ම්ලේච්ඡ කාලය (1) – හැත්තෑවේ දශකය

Basil Fernandoබැසිල් ප‍්‍රනාන්දු විසිනි | By Basil Fernando

ශ‍්‍රී ලංකාව ම්ලේච්ඡත්වයට පල්ලම් බැසීම උග‍්‍ර කෙරුණේ හැත්තෑවේ දශකයේ දී ය. එතැන් පටන් තත්ත්වය එන්න එන්නම දරුණු විය. පැහැදිළි කිරීමක් වශයෙන් මෙසේ කිව යුතුව තිබේ. ම්ලේච්ඡයා යන්නෙන් මා අදහස් කරන්නේ, ෂොන් ජැක් රූසෝ කී වර්ගයේ උත්තම ම්ලේච්ඡයෙකු නොව. ප‍්‍රජා හැඟීමකින් සහ වගකීමකින් තොරව ජීවත් වන්නෙකි. එසේම ආණ්ඩුවේ ම්ලේච්ඡත්වය ද ඉන් අදහස් කෙරේ. එනම්, පුරවැසියන්ගේ ප‍්‍රජා අයිතිවාසිකම්වලට ගරු නොකිරීම සහ ප‍්‍රජා අයිතීන් සුරැකීමේ සහ ප‍්‍රවර්ධනය කිරීමේ ආණ්ඩුවේ වගකීම පැහැර හැරීම ය. මෙහි දී මා කතා කරන්නේ, ආණ්ඩුවක් අසීමාන්තිකව සහ මිම්මක් පිළිබඳ හැඟීමකින් තොරව හිංසනය පරිහරණය කිරීමට වන් කල, එම රටේ පුරවැසියන් අත්විඳින පරාරෝපණය ගැන යි. මෙවැනි අවස්ථාවක දී ආණ්ඩුවක් හිංසනය භාවිත කරන්නේ, ජනතාවගේ විනීත පැවැත්ම සහතික කෙරෙන සමස්ත සමාජ ව්‍යුහය ආරක්ෂා කර දීමට නොව, ජනතාවගෙන් තමන් ආරක්ෂා වීමට යි.
Svage 350
සමාජයේ සෑම පුරවැසියෙකු සඳහා හොඳම ජිවන ක‍්‍රමයක් සලසා දීමේ සහයෝගීතා ගිවිසුමකින් බැඳී සිටින ආණ්ඩුවක් තවදුරටත් එම ජනතා අභිප‍්‍රායයේ ප‍්‍රකාශනයක් නොවී, එනම් ජනතා අභිමතයේ සමස්ත ප‍්‍රකාශනයක් නොවී, හුදු සමාජ නිර්මිතියම පවා කෙලසන විනාශකාරී බලවේගයක් බවට පත්වන විට, එවැනි රටක පුරවැසියෙකුට තමා එම සමාජයේ කොටස්කරුවෙකැ යි සිතා ගැනීමට නොහැකි වන්නේය. එය, පුරවැසියා සහ ආණ්ඩුව අතර ඇති කෙරෙන පැල්මක් නැත්නම් විවරයකි.

මෙය සිදුවූ තීරණාත්මක මොහොත වන්නේ, අල්ප කැරැල්ලක් කුඩුපට්ටම් කිරීමට පාලක සභාග රජය අසීමාන්තික හිංසනය පාවිච්චියට ගත් 1971 දී ය. එදා ප‍්‍රධාන විරුද්ධ පක්ෂය, එකම පොලොවේ මිනිසුන්ට එරෙහිව ඕනෑම මට්ටමකින් හිංසනය පාවිච්චි කිරීමට ප‍්‍රකාශිතවම ආණ්ඩුවට පූර්ණ සහයෝගය දුන්නේය. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව තුළ දී හෙලිදරව් වු සංඛ්‍යා ලේඛනවලට අනුව, ජනතා විමුක්ති පෙරමුණට වගකීම පැවරුණේ සිවිල් වැසියන් 41 දෙනෙකුගේ මරණ සහ සන්නද්ධ සේවා සාමාජිකයන් 63 දෙනෙකු ඝාතනය කිරීමත්, 305 දෙනෙකුට තුවාල සිදු කිරීමත් සම්බන්ධයෙනි. ඊට ප‍්‍රතිප‍්‍රහාරයක් වශයෙන් 5000-10000 අතර පුද්ගලයන් ප‍්‍රමාණයක් ඝාතනය කිරීමටත්, 15000-25000 ත් අතර පිරිසක් අත්තනෝමතිකව රඳවා තබා ගැනීමටත් ආරක්ෂක හමුදාවන්ට ආණ්ඩුව ඉඩහලේය. මේ ඝාතනවලින් සෑහෙන ප‍්‍රමාණයක්, අත්අඩංගුවට ගත් පසුව හෝ යටත් වූ පසුව සිදුවූ ඒවා ය.

මේ විදිහට, අත්අඩංගුවට පත්වූවෙකු කිසි නෛතික ක‍්‍රියාදාමයකට යටත් නොකොට ඝාතනය කර දැමීම සුජාත කිරීමේ පුරුද්දක් එදා ස්ථාපිත කෙරුණි. මෙය, ම්ලේච්ඡත්වයේ බරපතලම ක‍්‍රියාවන්ගෙන් එකක් විය. ආණ්ඩුවක්, එදා සිට බලයට පත් කිසි ආණ්ඩුවක්, මේ ඝාතනයන් පිළිබඳ ප‍්‍රසිද්ධ සමාවක් ඉල්ලා නැත. එවැනි ප‍්‍රසිද්ධ ක්ෂාමාලාපයක් නොතිබීම, එක පැත්තකින් එම ඝාතන සුජාත කිරීමේ අවසරයක් වූ අතර, අනිත් පැත්තෙන්, එවැනි ඝාතන සඳහා ආරක්ෂක අංශ වෙත පැවරුණු අනුග‍්‍රහයක් ද විය. මේ අනුග‍්‍රහය, ම්ලේච්ඡත්වයට අඩු යමක් නොවේ.

සන්නද්ධ හමුදාවන් යනු ජනතා ආරක්ෂකයන් පිරිසක් නොව, ජනතාවට එරෙහිව පාවිච්චියේ යෙදෙන කුලී කල්ලියක් ය යන හැඟීම මේ අත්දැකීමත් සමග කරලියට ආවේය. එම වෙනස, ආරක්ෂක හමුදා කෙරෙහි සේම ජනතාව කෙරෙහි ද බරපතල බලපෑමක් ඇති කෙළේය. සියල්ලටම වඩා, බලය උසුලන පාලකයාගේ මානසිකත්වය කෙරෙහි එය බලපෑවේය. කිසි නියමයකට හෝ නීතියකට අනුගත නොවී තමාගේම පුරවැසියන් ඝාතනය කිරීමට තමාට අයිතියක් ඇතැ යි පාලකයාට සිතුණි. තමාගෙන් පිටස්තර මතයක් දරණ ඕනෑම කෙනෙකු සතුරෙකු හෝ ද්‍රෝහියෙකු වශයෙන් සැලකීමේ පුරුද්ද, එම මානසිකත්වයේම තවත් දිගුවකි.

‘ද්‍රෝහියා’ යන වචනය ඉන් පසු නොමසුරුව පාවිච්චියට ගැනීම ඇරැඹුණි. ඒ සා තිරශ්චීන සේ ඝාතනය කෙරුණු මගේ පුරවැසි සගයන්ගෙන් එදා ‘මග අද්දර’ නැමැති කවි පංතියකින් මම සමාව ඉල්ලා සිටියෙමි.

නම නොමැති මේ මල්වඩම
සොහොනක් නොමැති ඔබටයි
ඔබ පහස ලද පොළොව
සොයාගත නොහැකි වූයෙන්
පාරක් අසල මෙලෙසට
තැබූවෙමි මෙම මල්වඩම
පාරක් අසල එලෙසට
ඔබට මල්වඩම් තැබුවාට
කමනු මැනවි
කමනු මැනවි.

තවත් පියවරක් ඉදිරියට තැබූ ආණ්ඩුව, 1972 දී ජාතියේ චින්තන සන්තතියටම පහර දෙමින් ජනතාව අපහරණය කිරීමේ බලය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවටම ඇතුළු කෙළේය. ව්‍යවස්ථාමය ම්ලේච්ඡත්වය පටන්ගත්තේ එතැන් සිට යි. ‘‘ජනතා ස්වෛරීත්වය’’ යනුවෙන් සිය සමාජ ගිවිසුම නැමැති කථිකාවේ දී මුලින්ම රූසෝ විසින් අදහස් කරන ලද අරුතට ඉඳුරා පටහැනි අරුතක් මින් පසු ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත කෙරුණි.

ජනතා ස්වෛරීත්වය යනුවෙන් මුලින් අදහස් කෙරුණේ, සමාජයේ පොදු යහපත සහතික කෙරෙන, ලෝක සම්මතයෙන් ජනතාවගේ ප‍්‍රශස්ථ අවශ්‍යතා සපුරාලන සාමූහික ආණ්ඩු මාදිලියකි. එහෙත් ඊට ප‍්‍රතිවිරුද්ධව ශ‍්‍රී ලංකාවේ දී සිදුවුණේ, ලෝක සම්මතය උල්ලංඝණය කරමින්, පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වයක නාමයෙන්, ආණ්ඩුව වෙත අත්තනෝමතික බලයක් පවරා ගැනීමයි. ඇත්ත වශයෙන්ම ගතහොත්, පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය යනු නීතියේ උත්තරීතරත්වය ගසාකෑමකි. නීතියේ ආධිපත්‍යය නොසළකා හරිනු වස් ආණ්ඩුව බලගැන්වීම සඳහා ‘‘ජනතා ස්වෛරීත්වය’’ යන්න භාවිත කිරීම, ස්වෛරීත්වයක් නොව, දාසභාවයක් ස්ථාපිත කිරීමකි. ජනතාව එක්කාසු වී ආණ්ඩුවක් පත්කරගන්නේ, තම නිදහස ආරක්ෂා කර ගැනීමට මිස විනාශ කර ගැනීමට නොවේ. 1972 ව්‍යවස්ථාව තුළට ‘‘ජනතා ස්වෛරීත්වය’’ ඇතුළත් කිරීමෙන් එදා පැවති ආණ්ඩුව කෙළේ, එතෙක් පැවති සුළු ජාතික අයිතිවාසිකම් ආරක්ෂා කෙරුණු විධිවිධාන ඉවත් කිරීම සහ අධිකරණය සතුව තිබු සමාලෝචන බලය උදුරා ගැනීමයි. එය ජනතා නිදහස රැක දීමක් නොව, ජනතාව වහලූන් බවට පත්කිරීමේ පාලක බලය තහවුරු කරගැනීමකි.

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ, මේ ව්‍යවස්ථාමය ම්ලේච්ඡත්වය තවත් අත්තනෝමතික හැඩයකට ලක්වුණි. එතැන් සිට, විධායක ජනාධිපති නමින් හැඳින්වෙන තනි පුද්ගලයෙක්, ස්වාමියා වශයෙන් ඉස්මතු විය. ව්‍යවස්ථාදායකයේ බලය ඔහුගේ පයට පෑගුණි. අධිකරණයේ යම් හෝ ස්වාධීනත්වයක් විණි නම් එය ද පාගා දැමුණි. එය හැඳින්වුණේ ‘‘ජනතා ස්වෛරීත්වයක්’’ වශයෙනි. විධායක ජනාධිපතිවරයෙකු වෙනුවෙන් ඡන්දය දීම හරහා ජනතාව තමන්ගේ බලයෙන් අස්වාමී වන්නේය යන හාස්‍යජනක සංකල්පයක් ඉන් පසු වර්ධනය කෙරුණි. දැන්, විධායක ජනාධිපතිවරයාගේ බලය යනු, ‘‘ජනතා ස්වෛරීත්වය’’ සේ නිර්වචනය විය.

එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති වීමට ශ‍්‍රී ලංකාවේ ජනතාව ඉඩ හැරීම මගින් ඔවුන් දේශපාලන බුද්ධිය කැලැල් කරගෙන ඇත. පාලකයා විසින් ‘‘ජනතා ස්වෛරීත්වය’’ වැනි වචන එසේ පාවිච්චි කරනු ලැබීම, අමු රැවටිල්ලකි. රටේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාවේ හරය තුළ ඇත්තේ එම රැවටිල්ලයි.

ඒ වනාහී, ජනතාව සිය කැමැත්තෙන්ම තමන්ව වහලූන් බවට පත්කරගත් ව්‍යවස්ථාවක් වශයෙන් සැළකිය යුතුව තිබේ.