Colombo, end of the War, Featured Articles, Features

මානෙල් මල් වෙනුවට නියඟලා මල් මුණ ගැසීම

– Pic by – lankaviews
ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර අර්බුධය හරහා මේ වන විට විවිධ මතවාද, කණ්ඩායම්, ව්‍යාපාර බිහිවෙමින් ඇති බවක් පෙනෙන්නට තිබේ. නමුත් මෙම කණ්ඩායම් හෝ ව්‍යාපාරවල සිටින ජවිපෙ මධ්‍යම කාරක සභාවේ හෝ දේශපාලන මණ්ඩලයේ මහත්වරුන් ඔවුන් හදුන්වා දෙන්නේ ජවිපෙ සාමාජිකයින් ලෙසය. එහි ප්‍රධාන අවස්ථාවක් ලෙස ඊයේ ජන අරගලය නම්න් ව්‍යාපාරයක් ඉහත කී මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේදී පැවැත්විය. මෙම ජන අරගලයට විශාල ජනතාවක් සහභාගී වී සිටි අතර එය ජවිපෙ අභ්‍යන්තර අර්බුධයෙන් මතු වූවක් ලෙස ප්‍රකාශ නොකිරීමට එහි නායකයින් ඊයේ ද පරෙස්සම් විය.

කසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණට පිටතින් ගෙන යන මෙම ක්‍රියාවලියේ දේශපාලනය එතරම් පැහැදිලි නැතත් ඊයේ පැවැත් වූ ‛ජන අරගල ව්‍යාපාරය’ සංවිධානයක්ද, දේශපාලන පක්ෂයක්ද එසේත් නැතිනම් ව්‍යාපාරයක් ද යන්න ද පැහැදිලි නැතත් විචාරය සහ විවේචනය විවෘතව තබා එම නමට යම් රුචියක් දක්වන්නේ වෙනත් අදහසකින් ය. එය එසේ වන්නේ ලාංකීය දේශපාලනයට වෙනසක් සදහා විවෘත ගෝලීය දේශපාලනයන් පිළිබද යම් සිතීම් සහිත ජන ව්‍යාපාරයක් අවශ්‍ය නිසා ය. නමුත් ‛ජන අරගල ව්‍යාපාරය’ එම රික්තකය පිරවීමට සමත් වෙතැයි ඔවුන්ගේ ඓතිහාසික දේශපාලන හැසිරීම් පිළිබදව සිතිමට, දේශපානකි සවිඥානයක් සහිත සංවේදී මිනිසුන්ට කිසිදු සාධකයක් ඔවුන් විසින් ඉතිරි කර නැත.

මේ තත්ත්වය තුළ ඊයේ ‛ජන අරගල ව්‍යාපාරයේ’ කැදවුම්කරු චමීර කොස්වත්ත තම කතාවේහි අපූරු අදහසක් ප්‍රකාශ කළේය. ඔහුගේ කතාව අතර තුර ‛‛අපි වෙනස් කම් තිබියදී එකට වැඩ කරන්නේ කොහොමද කියලා අභ්‍යාස කරේ නෑ’’ යනුවෙන් දුක්මුසු විලාසයෙන් සභාව ඇමතීය.

දැන් මේ අදහස ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ යැයි තවමත් හඳුන්වා ගන්නා ජන අරගල ව්‍යාපාරයේ කැදවුම්කරුය. එසේ නැතින්නම් ජන අරගල ව්‍යාපාරයේ එක් අදහසක් එසේ ප්‍රකාශ විය.(නමුත් ඊයේ වේදීකාවේදී වෙනදා මෙන් එම ජවිපේ නාමකරණය සිදු නොකළේය)

දැන් ප්‍රශ්න කිහිපයක් මතුවෙයි.

එකක් නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට දර දිය ඇදි ජවිපෙ පසුව මහින්දගේත්, ජවිපෙත් ප්‍රධාන සතුරා වූ එල්ටීටීඊ ය සිය පූර්ණ සන්නද්ධ බලය යොදා මර්ධනය කළේය. එම සහසිකත්වයට ගොදුරුව දහස් ගණනක් මිය යද්දි, ලක්ෂ ගණනක් අවතැන් වෙද්දී සිංහ කොඩි ඔසවාගෙන හංදියක්, හංදියක් ගානේ මේ ජවිපෙ මහත්වරුන් කිරිබත් කෑවේය. නිදහස ලැබූවා යැයි උදම් ඇනුවේ ය.

එම මරා දැමීම්, අතුරුදහන් කිරීම්වලට විරුද්ධව වූ දකුණේ මෙන්ම උතුරේද යම් සුලු පිරිසක් හඬ නගද්දී ජවිපේට ඔවුන් දේශද්‍රෝහීන් විය. මෙම ජාතික ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් ගැන සංවාද කරද්දී, එහි ප්‍රධාන සාධකයක් ලෙස මතු කළ බලය බෙදා හදා ගැනීම තුල ‛වෙනස්කම් , විවිධත්වය ඉවසීම සහ ඒයට සංවේදී වන දේශපාලන ක්‍රමවේදයක් ගැන සංවාද කරද්දී මෙම ජවිපෙ මහත්වරුන්ටම ඔවුන් විදේශීය ඔත්තු කරුවන් , අධිරාජ්‍යවාදීන්ගේ අතකොලු සහ දේශද්‍රෝහීන් විය. එසේ දහස් ගණනක් මරා දෑමීමට අත් ඔසවා ජවිපෙ ඇතුලු සිංහල බෞද්ධ බොහෝ දෙනෙක් තමන් දේශප්‍රේමී යැයි ඝාතනය කළ සිරැරැ මත සිට රණ ගී ගැයූහ.

පුදුමය නම්, ජාතික ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් වෙනුවෙන් හඬ නැගු මිනිසුන් පුන පුනා කිව් දේම එනම් ‛‛වෙනස්කම් සහ විවිධත්වය පිළිබදව සාකච්ඡාව දැන් අපි අභ්‍යාස කළ යුතුයි කියා මෙම ජවිපෙ කණ්ඩායමෙන්ම ප්‍රකාශ වීමය.

එය එක් අතකින් ඝාතනය වෙනුවට ජීවිතය ප්‍රාර්තනා කරන මිනිසුන්ට යම් සුලු හෝ සැනසීමට කරුණකි. නමුත් තවමත් මෙම ගැටලුව සම්බන්ධයෙන් ඔවුන්ගේ දේශපාලනික ස්ථාවරයන් පැහැදිලි නැත. ඔවුන් දේශපාලන බලතල බෙදාහදා ගැනීමක් හෝ එවන් සාකච්ඡාවක් මතු කරන්නේ ද නැත. නමුත් ඔව්න් යුද්ධයේදී අතුරුදහන් කරන ලද, මරා දමන ලද මිනිසුන් වෙනුවෙන් යම් සංකේතාත්මක වැඩ කොටසක් කරයි. එය නරක නැත. නමුත් ඔවුන්ගේ හෘද සාක්ෂිය ඔවුන්ගෙන් ප්‍රශ්ණ කරන්නේ නම් ඒ අතුරුදහන් කරීම් සහ ඝාතනය කිරීම් වලට වසර ගණනාවක් ආධාර අනුබල ශක්තිය සැපයුයේ ජවිපෙ ඇතුලු සිංහල බෞද්ධ වර්ගෝත්තමවාදීන් බව දැන් කුමක් කියනු ඇතිද?

එසේම ‛ජන අරගල ව්‍යාපාරය’ මේ අරඹන මොහොතෙත් ඔවුන්ගේ සාමාජිකයන් දෙදෙනෙක් යාපනය ප්‍රදේශයේදී අතුරුදහන් කර ඇත. ඔවුන්ම නිළ නොවන ලෙස පවසන පරිදි මෙයට රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ සම්බන්ධය. මේ ආරක්ෂක හමුදාවන්ටම මොවුන් පසුගිය කාලයේ විරුවන් ලෙස සලකා මානෙල් මල් පළදා, දෙමළ සාමාජය සහ ඔවුන්ගේ දේශපාලනය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම වෙනුවෙන් උපහාර පුදකලේය. දැන් එය ආපසු හැරී ඇත. දැන් පිදූ නාමල වෙනුවට, මෙම මහත්වරුන්ට නියඟලා මල මුණ ගැසී ඇත. රණ විරුවා වෙනුවට මරණය හෝ අතුරුදහන් කිරීම මුණ ගැසී ඇත.

අනෙක නම් මේ මොහොත වන විට යුදවාදී සමස්ථ සිංහල සමාජය වගේම ජවිපෙත්, ජවිපෙ මෙම කණ්ඩායම් සහ ව්‍යාපාරත් යම් කිසි ක්‍රෝමා අත්දැකීමකට මුහුණ දී සටියි. එය නම් මේ සියලු දෙනා දරුණු අපරාදයක් ව්‍යසනයක් කර සිටි බවට තිබෙන ඇත්ත විටින් විට එළියට එමින් තිබීමයි. මේ දරුණු ඇත්ත පිළිගන්න තවමත් මේ කිසිවෙකුට කොන්ද පණ නැත. දේශපාලනික හයියක් නැත. මක් නිසා ද එසේ කළහොත් ඔවුන් දන්නා පරිදි ඔවුන් පිටු පස සිටින සහ ඔවුන් විසින් මෝහනයට පත් කර සිටින සිංහල ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කරන බව හොදින් දන්නා නිසාය. එම නිසා මේ සත්‍යය පිළිනොගනිමින් දිගින් දිගටම මේ ක්ෂිතිමය අත්දැකීමෙන් ජීවත් වෙන්න උත්සහ කරනවා. ඒ අතරේ මෙයින් මිදීමට යම් යම් දේවල අත්හදා බලමින් සිටිනවා. මෙය එක් විදිහකට ක්‍රෝමා තත්ත්වයක්. එකෙන් මිදීමට යම් දරණ උත්සහයක් ලෙස මෙම ‛‛ජන අරගල ව්‍යාපාරය එක් පසකින් නිර්වචනය කළ හැකියි. අනෙක් පසින් මේ ඒ දරුණු අපරාධයක් කලා යැයි තමන් තුළ මතුවන හැඟීම යම් තරමකට සමනය කර ගැනීමට කරනු ලබන නිශ්පල උත්සහයක්. මෙය හරියට සොහොන් භූමියක සාමය සෙවීම වැනි ක්‍රියාවක්. දස දහස් ගණනක් මිනිසුන් ඝාතනය කර, ඇතැම් විට සොහොන් කොත් පවා සමතලා කර ඒ මත සිටගෙන සහෝදරත්වයේ දෑත්, ප්‍රේමයේ අදහස් වැපිරීමට කරනු ලබන උත්සහයක් වැනිය.

මේ මුණ ගැසීම් තුළ දෙමළ ජනයා සහ ඔවුන්ගේ දේශපාලනය පිළිබදව තමන්ගේ පැහැදිලි මතය පැවැසිය යුතුය. එසේ නොමැති වුවහොත් නැවතත් රාජපක්ෂ රේජීමයට පළමුව බිලිවන්නේ දකුණේ මෙම මහත්වරුන් හෝ කිසිවෙක් නොවේ කිසියම් හෝ සහනයකට(?) මෙම මහත්වරුන් සමග එක්වී සිටින දෙමළ තරුණ තරුණියන් ය. එය පසුගිය 10 වෙනිදා එළිවන්නට සානාථ වී ඇත.

මේ පිළිබදව කරන ලද සාකච්ඡාවකදී පසුගිය දිනක යාපනයේ දී මා සමග යාපනයේ මාගේ දෙමළ මිතුරෙක් මෙසේ පැවසීය. ‛‛දැන් ජවිපෙ සහෝදරවරු අපිත් එක්ක එකතු වෙන්න පුදුම උනන්දුවක් දක්වන්නේ. කමක් නෑ එක හොදයි. ඒක සහජීවනයට එකිනනෙකා තේරුම් ගන්න ඉතාමත් හොදයි. ඒත් මට තියන බය තමා එයාලගේ දේශපාලනයේ අතකොලුවක් වෙලා නැවත වරක් අපිට මැරුම් කන්න වෙයිද කියන එක, අනිත් එක එයාලා පහුගිය කාලේ දැන් තිබෙන ආදරය තිබුනානනම් අපිට අපේ නෑදෑයෝ, යාලුවෝ කවුරුවත් නැති වෙන්නේ නෑ. එයාල තමයි මේ යුද්ධයට දකුණේ ආණ්ඩුවට උදව් කරේ. අපිට ඒවා අමතක නෑ. අමතක කරන්නත් බෑ’’