෙල් බඩ තම්බගෙන කන තත්ත්වයට පත්වෙලා ඉන්නේ. නැවත වතාවක් අස්වැන්නක් ගෙට ගන්න නම් ගොවින් තවත් මාස 14 බලා සිටිය යුතුයි. ඒත් බිත්තර වී ගන්න වත් කෝ ගොවින්ට සල්ලි. අනික මේවර වගාව සඳහා ගත්ත ණය ගෙවන්නේ කවුද? එතකන් මේ මිනිස්සු කන්නේ මොනවද? මේ නිසා පාලු වූ වගාබිම් පිළිබඳ නිසි සංගණනයකින් පස්සේ ගොවීන් වෙනුවෙන් වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලන්නයි අපි අද දිසාපතිතුමාව මුනගැහෙන්න ආවේ.