සිංහල, Colombo, Democracy, Media

පුරවැසිමාධ්‍යවේදියකුගේ සටහන් – ජනමාධ්‍ය ඇමැතිතුමාගේ ප්‍රශ්නය

සුනන්ද දේශප්‍රිය
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මංත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා මහතා මෙවැනි අශායෝගයක් කරනු සිරස රූපවාහිනියෙන් දුටුවෙමි. මේ විවාදය ඇති වූයේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ යුරෝපා සංචාරය ඇසුරෙනි. ඔහුගේ සංචාරය පැරණි ස්වාමින් හමුවීමට යන දායනකුගේ සංචාරයකැයි ජනමාධ්‍ය ඇමැතිවරුන් යටතේ ඇති රාජ්‍ය පාලිත පුවත් පත් වාර්තා කළේය. ඊට පිළිතුරු වශයෙන් පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සංචාරය ප්‍රජාත්නත්‍රවාදි රටවලට කැරෙන්නක් බවත් වත්මන් ආණ්ඩුවේ මිතුරු රටවල් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒවා බවත් ය. ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන අභියෝග කළේ එසේ නම් එම ප්‍රජාතන්ත්‍රවිරෝධි රටවල් නම් කරන ලෙස ය.

එක්සත් ජාතික පක්ෂය මෙම අභියෝගය බාරගනු ඇතැයි සිතීම දුෂ්කර ය. ඊට විවිධ හේතු තිබීමට ද පුළුවන. එසේ නමුත් අන්තර් ජාතික ක්ෂේත්‍රය ගැන උනන්දුවක් ඇති මානව හිමිකම් ක්‍රියාකාරකයකු වශයෙන් මෙම විවාදයට දායක වීමට මට ද සිතක් පහළ විය.

වත්මන් ආණ්ඩුවට උදව් කරන ගජ මිතුරන් තිදෙනෙකු නම් චීනය, ඉරානය සහ ලිබියාව යි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ඊට අමතරව බුරුමය නොහොත් මියන්මාරය, සැම්බියාව, කියුබාව, රුසියාව, වියට්නාමය ශ්‍රී ලංකාවේ සහායට පැමිණියේ ය.

ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්ෂණ ඇසුරෙන් අපට මෙම රටවල දේශපාලන ක්‍රමයන් ගැන විමසා බැලිය හැකි ය. මා ප්‍රජාතන්ත්‍රවාදය යැයි සඳහන් කරනුයේ 20වන සියවසෙහි වර්ධනය වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යි. එය සර්ව සම්පුර්ණ ක්‍රමයක් නොවන නමුත් වත්මන් ලෝකයෙහි ඇති වඩාම යහපත් දේශපාලන ක්‍රමය වේ. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ගොඩ නැගී ඇත්තේ ද මූලික වශයෙන් එකී මූලධර්ම පිළිගැනීම මත ය.

මෙකී ප්‍රජාතන්ත්‍රවාදයෙහි මූලික ලක්ෂණ හතරකි.

1. සාධාරණ සහ නිදහස්වූත් නිසිකලට පවත්වන්නා වූත් මැතිවරණ මඟින් ආණ්ඩු පිහිටුවීමේ බහුත්වවාදී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය.

2. මහාජනයා පුරවැසියන් ලෙස දේශපාලන සහ සිවිල් ක්ෂේත්‍රයන්හි සක්‍රීය දායකත්වය

3. සියළු පුරවැසියන්ගේ සියළු මානව හිමිකම් සුරැකීම.

4. සියළු පුරවැසියනට සමානව සැළකෙන නීතියේ පාලනය පැවැතීම

මෙයට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය නිසිලෙස ක්‍රියාත්මකවීම පිණිස බලය බෙදී යෑම පිළිබඳ සංකල්පය ද අවශ්‍ය ය. ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු සතර ලෙස දැක්වෙන් මෙම ක්ෂේත්‍රයන් නම් ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ ජනමාධ්‍ය යි.

වත්මන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හොදම සගයින් වන චීනයේ, ඉරානයේ සහ ලිබියාවේ මෙම කිසිදු ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණයක් ඇත්දැයි අප අලුතෙන් ලියා ඔප්පු කිරිමට අවශ්‍ය නැත. මෙම රටවල් තුනෙහිම ඇත්තේ අර්ධ ඒකාධිපතිවාදී නැත්නම් සම්පූර්ණ ඒකාධිපතිවාදි ආණ්ඩු ය. රුසියාව හැර ඉහත ලැයිස්තුවේ ඇති කිසිදු රටක ජනමාධ්‍ය නිදහස නැත. රුසියවේ ඇත්තේ අර්ධ නිදහසකි. නීතියේ පාලනය වෙනුවට ඇත්තේ එක්කෝ ආගමික නැත්නම් මතවාදි පාලනයන් ය. වීනය ( 1949 සිට) සහ කියුබාව ( 1959 සිට) පසුගිය වසර පණහකටත් වඩා පාලනය කරනුයේ එකම දේශපාලන පක්ෂයක් විසිනි. විපක්ෂ දේශපාලන පක්ෂ නැත. කියුබාව වසර 50ක්ම පාලනය කළේ එක් පුද්ගලයකු විසිනි. මෙම දෙරටෙ හි කිසිදු ජනමාධ්‍ය නිදහසක් නැත. දෙරටෙහිම මහාජනයාට තමන්ගේ දේශපාලන සමාජ සංවිධාන පිහිටුවා ගැනීමට අවසරයක් නැත. බුරුමය වනාහී වත්මන් ලෝකයේ ඇති දරුනූතම යුද හමුදා පාලනයක් ඇති රටකි. 1962 සිට එරට පාලනය කරන්නේ ලේ පිපාසිත කොල්ලකාරී ජාවරම්කාර මිලිටරි ජුන්ටාවක් විසිනි. එරට ප්‍රජාතන්ත්‍රවාදිව තේරී පත් මහජන නියෝජිතයින් සිටිනුයේ වනගතව, සිරගතව හෝ විදේශගතව ය. වියට්නාමය ද ඒක පාක්ෂික දේශපාලන ක්‍රමයක් ඇති රටකි. එහි ද රජයෙන් ස්වාධීන ජනමාධ්‍ය හෝ සිවිල් ජන සංවිධාන නැත. මුගාබේ නැමැති ජනඝාතක කුරිරු ඒකාධිපතියා විසින් පාලනය කරනු ලබන සිම්බාබ්වේ ගැන කුමන කතාද?

මෙම ලැයිස්තුවෙහි ඇති රුසියාව, චීනය, වියට්නාමය, කියුබාව සමාජවාදී රටවල් යැයි අප බොහෝ දෙනෙකු අතර තවමත් වැරදි වැටහීමක් තිබිය හැකි ය. ආරම්භයේ දී (පොතපතෙහි ඇති සමාජවාදය සහ මෙම රටවල පැවැති සමාජවාදය අතර මහත් වෙනසකම් පැවැති නමුත්) සමානාත්මතාවය පිළිබඳ බලගතු අපේක්ෂාවකින් එම පාලනයන් බැදී පැවැතුනි. අද මෙම සියළු රටවල් සමාජ අසමානාත්මතාවය මත පදනම් වූ නිරුවත් ධනවාදය අනුගමනය කරයි. ඒවායේ අඩුම වශයෙන් ධනවාදී – සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ආර්ථික ලක්ෂණ පවා නැත. මෙම රටවල විවිධ මට්ටමින් ඒකාධිපති පාලනයන් පවත්වා ගැනෙනුයේ සමාජ සාධාරණත්වය උදෙසා නොව පාලක කණ්ඩායම්හි අවශ්‍යතාවන් මත පදනම්ව ය.

යුරෝපා සහ උතුරු ඇමෙරිකානු රටවලට නිතොර දෙවෙලේ දොස් තියන නමුත් අපේ රටේ පාලක දේශපාලඥයින් ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම සිය දරුවන් වැඩිදුර අධ්‍යාපනය උදෙසා යවන්නේ එකී රටවලට ම ය. චීනයට, ඉරානයට හෝ ලිබියාවට එසේත් නැත්නම් කියුබාවට හෝ වියට්නාමයට සිය දරුවන් යවා ඇති එක් ඇමැතිවරයෙක් හෝ වෙත් ද? මා දන්නා බොහෝ ඇමැතිවරුන්ගේ දරුවන් අධ්‍යපනය ලබන්නේ ඕස්ට්‍රේලියාවේ, එංගලන්තයේ හෝ ඇමෙරිකාවේ ය. ඔවුනට කවර හෝ අවස්ථාවක් ලැබුනහොත් ජීවත්වීමට තෝරා ගනු ඇත්තේ ද බුරුමය, ඉරානය, චිනය හෝ ලිබියාව නොව බටහිර ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදි රටවල් ය.

මෙය හරියටම බටහිර රටවල ජීවත්වෙමින් උතුරුකරයේ එල්ටීටීඊ ය පවත්වාගෙන ගිය දරුණු ඒකාධිපතිපාලනයට කොන්දේසි විරහිතව සහාය දෙන විදේශගත දෙමළ ප්‍රජාවේ සිවිල් නායක නායිකාවන් වැන්න. ඒ සියල්ලන් එල්ටීටීඊ පාලනය පැවැති වන්නියේ ජීවත් වීම තෝරා නොගෙන බටහිර රටවල දේශපාලන රැකවරණ පතා ගිය පිරිස් ය. බැලු බැල්මට ම මහත් ප්‍රතිවිරෝධයකි. එල්ටීටිඊ පාලන ක්‍රමයේ ඒකාධිපතිවාදය විවේචනය කිරීම නොරිස්සන දෙමළ මිතුරු මිතුරියන්ගෙන් මා සෑමවිටම අසන්නේ ඔබ එවැනි පාලනයක් යටතේ ජීවත්විමට කැමැති නෑ නේ ද කියා ය.

බටහිර රටවල ජීවත්වන දෙමළ ප්‍රජාවේ පමණක් නොව සිංහළ ප්‍රජාවේ සිවිල් නායක නායිකාවන් ද එම රටවල ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය භුක්ති විදිමින් එම ක්‍රමයටම ගරහමින් මෙරට පවත්නා අර්ධ ඒකාධිපතිවාදයට උඩගෙඩි දෙති. ඒ බොහෝ දෙනෙක් ද මෙරට හැර ගොස් ඇත්තේ තමන්ට මෙම ක්‍රමය තුළ රැකවරණයක් නැතැයි කියමිනි.

කණගාටුවකට මෙන් ජනමාධ්‍ය ඇමැතිවරයා ද හසුව සිටින්නේ මෙම ස්වයං වංචාවට ය. අද බොහෝ දුරටම මෙරටට සහාය දක්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදි ලෝකය නොව තමන්ගේ රටවල ජනයාගේ අයිතීන් පාගාගෙන සිටින ඒකාධිපති පාලක පිරිස් බව සැඟවිය නොහැකි සත්‍යයකි.