සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් – වන්නියේ ඛේදවාචකය

සුනන්ද දේශප්‍රිය

මෑත කාලීන ශ්‍රී ලංකාවේ විශාලතම මානව බේදවාචකයක් අප හමුවේ දැන් දිග හැරෙමින් තිබේ. ස්වභාව ධර්මයාගේ කුරිරු බලවේග විසින් අප මත පතිත කර ලූ ව්‍යසනයන් මෙන් නොව මේ වනාහී මිනිසා විසින්ම නිර්මානය කරන ලද ව්‍යසනයකි. මෙම ව්‍යසනය නම් උතුරුකරයේ වන්නියෙහි ජීවත් වූ දැන් එන්න එන්නම පටුවන බිම්කඩකට සීමාවෙමින් ඇත්තා වූ එල්ටීටීඊ ය යටතේ ඇති ප්‍රදේශයෙහි ජීවත්වන ලක්ෂයක් ඉක්ම වූ ජනයා ගේ ශෝඛාන්තය යි. තෙමසක් තරම් කාලයක් පුරා එකී අපේ සහෝදර ජනයා විදින නෑසු විරූ දුක්කන්දරාවයි.

ආණ්ඩුව කියන්නේ මෙම ජනයා එල්ටීටීඊ ය විසින් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින බවයි. එල්ටීටීඊ ය කියන්නේ මෙම ජනයා කැමැත්තෙන් එම ප්‍රදේශයේ රැදී සිටින බව යි. එම ජනයාට රැදී සිටීමට ආරක්ෂිත පෙදෙස් යැයි භූමි කලාපයක් ආණ්ඩුව වෙන් කොට දක්වා තිබේ. නමුත් එම කලාපයේ සිට එල්ටීටිඊ ය රජයේ හමුදාවන්ට පහර දෙන බවටත් රජයේ හමුදා එම ප්‍රදේශයන්ට පහර දෙන බවටත් පිළිගත හැකි වාර්තා ගණනාවක් ම තිබේ. එනයින් ආණ්ඩුවේ හමුදා විසින් වට කොට ඇති මෙම සමස්ත භූමියම යුද්ධ භූමියක තත්ත්වයට පත් ව තිබේ.

නිරන්තරයෙන් යුද්ධය ඇවිල යන යුද්ධ භුමියක කැමැත්තෙන් රැදී සිටීමට කවර ජන පිරිසක් හෝ කැමැතිවනු ඇතැයි සිතීම ඉතා දුෂ්කර ය. එල්ටීටීඊ යට මෙම ජනයා මිනිස් පළිහකි. එය කිසිදු විටෙක ජනයාගේ දුක්වේදනා සැළකිල්ලට ගත් ව්‍යාපාරයක් නොවේ. එනමුත් මේ සියළු දුෂ්කරතා මැද වුව ඉන් පිරිසක් හෝ එල්ටීටීඊ ය සමඟ ඇති සබඳතාවයන් නිසා ලංකාණ්ඩුවට බියෙන් මෙම ප්‍රදේශයෙහි කැමැත්තෙන් රැදී සිටීමට ඉඩ තිබේ.

දැන් රටක් සහ ජනතාවක් වශයෙන් අප මුහුණ දෙන හදිසි ප්‍රශ්නය වන්නේ වරද කාගේදැයි සෙවීම නොව මෙම ජනයා මුහුණ දෙන දුක්කන්දරාවන්ගෙන් මුදා ගන්නේ කෙසේ ද යන්න ය. ඔවුන් මත පතිත වන බෝම්බ සහ පතුරම් අවසානයක් නැත. පසුගිය සතියේ මෙම ප්‍රදේශයන්හි සේවය කරන වෛද්‍යවරුන් වාර්තා කළේ ඖෂධ නැති කමින් එහි අවසාන රෝහල ද වසා දැමීමට සිදුව ඇති බව ය. තමන් වෙළුම් පටි වෙනුවට පාවිච්චි කරන්නේ ඇද ඇතිරිළිවලින් ඉරා ගත් පටි බව මෙම වෛද්‍යවරු වාර්තා කර තිබිණි. රජයේ රෝහල් කරා ගෙන එන ලද දහසක් ඉක්මවන මෙලෙස තුවාල ලද වන්නියේ ජනයාගෙන් වැඩිම දෙනෙකු අතපය අහිමිව සිටිති. ඖෂධ නැතිකමින් තුවාල ලද රෝගීන් මිය යන බව ද ඉහත කී වෛද්‍යවරුන්ම වාර්තා කර තිබේ.

අප කිසිවකු මෙම ඛේදවාචකය ඇසින් දකින්නේ හෝ කණින් අසන්නේ හෝ නාසයෙන් අඝ්‍රාණය කරන්නේ හෝ නැත. මන්ද යත් මෙම මානව ඛේදවාචකය සිදුවන්නේ යකඩ තිරයකින් එපිට නිසා ය. මෙම යකඩ තිරය ආණ්ඩුවේ මෙන්ම එල්ටීටීඊ යේ සාමූහික නිර්මාණයකි. මෙම එක් පාර්ශවයක්වත් තමන්ගේ මතය හැර අන් කිසිදු මතයක් යුද්ධය අරභයා පළවනු දැකීමට කැමැති නැත. වන්නියේ සිට පැමිණි ජනයා හමුව නිදහසේ කතා බහ කිරීමට මේ තාක් කිසිදු ජනමාධ්‍යවේදියකුට අවස්ථාව ලැබී නැත. මෙම ජනයා වෙනුවෙන් කතා කළහොත් එය යුද්ධයට පාඩුවක් වනු ඇතැයි හෝ එල්ටීටිඊයේ පැත්ත ගැනිමක් වනු ඇතැයි යන බිය නිසා ජනමාධ්‍ය මේ ප්‍රශ්නයට අත තියන්නේ නැත.

මෙම බිම් කඩෙහි ජීවත්වන ජනයා අතුරින් 40ක් 50ක් 60ක් පමණ දිනපතාම වාගේ ෂෙල් සහ බෝම්බ ප්‍රහාරයන්ගෙන් මිය යන බවට එම කලාපයෙහි ජීවත්වන වෛද්‍යවරුන් ද ආගමික පූජකයින් ද වාර්තා කරන්නට පටන්ගෙන දැන් මාසයක් තරම් ය. අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ 3000 කට ආසන්න ජන පිරිසක් ජනවාරි මාසයේ සිට යුද්ධ අනතුරු නිසා මෙම පෙදෙසෙහි මිය ගොස් ඇති බව ය.
මේ මිය යන සහ තුවාල ලබන දරුවන්ගේ ගැහැණුන්ගේ සහ පිරිමින්ගේ එකදු ජායාරූපයක් හෝ දිනපතා සිංහල පුවත්පතක හෝ රූපවාහිනි නාලිකාවකින් ඔබට දකින්නට ලැබෙන්නේ නැත. නමුත් ලොව පුරා මිනිස්සු එම ඡායාරූප දකිති. ලොව පුරා දෙමළ ජනයා එම ඡායාරූප දකිති. අප රටෙහි අපේම ජනයා යුද්ධයේ ගොදුරු බවට පත්ව සිය ගණනින් මිය යති. අප ඒ බව දන්නේ නැත. අප බොහෝ දෙනෙකු ඒ බව පිළිගැනීමට පවා අකැමැතිවනු ඇත.

පසුගිය දෙසතිය තුළ මෙම මානව ඛේදවාචකය පිළිබඳව සිය බලවත් සැළකිල්ල පළ කළ ලොව බෙහෝ නායක නායිකාවෝ විසදුමක් සෙවීම පිණිස පියවර ගන්නා ලෙස ආණ්ඩුවට ද එල්ටීටීඊයට ද කියා සිටියහ.

ඉන් වැදගත්ම ප්‍රකාශය වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන එන්. පිල්ලේ කළ ප්‍රකාශ ය යි.

’‛ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එල්ටීටීඊ ය විසින් මෑත දී ගෙන ඇති සමහර පියවර අන්තර් ජාතික මානව හිමිකම් නීතිය උල්ලංඝනය කරන්නේ යැයි මම සිතමි. මේ සම්බන්ධයෙන් අපට වඩා තොරතුරු අවශ්‍ය නමුත් තත්ත්වය ඉතාම නරක බව කියා සිටිමට ඇති තරම් කරුණු තිබේ.”

”මම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමඟ ඍජුව සහ ලිඛිතව මෙන්ම එජා සංවිධානයේ අනෙක් ආයතන ප්‍රධානීන් හතර දෙනාද සමඟ එක්ව සාමූහිකව ද සිවිල් ජනයා මුහුණ දී සිටින හදිසි ප්‍රශ්න විසදීමට අදාළ ප්‍රශ්න සාකච්ඡාවට ගෙන ඇත්තෙමි. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්‍යාලයේ ඉල්ලීමට අනුව යමින් මානව හිමිකම් ආරක්ෂා කිරිමේ සහ ප්‍රවර්ධණය කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාවෙහි කාර්‍යාලයක් ආරම්භ කිරිමට අවසර දෙන්නැයි මම එරට ආණ්ඩුවෙන් ඉල්ලා ඇත්තෙමි. එම ඉල්ලීම (ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත්) යළි සළකා බලනු ඇතැයි යන මගේ අපේක්ෂාව මෑත දී ද මවිසින් ප්‍රකාශ කර ඇත්තෙමි. ”

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ දුරකථනයෙන් කතා කොට අමෙරිකාවේ සැළකිල්ල ද ප්‍රකාශ කලේ ය.

මාර්තු 13වන දා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් උතුරු යුද කලාපයේ ප්‍රකාශයට පත් කර ඇති ආරක්ෂ කලාපයේ දී දිගින් දිගටම ජනයා මිය යාම පිළිබඳව බලවත් සැළකිල්ල ප්‍රකාශ කළා ය. පශ්චාත් යුද්ධ ප්‍රති සංවර්ධනය සඳහා ආධාර ලබා දීමට කැමැත්ත කළ කළ ඇය කියා සිටියේ ත්‍රස්තවාදය පිළි නොගන්නා දෙමළ ජනයා එකඟ කර ගත හැකි බලය බෙදීමේ දේශපාලන විසදුමක් දැන්ම ඉදිපත් කරන ලෙස ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතන සියල්ලම වාගේ ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය ගැන වාර්තා ඉදිරිපත්කර තිබේ. එනමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව එවැනි ඛේදවාචකයක් සිදු වෙමින් ඇති බව පිළිගන්නේ නැත. දෙමළ ජනයා දිනා ගැනීමට ඇත්ත උවමනාවක් ඇති ආණ්ඩුවක් නම් කටයුතු කළ යුත්තේ මෙළෙස නොවේ.