සිංහල, Colombo, Democracy, Media, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – තෙවන යුද්ධයේ පෙරමඟ ළකුණු

සුනන්ද දේශප්‍රිය

එල්ටීටීඊ සමඟ කැරෙන සම්ප්‍රධායික යුද්ධය අවසන් වීමෙන් පසු ජනමාධ්‍යයට එරෙහිව මුදා හැර ඇති දෙවන යුද්ධයට අමතරව තෙවන යුද්ධයක් ද දියත්ව එන බව මම මෙයට පෙර සටහනක ලීවෙමි.

මෙම තෙවැනි යුද්ධය ආයුධ සන්නද්ධ එකක් නොවේ. දේශපාලන යුද්ධයකි. යුද්ධය යනු දේශපාලනය වෙනත් අයුරකින් කරගෙන යාමකි, යන කියමන අනුව බලන්නේ නම් දේශපාලනය යනු ද යුද්ධය වෙනත් අන්දමකින් කරගෙන යාමක් වේ.

ශ්‍රී ලංකාණ්ඩුව මෙම යුද්ධයට දැන් සිටම සූදානම් වෙයි. පසුගිය දා එය නෝවීජියානු ආණ්ඩුව තව දුරටත් එල්ටීටීඊ ය සහ ආණ්ඩුව අතර මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමෙන් ඉවත් කලේය. ආණ්ඩුවේ ප්‍රබල මතවාදි බලකණු වන විමල් වීරවංශගේ පක්ෂය සහ චම්පික රණවක නායකත්වය දෙන හෙළ උරුමය ලවා නොවිජියානු තානාපති කාර්‍යාලය වසා දමා ඔවුන් මෙරටින් පන්නා දැමිය යුතු බවට උද්ඝෝෂණයක් දියත් කළේ ය.

ඉන්පසු එම දෙසගයින් ලවා ම වන්නි දෙමළ ජනයාගේ මානුෂිය ප්‍රශ්න විමසා බැලීමට මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ විදේශ තානාපතිවරුන්ට එරෙහිව දෙවන උද්ඝෝෂණයක් සංවිධානය කළේ ය. ඒ සමඟම එම විදේශ ඇමැතිවරුන් දෙදෙනා සහ ඇමෙරිකානු ආරක්ෂ ලේකම් හිලරි ක්ලින්ටන් විරෝධී පොස්ටර් ව්‍යාපාරයක් රට තුළ දියත් කෙරුණි. ඒ සමඟම ස්වීඩනයේ විදේශ තානාපතිවරයාට මෙරටට පැමිණිීම තහනම් කළහ.

ඇමෙරිකානු ජනාධිපති ඔබාමාගේ සිට ඉන්දියානු අගමැති මන්මෝහන් සිං දක්වා වූ බොහෝ රාජ්‍ය පාලකයින් ද පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයින්ගේ සහ නිලධරයින්ගේ ආක්‍රෝශ පරිභවයන්ට ලක් වූහ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් නියෝජිතයින් ද අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන ද ඊටත් වඩා දරුණු ප්‍රහාරයන්ට ලක් වූහ.

මෙම සිදුවීම් ක්‍රියාදාමය ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අනුදැනුම නැතිව සිදුවනු ඇතැයි සිතනු ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය ගැන නොදන්නා අයකු පමණි. තෙවන යුද්ධයේ එක් පෙරමුණක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ සැබෑ දේශපාලන විසඳුමක් පිළිබඳ උනන්දුවක් දක්වන අන්තර් ජාතික ප්‍රජාව සමඟ කැරෙන මේ දේශපාලන යුද්ධය යි.

අනෙත් අතට ස්වකීය ජනයාගේ මානව සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගාගෙන සිටින ඉරානය, ලිබියාව, බුරුමය, සිම්බාබ්වේ. වියට්නාමය, සහ චිනය වැනි රටවල් සමඟ සමීප සබඳතා ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකාණ්ඩුව වැඩි බරක් තබා තිබේ. මේ වනාහී ඉදිරි කාලය තුළ අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව ගමන් ගන්නා ඇති දිශානතිය බවට සැකයක් නැත. එක වර්ගයේ කුරුල්ලන් රංචු ගැසෙන්නේ එකට ය. මේ කිසිදු රටක මූලික මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් හෝ නිදහස් ජනමාධ්‍ය හෝ නැත. ඉන්දියාව සමඟ ඇති විරසකය නිසා ලංකාණ්ඩුව වඩ වඩා පකිස්ථානය කරා ද ඇදී යනු ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමිල්නාඩුවේ දේශපාලන වර්ධනයන් තේරුම් ගැනීම වැදගත් වන එක් පසුබිමක් මෙය යි. ඉන්දීය මධ්‍යම ආණ්ඩුව මෙම වර්ධනයන් ලෙස බලනු ඇත්තේ ස්වකීය කලාපීය නායකත්වයට එල්ල කැරෙන තර්ජනයක් ලෙස ය. ශ්‍රී ලංකාව තුල වර්ධනය වන පකිස්ථානයේ බලපෑම ද ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ සැළකිල්ලට ලක්ව තිබේ. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ආරක්ෂා කිරීමට අවශ්‍ය තරම් පියවර නොගත්තේ යැයි වත්මන් විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය වත්මන් පාලක පක්ෂය වන කොන්ග්‍රස් පක්ෂයට ප්‍රසිද්ධියේ ම චෝදනා කරයි.

තමිල්නාඩුවෙහි දේශපාලන නායකත්වය දරන ජයලලිතා සහ කරුණානිධි යන දෙදෙනාම ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට සැබෑ බලය බෙදීමක් අවශ්‍ය බව තරයේ කියා සිටිනවා පමණක් නොව ඊළාමයකට වුව සහාය දෙන බව ද කියා සිටිති. පසුගිය සතියේ සිට තම්ල්නාඩු චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමය මැතිවරණ සටන් බිමට එළෙඹෙමින් කොන්ග්‍රස් විරෝධි ව්‍යාපාරයක් ඇරඹුවේ ය. මැතිවරණ ව්‍යාපාරය පිණිස සොනියා ගාන්ධි තමිල්නාඩුවට පැමිණි අප්‍රෙල් 06 දා කොන්ග්‍රසය සමඟ එක්ව තරඟ කරන කරුණානිධි රෝහල් ගත වී ඇය සමඟ එක්ව පෙනී සිටීමෙන් මඟ හැරියේ ය. අප්‍රේල් 02දා තමිල්නාඩු ඉතිහාසයේ ප්‍රථම වතාවට කුපිත වූ ජන පිරිසක් ඉන්දීය යුද හමුදාවේ රථ පේළියකට පහර දුන්නා ය. එහි දේශපාලන විචාරකයින් කියන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 42න් 30කට වැඩි සංඛ්‍යාවක් ජයලලිතා නායකත්වය දෙන ඒඩීඑම්කේ පක්ෂය විසින් දිනාගනු ඇති බවයි.

මෙම තත්ත්වය විසින් පෙන්නුම් කරන්නේ තමිල්නාඩු දේශපාලනය ශ්‍රී ලංකාණ්ඩුව සමඟ ඍජු ගැටුමක් කරා ගමන් කරමින් සිටින බව යි. අන්තර් ජාතික වශයෙන් අර්ධ ඒකාධිපති සහ ඒකාධිපති ආණ්ඩු සමඟ සන්ධානගත වෙමින් ද දේශීය වශයෙන් රණකාමී මහජාතිකවාදය මත ද පදනම් වෙමින් ද ප්‍රජාතන්ත්‍ර විරෝධි යුදවාදී පාලනයක් පවත්වා ගෙන යෑමට ශ්‍රී ලංකාණ්ඩුව දරන උත්සාහය අවුලට යැවිය හැකි එක් සාධකයක් වශයෙන් තමිල්නාඩුව මතු වීමේ හැකියාව තිබේ. ඒ මෙරට රණකාමී දෙමළ දේශපාලනයට පෙර නොවී විරූ සහායක් සැපයීම මගිනි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා දේශපාලන වශයෙන් ආණ්ඩුවෙන් පැහැදිළිවම දුරස්ව ඇති බව මධ්‍යම පළාත් සහ බස්නාහිර පළාත් සභා මැතිවරණ පෙන්වා ලීය. කොළඹ දිසාවට ආණ්ඩුවෙන් තරඟ කළ සියළු දෙමළ අපේක්ෂකයින් පරාජය වූ අතර ඔවුන් ලබා ගත්තේ නොසැළකිය යුතු තරමේ ඡන්ද ප්‍රමාණයන් ය. ඉතා ජනප්‍රිය දේශපාලනඥයකු වූ ආණ්ඩු පක්ෂයෙන් තරඟ කළ ටී.සී. රාජරත්නම් ලබා ගත්තේ ජන්ද 1,292කි. ජයගත් සියළු දෙමළ අපේක්ෂකයින් පසුගිය කාලයේ දෙමළ ජනයාගේ මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කළ පුද්ගලයින් ය. මධ්‍යම පළාත් මැතිවරණය පෙන්වූයේ ද එම ප්‍රවණතාවයම යි. උතුරෙහි සහ නැගෙනහිරෙහි නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීමට හැකි වූ දිනෙක මෙයට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලැබෙනු අපේක්ෂා කළ නොහැකි තරම් ය. වසර 12ක් පුරා තිස් හතලිස් දහසක හමුදාවක් ඇතිව යාපනය පාලනය කිරීමෙන් පසු අද පවා යාපනය ජනමාධ්‍යවේදීන්ට විවෘත නොකිරීමට ආණ්ඩුවට සිදු වීමෙන් පෙනී යන්නේ හමුදා පාලනයක් මගින් දෙමළ ජනයාගේ සිත් දිනාගත නොහැකි බව යි.

එළඹෙන තෙවන යුද්ධයේ එක් පෙරමුණක තමිල්නාඩුව, විදේශ ගත දෙමළ ප්‍රජාව සහ මෙරට දෙමළ ජනයා සිටිනු ඇත. අනෙක් පෙරමුණෙහි සිටිනු ඇත්තේ රණකාමි මහජාතිකවාදය නියෝජනය කරන සිංහල ජනයා, ආණ්ඩුව සහ වීනයේ සිට ඉරානය හරහා බුරුමය දක්වා වන ඒකාධිපති සහ අර්ධ ඒකාධිපති ආණ්ඩු සමඟ ඇති සංධානය යි.

ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කරන වැදගත්ම සාධකය නොවන්නේ නම් එක් තිරණාත්කම සාධකයක් වනු ඇත්තේ මෙම තෙවන යුද්ධය යි.