සිංහල, Colombo, Life quips, Media

නේපාල සටහන් – ආදරණිය සුර්කෙට්

සුනන්ද දේශප්‍රිය

ඈත බටහිර නේපාල්ගන්ජ් හි සිට කදු සිඛර කපා ගෙන බටහිර දිගට ඇදී එන රත්නා මහා මාර්ගය වට රවුම පසුකර දෙකට බෙදෙන්නේ මෙන්න සුර්කෙට් නගරය යැයි කියා ගෙන ය. නගරය කන්ද කපා ගෙන කිලෝ මීටරයක් තරම් දුරට විහිදුණි.

අප නගරයට අවතීර්ණ වුයේ උදෑසන එක පසු වනවාත් සමඟය. ස්වීට් ඩීර්ම්ස් නවාතැනෙහි තට්ටු තුනක් නැඟ අංක 17 කාමරයට මගේ ගමන් මලු ඇදගෙන ගියෙමි. අපට මහ රැයෙහි ම පැය හතක් ගෙවාගෙන මහේන්ද්‍රනගර් සිට සුර්කෙට් කරා යාමට වූයේ පසුදිනට යෙදී තිබූ හර්තාලයක් නිසා ය. හර්තාලය කැඳවා තිබුණේ නේපාලය පෙඩරල් සමූහාණ්ඩුවක් බවට පත් කිරීමේ මාඕවාදී ආණ්ඩුවේ යෝජනාවට විරුද්ධව ය. සුරකෙට් හි හර්තාලය සහමුලින්ම අසාර්ථක විය. දවස ඇරඹුණු බව කියා සිටීමට එළවලු මළු රැගත් ගැහැණු ගෙයින් ගෙට යමින් සිටියහ.

සුරේනි උදෑසන හයට තේ රැගෙන ආවේ මා ජනේලයෙන් නගරය ඉව කරත්දී ය. නවාතැනෙහි හොදින් ඉංග්‍රීසි කතා කලේ විසි වියැති සුරේනි ය. අප සමඟ සිටි ඕස්ට්‍රේලියානු පුහුණුකරු පෝල් ජොර්ඩන් උදෑසන හයට ඔහු අවධිකිරීම ගැන නොහොඳ විය. ඉතිරි දින තුනම පුරා සුරේනි ඔහුට උදෑසන තේ දුන්නේ නැත. විහිළුවට බර සුරේනි විහිළුවෙන්ම තේ නොදී හැරියේ ය. දස වසරක් දුෂ්කර යුද සේවයන්හි නිරත වූ යුද නිලධාරියකු වූ පෝල් උදෑසන තේ වීදුරුව වෙනුවට වැඩිපුර පැයක් නිදා ගැනීම තෝරා ගත්තේ ය. ”තාත්තා බොන්න වැටිල හිටියා, අම්ම රස්සාවක් කරේ නැහැ. ඉතිං මම මෙහේ රස්සාවට ආවා. ඒ අව්රුදු හතරකට කලින්” කී සුරේනි තමාට 9 වසරේ දී පාසැළ අත හැරීමට සිදුවූ බව කීවේ ය.

අපට දවාලටත් රෑටත් කෑමට ලැබුණේ බත්, නේපාල නිවිති සහ අල, බෝංචි, මල් ගෝවා එකට කළවම් කළ එළවළුකි. සුරේනි එයට කිවේ රී මික්ස් එක කියා ය. හැමදාම අපට එකම කෑම දෙන්නේ ඇයි කියා මම ඇසූවිට ”ඒ තමයි අපේ ආණ්ඩුවේ නිති රීති,” කියා මඟ හැරියේ ය. අප ඊට පෙර මහේන්ද්‍රනගර් හිදී දින දෙකක්ම කෑවේත් එම රී මික්ස් එකම ය. බටහිර නේපාලයේ දෛනික ආහාරය එය බවත් එහි වෙනසක් නොවන බවත් මම සුරාජ්ගෙන් අසා දැනගත්තෙමි.

මහේන්ද්‍රනගර් නේපාලයේ ඈත බටහිරට වෙන්නට කත්මන්ඩු සිට සැතැපුම් 400 පමණ දුරින් පිහිටා තිබේ. බසයෙන් ගියහොත් පැය 12කි. කත්මන්ඩු නුවර සිට ගුවනින් පැයක් පමණ ය. විසි දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි කුඩා ගුවන් යානය අවසානයක් නැති කඳු මතින් පියාඹා යන්නේ එහි සෙවනැල්ල කදු මත පතිත කරමිනි. කත්මන්ඩු නුවර සිට රට අභ්‍යන්තරයේ ගමනාන්ත 20කට පමණ දිනපතා පියාසර කරන කුඩා ගුවන්යානාවන්ගෙන් ගුවන්තොට සැරසී තිබේ.

නවාතැනෙන් දකුණට ඇවිද ගොස් අතහැර දමා ගිය ඉපැරණි මෝටර් සයිකලය ඇති වංගුවෙන් වමට හැරී කඩමණ්ඩිය පසුකර කිලෝ මීටර බාගයක් පමණ කන්ද නැග හැමදාම උදේ නේපාල ජනමාධ්‍යවේදීන්ගේ පෙඩරේෂනයේ සුර්කෙට් කාර්‍යාලයට ගියෙමි. නේපාලයේ ගම්බඳ කුඩා කඩ එක දිගටම විසි තිස් ගණන් දැක්ක හැකිය. මේ කඩයක් දිගින් සහ පළලින් අඩි හතරක් සහ පහක් තරම් ය. බෙහෝ විට මේ කුඩා කඩ තුළ එරමිණිය ගොතා ගෙන දවසම වාඩිවී සිටින්නේ ගැහැණුන් ය. බොහෝ විට කණු හතරක් උඩ අඩි දෙකක් පමණ උඩින් ඇති මේ කුඩා කඩ පණස් පහක් ගණන් කල පසු කන්ද නැගීම ආරම්භ වෙයි.

පාර දෙපස කටු කම්බියෙන් වට කළ නාගරිකයකුගේ විශාල වත්තකි. මේ දෙපස ද වයසක ගැහැණු සහ දැරියෝ රටකජු මුල් රවුමට රවුමට බඳිමින් එක දිගට වාඩි වී සිටිති. එය පසුකර එළිමහන් භූමියක් හරහා ගමන් කළ විට ජනමාධ්‍ය කාර්‍යාලය හමුවෙයි. අප කාර්‍යාලයට යන විටත් ජනමාධ්‍යවේදීන් තිස් දෙනෙකු පමණ එහි පැමිණ සිටිති. සිතිජා ද භූමිකා ද ඒ අතර වූවාය. දෙදෙනාම යෞවනියන් ය. දෙදෙනාම වැඩ කරන්නේ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන්හි ය. දෙදෙනාටම උසස් අධ්‍යාපනයට අවස්ථාවක් ලැබුනේ නැත. ලබන මාසික වැටුප නේපාල රුපියල් 5000කට අඩු ය. පාඨමාලාවන්ට සහභාගි වූ සියළුම ජනමාධ්‍යවේදිනියන් ඒ වයසේ තරුණියන් වූ අතර මහත් උනන්දුවකින් ප්‍රශ්න ඇසූහ.

එක් හවසක අපි නගරයේ උද්‍යානය බලන්නට ගියෙමු. එහි ස්වභාවික වතුර උල්පතක් විය. ඒ වටා ටැංකියක් බැදී තිබුණි. උද්‍යානයට ඇතුල් වීමට රුපියල් පහකි. එය උල්පතෙන් නා ගැනීමටත් එක්ක ය. බොහෝ පිරිස් නාමින් සිටිය හ. නමුත් අපේ සිත් ගියේ උද්‍යානයේ කෙළවරින් නැඟුණු ගැමි ගී ගායනයකට ය. වසයක ගැහැණු රංචුවක් ගී ගයමින් නැටුම් නටමින් සිටියේ බිජීලා බිජීලා යැයි ගයමිනි. අප සමඟ සිටි ජනමාධ්‍යවේදියන් ද නැටුමට එක්වූහ. කණ්ඩායමේ නායිකාව ලෙස පෙනුන මවක් පැමිණ නේපාල බසින් මෙසේ කීවා ය. ” හරි කණගාටුයි, අපි උයාපු කෑම ඉවරයි, බීම ටිකක් ගමු ද?” ඔවුන් හැමෝම ගානට වෙරි වී සිටියහ. මට පෙරේතකමක් ඇතිවු නමුත් ආරක්ෂ පුහුණුකරු පොල් මා නැවැත් වීය. නේපාල ගැමි අරක්කු ටිකක් බීමට තිබූ අපූරු අවස්ථාව නැති විය.
ඔව්හු එළුවකු දක්වා ගෙන විත් ඌ මරා මස්කර බත් සමඟ උයා දවල්ට කා තිබුණි. මේ ගමන සඳහා ඔවුන් මුදල් සොයා ගත්තේ මංගල්‍ය උත්සවයකට බර වැඩ කිරීමෙනි. කිළිටු පෙරා ගත් පොඩිත්තන් රොත්තක්ම සිය දුක්මුසු මුහුණින් සිනහවෙමින් ආච්චි අම්මලාගේ නැටුම් බලමින් සිටියහ.

උ්‍යානය ඇරඹෙන තැන එක් බැම්මකින් වට කර රැක බලා ගන්නා පැරණි ගස් දෙකක් විය. නේපාල බසින් ඉන් එකකට කීයේ බෝ කියාය. එහි කොළ ලොකු ය. ගසද ලොකු ය. අපේ බෝ කොළ වැනි කොළ සහිත එතරම් මහත් නැති ගසක් ද විය. එයට කියන්නේ පීපොල් කියා ය. බෝපීපොල් යනු යුගළ ගස් දෙකක් බවත් ඒවා පෙමින් බැදී ඇති බවත් සිතිජා කීවේ ය. පෙමින් බැදී යහපත්ව වෙසෙන අයට එහි ජනයා කියන්නේ බෝපීපොල් කියා ය.

ඔබ බෝපීපොල් වීමට කැමැති නැත්ද කියා මම සිතිජාගෙන් ඇසු වෙමි. තමා ලස්සන නැති නිසා කොල්ලන්ගේ ආකර්ෂනයට ලක් නොවන බව ඇය විහිළුවෙන් දුකින් කීයේ ය. නමුත් ඇයට මනරම් රූ සපුවක් තිබුණි. ”තරුණ කාලයේ නම් මටවත් කතාවක් දාලා බලන්න තිබුණා” යැයි මම විහිළුවක් කළෙමි. ”එහෙම උනානම් අපටත් බෝපීපොල් වෙන්න තිබුණා” කියා අනෙක් කෙල්ලෝ මට හූ කීහ. නමුත් මෙසේද කීහ. ’’වයස උනාට ඇස් දෙකයි රුළි කොන්ඩෙ යි ගතියක් තියෙනවා’’. මට පාසැල් කාලයේ මිතුරියක මතකයට නැගුනි.

අන්තිම සැන්දෑව සාදයට පෙරළිය යුතු බව හැමෝගේම අදහස විය. නේපාල ගී ගැයෙත් දී පමා වූ අය නැටිය යුතු බව පෝල් යුද්ධ නීතිය පැණවීය. ඒ පාඨමාලාව රසවත් කිරීමට අප යොදාගත් එකඟතාවය යි. පමා වී පැමිනෙන්නන් විනාඩියක් ගී ගයමින් ලතාවකට නැටිය යුතු විය. සාදයට පමා වී ආවේ ජනමාධ්‍යවේදිනියෝ ය. නටනු ෟ යැයි හඬ නැගුණි. සුනන්ද නටනවා නම් විතරයි, පිළිතුරු ලැබුණි. අපි නැටුවෙමු.

පසුදා උදෑසන පහට පිටත්විය යුතු විය. නගරය අවදිවෙමින් සිටියේය. යළි පැමිණිමකට ඉඩක් ඇතැයි සිතීමට ඉඩක් නොවුණි. නගරය අයුබෝවේවා කියා ගමන් මළු වාහනයේ වහළට විසි කළෙමි. එළවලු වෙළෙන්දියෝ නගරයට ලගා වෙමින් සිටියහ. සුරේනි සීනි නැති තේ පිළිගැන්වූවා ය. සිතිජා සහ භුමිකා ජනේලයෙන් අත වැනූහ.