කොහිල ධර්මේ යන පුද්ගලයා ප‍්‍රසිද්ධියට පත්වුණේ එක්තරා මහේස්ත‍්‍රාත්වරයෙකු සමග ඔහුගේ පැවති විශේෂ මිත‍්‍රතත්වයක් හේතු කොටගෙන ය. තරුණ කාලයේ කොහිල ධර්මේ නැමැති අපරාධකරුවෙකු වශයෙන් හිරේ සිට ඇති මෙම පුද්ගලයා ඉහත කී මහේස්ත‍්‍රාත්වරයා සමග පැවති සමීප සබඳතාව හරහා පසු කලෙක උසාවියේ රාජසන්තක කෙරෙන බඩු බාහිරාදිය වෙන්දේසි කෙරෙන අවස්ථාවල ඒ අතරින් හොඳම දේවල් අඩුම මිලකට ලබා ගැනීමට සමත් විය. මහේස්ත‍්‍රාත්වරයාගේ අවාසනාවට මේ කාරණය හෙළිදරව් වී ඔහුගේ නඩුකාර කම ද අහිමි විය. කොහිල ධර්මේ සහ මහේස්ත‍්‍රාත්වරයා යන දෙන්නාම කෛරාටික කතාකරුවන් ය. ඒ නිසා, තමන් ඉතා අහිංසක සහ චාම් පුද්ගලයන් බව ලෝකයාට පෙන්නුම් කිරීමට දෙන්නාම සමත්ව උන්හ.

අගවිනිසුරු මොහාන් පීරිස් බුදු දහම දේශනා කරන සැටි අහගෙන සිටින විට කෙනෙකුට මැවී පෙනෙන්නේ අර කොහිල ධර්මේව ය. දෙන්නා අතර සමානත්වයක් මැවෙන්නේ, පුද්ගලයන් දෙන්නා අතර ඇති සමානත්වයක් නිසා පමණක් නොව, ඔහු දේශනා කරන්නේ කොහිල ධර්මයක් මිස බුදුන් වහන්සේගේ ධර්මයක් ද නොවන නිසා ය.

අගවිනිසුරුවරයා ශීලය ගැන ද කතා කෙළේය. එක ශීලයක් වන්නේ අනුන්ගේ දේවල් නොගැනීම බව ඔහු පෙන්වා දුන්නේය. ශිරානී බණ්ඩාරනායකගේ තැන තමන් විසින් ගැනීම එම ශීලය කැඞීමක් බව ඔහු නොකීවේය. කෙසේ වෙතත් ඔහු කතා කෙළේ තුන් ශීලයක් ගැන පමණි. හතරවැනි ශීලය හෙවත් මුසාවාදය ගැන ඔහු කතා කෙළේ නැත. සමහර විට එය ෆ්‍රොයිඩියානු අතපසුවීමක් වුණා විය හැකිය. ප‍්‍රගීත් එක්නැලිගොඩ පිටරටක ජීවත්ව සිටින බවට තමන්ට විශ්වාස කටයුතු ආරංචි ඇතැ යි එක්සත් ජාතීන්ගේ නිල සැසි වාරයක ඉදිරියේ තමා බොරු කී බව ඔහුගේ මතකයට එන්නට ඇති. මේ ආරංචිය ඔහුට ලැබුණේ කොහෙන්දැයි පසු අවස්ථාවක ලංකාවේ අධිකරණයක් මගින් ඔහුගෙන් ප‍්‍රශ්න කර සිටි අවස්ථාවේ ඔහු කීවේ තමන්ට ඒ ගැන දැන් මතක නැති බවයි.

අධිකරණයේ නිදහස සහමුලින්ම විනාශ කිරීමට ජනාධිපතිවරයා සමග කුමන්ත‍්‍රණය කළ පුද්ගලයාගේ ධර්මය එයාකාර ය. කෙසේ වෙතත් එය අපට අමුත්තක් ද නොවේ. පෙර සිටි කිසිවෙකුටත් වඩා ඉහළින් මේ පුද්ගලයා රටේ නීති පද්ධතියත්, අධිකරණ පද්ධතියත් කෙලසීමට කලින් එම කාර්යයම කළ සරත් නන්ද සිල්වා ද මෙවැනිම බණකාරයෙකි.

රටේ පවතින සෑම විනීත, නීතික සහ යුක්ති ගරුක දෙයක්ම විනාශ කරන අතරේ, කිසි ලැජ්ජාවකින් තොරව, බුදුන් වහන්සේගේ සදහම් ධර්මයෙන් තමන් පැහැදී ඇති සැටියක් පෙන්නුම් කිරීමට හැකි වීම, මනෝ විකාරිකයෙකුට පමණක්ම කළ හැක්කකි. මොහාන් පීරිස් බුද්ධාගම වැදෑරීම තුළ ඇති වංචනිකත්වය දෙස බලා සිටින්නට සිදුවීම සමාන කළ හැක්කේ, ළමා අපචාරක දේවගැතියෙකුගේ දේශනාවකට සවන්දෙන ලිංගික අපහරණ වින්දිතයෙකුගේ හැඟීමකට ය.

අබසරණ බුද්ධාගමේ බොහෝ ආකෘති

බොදුබල සේනාව දුෂ්ට භික්ෂුව ගලගොඩඅත්තේ ඥානසාර අළුත් බුද්ධාගමක් හඳුන්වා දී තිබේ. එය, අබසරණ බුද්ධාගම වශයෙන් හඳුනාගත හැකිය. ඒ වූ කලී, විරුද්ධවාදීන්ගේ දේපළ කොල්ලකෑම සඳහා හිංසනය පාවිච්චි කෙරෙන බුද්ධාගමකි. සාරයෙන් ගතහොත්, මේ අබසරණ බුද්ධාගමේ ඉහළම ගුණාංගය වන්නේ කෑදර තණ්හාවයි.

මොහාන් පීරිස්ගේ සහ සරත් නන්ද සිල්වාගේ බුද්ධාගමත් සාරාර්ථයෙන් එසේ ය. සරත් නන්ද සිල්වා අහිංසක මිනිසුන් පීඩාවට පත්කෙළේය. තමන් පවරා ඇති නඩුව සරත් නන්ද සිල්වා විසින් විභාග කළ යුතු නැතැ යි පෙන්වා දුන් වරදට ටෝලි ප‍්‍රනාන්දු නැමැත්තාව බරපතල වැඩ ඇතිව අවුරුද්දකට ඔහු හිරේ ඇරියේය.

එයාකාරයෙන්ම ඔහු තමන්ගේ තනතුර මුලින් පාවිච්චි කෙළේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ විරුද්ධවාදීන්ටත්, පසුව මහින්ද රාජපක්ෂගේ විරුද්ධවාදීන්ටත් එරෙහි අවියක් ලෙස ය. එසේම, නීතිඥයන් සහ නඩු කියන්නන් බිය ගැන්වීමත් ඔහුගේ බුද්ධාගමේ එක් අංගයක් විය.

දැන් මොහාන් පීරිස් බුද්ධාගම ගැන කතා කරන විට, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිගේ ජීවිතය තර්ජනයට ලක්වන අතර, ශ‍්‍රී ලංකාවේ වෙසෙන සියලූ නීතිඥයන් තුළ බිය ජනිත කෙරේ. එසේ හෙයින් දැන් සෑම කෙනෙකුටම ඇත්තේ අබසරණ බුදුදහමක පිහිටකි.

කරුණාව සහ සියල්ලන් සඳහා වන මෙත‍්‍රිය පිළිබඳ බුදු දහමක් දලයි ලාමා දේශනා කරයි.

‘‘බුදුන් වහන්සේ දේශනා කරන්නේ, මෛති‍්‍රය සහ කරුණාවයි. උන්වහන්සේ ජීවමානව සිටියේ නම්, බෞද්ධයන්ගේ ප‍්‍රහාරයන්ගෙන් මුස්ලිම්වරුන්ව උන්වහන්සේ ගලවා ගනු ඇතැ’’

යි මෑතක දී එතුමා දේශනා කොට තිබේ.

ඉන්දියාවේ සිටි ආචාර්ය අම්බෙඞ්කාර් හින්දු ආගම අතහැර බුද්ධාගම වැළඳ ගත්තේය. එකල හීනකුලයන් වශයෙන් ගර්හාවට ලක්කොට සිටි, සමාජයෙන් අන්තයටම පිටමං කොට සිටි සමාජ කොටස්වල සෑම මනුෂ්‍යයෙකුටම මිනිස් ගර්වයත්, සමාන සැළකීමත් දේශනා කෙරෙන්නේ බුදු දහමින් බව ඔහු එදා ඉන්දියාවට පෙන්වා දුන්නේය. එම සමාජ කොටස් දැන් හැඳින්වෙන්නේ ‘දලිත්’ යන නමිනි. සංස්කෘත භාෂාවෙන් බිඳී ඇවිත් ඇති එම වචනයේ අර්ථය ‘අන්ත දිළිදු’ යන්නයි. පීඩිතයන් ගොඩගැනීමත්, සියල්ලනේ සඳහා සාමය සහ සංහිඳියාව ගෙන ඒමත්, බුද්ධාගමේ අභිමතාර්ථයයි.

ලංකාවේ ප‍්‍රකටම නවකතාකරු සහ ලේඛක මාර්ටින් වික‍්‍රමසිංහ ඔහුගේ ශ්‍රේෂ්ඨ රචනයක් වන ‘බවතරණ’ නැමැති කෘතියේ දී, එදා ඉන්දියාවේ කුමාරවරුන් සහ වෙනත් බලගතු පිරිස් ඉදිරියේ සිදුවන මර්දනයට සහ කෲරත්වයට එරෙහිව සෑම මනුෂ්‍යයෙකු සඳහාම වන විමුක්ති මාර්ගයක් ගැන බුදුන් වහන්සේ දේශනා කිරීම ගැන සාකච්ඡා කරයි.

එසේ තිබියදී අද සමාජගත වන්නේ, ගලගොඩඅත්තේ ඥානසාර, සරත් නන්ද සිල්වා සහ මොහාන් පීරිස්ගේ දේශනා හරහා කියැවෙන අබසරණ බුද්ධාගම හෙවත් කොහිල ධර්මයයි.

ශෝකයට පත් ආනන්ද විසිනි

*2014 ජුලි 16 වැනි දා ‘ශ‍්‍රී ලංකා ගාර්ඩියන්’ වෙබ් අඩවියේ පළවූ Mohan Peiris’ Kohila Dhamma & Gnanasara’s Abasarana නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්