සිංහල, Colombo, Democracy, Peace and reconciliation

13වන සංශෝධනය සහ ආණ්ඩුව

පුරවැසියෙකුගේ සටහන්
යුද්ධය අවසන්ව ඇති බැවින් සියළු ජනවර්ගයන්ට පිළිගත හැකි දේශපාලන විසදුමක් ඉදිරිපත් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද ජය සැමරුම් රැස්වීම් ගණනාවකදී ම ප්‍රකාශ කළේ ය. මේ සම්බන්ධයෙන් ඉතාම පැහැදිළි ප්‍රකාශයක් ජනාධිපති රාජපක්ෂ මහතා කළේ ඉන්දීය එන්.ඩී.ටී.වී රෑපවාහිනියේ වෝක් ද ටෝක් වැඩසටහනට සහභාගි වෙමිනි. එනම් තමා 13වන සංශෝධනය ( පළාත් සභා පනත) ඊට එක් එකතු කිරීමක් ද ඇතිව ක්‍රියාත්මක කිරීමට සූදානම් බව යි.

වොක් ද ටෝක් යනු කියන දේ කිරීම අර්ථය දෙන යෙදුමකි. තවත් එක් එකතු කිරීමක් යනුවෙන් ජනාධිපතිවරයා අදහස් කලේ පළාත් සභා පණතෙහි ඇති සමගාමී ලැයිස්තුව අහෝසි කොට එම බලතල ද පළාත් සභාවන්ට ම පවරා දීම විය හැකි ය. මන්ද යත් අමාත්‍ය තිස්ස විතාරණ නායකත්වය දරන සර්ව පාක්ෂික සමුළුව ද එවැනි යෝජනාවක් කර ඇති නිසා ය.

එසේ නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බලවේග අතර පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් එක් අදහසක් ඇති බවක් නොපෙනේ. විශේෂයෙන්ම ආණ්ඩුවේ නිල නොවන ප්‍රකාශක ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මංත්‍රී විමල් විරවංශ මහතා මේ සම්බන්ධයෙන් දක්වන්නේ බරපතල විරෝධතාවයකි. ඔහු පසුගිය දා ජනාධිපතිවරයා සමඟ මියන්මාරයේ සංචාරයට ද සහභාගි වූ අතර යාපන මැතිවරණය සඳහා ආණ්ඩු පක්ෂයේ කමිටුවේ සාමාජිකයකු ද වෙයි. එමෙන්ම ශ්‍රීලනිප උප සභාපතිවරයකු වන අමාත්‍ය කරුණා අම්මාන් ද 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ ය. ජාතික හෙළ උරුමය සහ මහජන එක්සත් පෙරමුණ ද ප්‍රතිපත්තිමය වශයෙන් බලය බෙදා හැරිමට විරුද්ධ අතර සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වන්නේ ද නැත.
මේ අතර ආණ්ඩුවේ තවත් ඇමැතිවරයතු වන ආරුමුගම් තොන්ඩමන් කියා සිටින්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට විරුද්ධව අපහාසාත්මක ප්‍රකාශයන් කරන බව යි. තොන්ඩමන් මහතාට අනුව සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවන සුලුතර පක්ෂ මෙරට අනවසර පදංචිකරුවන් යැයි විමල් විරවංශ මහතා රූපවාහිනි වැඩසටහනක දී පවසා තිබේ.
අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගිය 17 දින පුවත්පත් සාකච්ඡාවක දී කියා සිටියේ යම් යම් පුද්ගලයින් විරුද්ධ වු පළියට ආණ්ඩුව 13 වන ව්‍යාවස්ථා සංශෝධනය ඉවත නොදමන බව යි. එය ක්‍රියාත්මක කොට උපරිම බලය බෙදීමක් කරන බව යි. එමෙන්ම ඔහු කියා සිටියේ ආණ්ඩුව සවර් පාක්ෂික සමුළුවේ යෝජනා ද ක්‍රියාවට නගන බව යි. පුවත්පත් සාකච්ජාවන්හි දී ඇමැතිවරුන් කතා කරන්නේ පුද්ගලික අදහස් නොවේ. ආණ්ඩුවේ අදහස් ය.
මීට විරුද්ධව යමින් මැයි 19 දා පුවත්පත් සාකච්ජාවක් අමතමින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියා සිටියේ සර්ව පාක්ෂික සමුළුව වහාම විසුරුවා හැරිය යුතු බව යි. විරෝදාර සෙබළුන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් මුදා ගත් ශ්‍රී ලංකාවෙහි සමගිය විනාශ කිරීමට තිස්ස විතාරණට හෝ කිසිවකුට ඉඩ නොදෙන බව ද ඔහු කියා සිටියේ ය. තිස්ස විතාරණගේ සර්ව පාක්ෂික සමුළුව පිහිටුවන ලද්දේ කොටි සහ අන්තර් ජාතික බලවේග සැනසීමට බව කියා සිටි ඒ මහතා වත්මන් දේශපාලන වාතාවරණය යටතේ එය නිශේධ වී ගොස් ඇතැයි කීවේ ය. පෙඩරල් ක්‍රමයකට මඟ පෙන්වන තිස්ස විතාරණ යෝජනා අතහැර දමන ලෙස තම පක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද විමල් වීරවංශ එහි දී කියා සිටියේ ය. සර්ව පාක්ෂික සමුළුව පිහිටුවන ලද්දේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි.
මේ අතර උතුරු පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන නිමල් ලෙව්කේ අත්අඩංගුවේ සිටින එල්ටීටිඊ තරුණයින් අමතා කතා කරමින් පෙඩරල් ක්‍රමය ගැන නොව සංවර්ධනය ගැන උනන්දුවන්නැයි කියා සිටි බව පසුගිය 17වන දින දි අයිලන්ඩ් පුවත්පත් වාර්තා කළේ ය.
ආණ්ඩුවේ තවත් ප්‍රබල උදව්කරුවකු වන දොස්තර ගුණදාස අමරසේකර කියා සිටියේ ජීනීවා හී ශ්‍රී ලංකා තානාපති වන දයාන් ජයතිලක විසින් බලය බෙදා හරින බව පවසා අන්තර් ජාතික උදව් ලබා ගැනීම වරදක් වන බව ය.
මේ අතර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ග්‍රව්න්ඩ්ස් විව්ස් වෙබ් අඩවියට ( රාජ්‍ය මාධ්‍යට නොවේ) ලිපියක් ලියන තානාපති දයාන් ජයතිලක කියා සිටින්නේ 13 වන සංශෝධනය නොමැතිව අන්තර් ජාතික සහයෝගය හෝ දෙමළ ප්‍රජාතන්ත්‍රවාදි බලවේගයන්ගේ සහයෝගය හෝ ලබා ගැනීමට බැරි බව යි. එපමණක් ද නොව අභ්‍යන්තර වශයෙන් විතැන්ව සිටින දෙමළ ජනයා ට ඉක්මනින් සහ යහපත් ලෙස සැළැකිම ද ඒ සඳහා අත්‍යාවශ්‍ය බව ඔහු කියා සිටී.
ඔහු මෙසේ ද සඳහන් කරයි: දමිල ජාතිවාදීන් සිතන්නේ 13 වන සංශෝධනය වැඩකට නැති එකක් බවත් එසේ වුවද රාජපක්ෂ ආණ්ඩුවෙහි මතවාදී අගතීන් සහ සිංහල මහජාතිවාදි බලපෑම නිසා එය පවා ක්‍රියාත්මක නොවනු ඇති බව යි. අනෙක් අතට සිංහල මහජාතිවාදීන් සිතන්නේ 13 වන සංශෝධනය ඕනෑවට වඩා වැඩි දෙයක් බවත් එය ක්‍රියාවට නොදමන ලෙස රාජපක්ෂ ආණ්ඩුවට බලපෑමට තමන්ට හැකි බවත් ය. ස්වකීය මනෝ විකාරයන්හි දී මෙම අන්තවාදි කඳවුරු දෙක එක් කුඩා සාධකයක් අමතක කරති. එනම් ඉන්දියාව යි.
ඔහු තවදුරටත් කියන්නේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නැගීම හෝ නොනැගීම ඉන්දියාව සමඟ ශ්‍රි ලංකාවේ පශ්චාත් යුද්ධ සබඳතාවයේ තීරණාත්මක කරුණ බවට පත්වනු ඇති බව යි.
ඉන්දියානු ආණ්ඩුවේ ප්‍රකාශකයින් නැවත නැවත කියා සිටින්නේ ශ්‍රී ලංකාවෙහි දෙමළ ජනයාට බලය බෙදා හැරීම මත පදනම් වූ දේශපාලන විසදුමක් ලබා දෙන බවට ශ්‍රී ලංකාණ්ඩුව දෙන ලද පොරෙන්දු එළෙසම ඉටු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව යි. එමෙන්ම එන්ඩීටීවී වෝක් ද ටෝක් වැඩ සටහනට සහභාගි වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ තවත් වැදගත් ප්‍රකාශයක් කළේ ය. එනම් 1987 ඉන්දු ලංකා ගිවිසුමට සහ ඒ අනුව ඉන්දීය සාම සාධක හමුදවේ පැමිණීමට තමා එදා විරුද්ධ වූ නමුත් ඉන්දීය හමුදාවට තව වසරක් හෝ එක හමාරක් දුන්නේ නම් එය විසින් ම එල්ටීටිඊ ය අවසානයක් කරන්නට ඉඩ තිබුණු බව යි.
13වන සංශෝධන යුද්දයෙන් ජය ගනු ඇත්තේ කුමන පාර්ශවයක් ද යන්න තවම පූරෝකථනය කළ නොහැකි ය. රාජ්‍ය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නම් බලය අල්ලා ගෙන ඇත්තේ 13 ව්‍යවස්ථා විරෝධී විමල් වීරවංශ කදවුර බව පැහැදිලි ය. එනමුත් කවර පාර්ශවයක් හෝ ලබන ජයග්‍රහණය පශ්චාත් යුද සමයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වන බව ඉතා පැහැදිලි ය.