Image: ඊයේ අලවන ද පෝස්ටරයක්, කොළඹ.

කිසිදා පරාජය කිරීමට නොහැකියි කියු රාජපක්ෂ රෙජීමය පරාජය කලේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ඡන්ද ලක්ෂ 62කක් ලබා දෙමිනි. එය කිසිදු ජාති, ආගම්, වර්ග බේදයකින් තොරව, රාජපක්ෂලා ප්‍රතික්ෂේප කිරීම සනිටුවහන් කළ ජන වරමකි. එහි නෑකම පූර්ණ ලෙස එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ව සිටි, පසුව පොදු අපේකෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කල මෛත්‍රිපාල සිරිසේන නම් පුද්ගලයාට හිමිවන්නේ නැත. එය මේ රටේ ප්‍රගතිශීලී පුරවැසියන්ගේ ක්‍රියාවලියකි. පුරවැසියන්ගේ ජයග්‍රහණයකි. මෛත්‍රීපාල සිරිසේන යනු එහි එක් ප්‍රධාන සංඛේතයක් පමණි.

එම තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂට ඉදිරි මහ මැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරග වැදීම සදහා නාමයෝජනා දීමට ජනාධිපති මෛත්‍රීපාල එකග වී ඇතැයි සුසිල් ප්‍රේමජයන්ත ඇතුලු රාජපක්ෂ නඩේ සිදු කරන ප්‍රකාශත් සමග මෛත්‍රී ද්‍රොහියෙක් බවට පත්වෙමින් තිබේ. දසතින් මෛත්‍රීට ප්‍රහාරයන් එල්ලවීමට පටන් ගෙන තිබේ.

නමුත් ජනපති මෛත්‍රී ඒ ගැන සෘජුව කිසිවක් නොකියා කසාය බී ගොලුවෙකු සේ සිටියි. ඒ ගොලු කමෙන් හැගවෙන්නේ මෙවන් සංකීර්ණ අවස්ථාවක රාජ්‍ය නායකයෙකුගේ හැසිරීම නොවේ. වසර ගණනාවක් නිදහස් පක්ෂය වැනි අධිපතිවාදී පක්ෂයක ක්‍රියා කරමින්, මෙන්ම රාජපක්ෂගේ නායකත්වය යටතේ සිටිමින් උකහාගත් කපටි කමකි.

එයට ‘මෛත්‍රී පාවා දුන්නා යැයි කීමෙන් ඵලක් නැත‘. එය ලංකාවේ පාලකයින්ගේ නරුම කමකි. !

එය ලංකාවේ පුවැසියන්ගේ අභාග්‍යකි. හොරුන්ගේ සහ වහලුන්ගේ වාසනාවකි.

ජනවාරි 8වෙනිදා ලබාගත් ජය කිසියම් පමණකට හෝ ආපසු පෙරලීමට ඇති අවස්ථාවන් මෙරට පුරවැසි සමාජය විසින් අවබෝධ කර ගත්තේ නැති සේයකි. එසේ වීමට දෙනු ලබන සංඥා ඕනෑ තරම්ය. ඉන් කිහිපයක් නම්, 19වන ව්‍යවස්ථා සංශෝධනය ට ජාතීවාදීන් එල්ල කරන ලද අකුල් පහරවල් නිසා එය දියාරුවිය. වසර ගණනාවක් සිවිල් සමාජයේ ද මැදිහත් වීමෙන් පෝෂණය කළ තොරතුරු දැනගැනීමේ පනත කුණු මුල්ලක සිරකර තැබීමෙන් ද එය මනාවට අපට ඔප්පු විය. රටේ සම්පත් කොල්ල කෑ රාජපක්ෂ රෙජීමයේ තෝරු මෝරුන්ට නිදහසේ සැරි සැරීමට දුන් අවස්ථාවෙන්ද එය සනාථ වූ විය.

එපමණක් ද නොවේ, ජනවාරි 8වෙනිදායින් පසුව සැලකිය යුතු අන්දමේ කිසිදු පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවූ ලංකාවේ මහින්දට නාම යෝජනා දෙන බවට සැලවූ වහාම මහින්දගේ කුණු කන්නන් විසින් අනිකුත් පාක්ෂිකයන් වෙත සිය මුග්ධ ප්‍රචණ්ඩත්වය මුදා හැරීම ආරම්භ කළේය. ඒවාට ද ආණ්ඩුවේ කිසිවෙක් ගන්නා කිසිදු පියවරක් මේ දක්වා පෙනේනට නැත.

එබැවින් මෛත්‍රී දැන් කරමින් සිටිනවා යැයි කියන ‘දෙය‘ ඉබේ, ක්ෂණික ලෙස සිදු වූවක් නොවේ. එය එක් පැත්තකින් රාජපක්ෂ කරණය වූ රටේ එක්තරා ව්‍යසනමය මොහොතකි.

අනෙක් පසින් වසර ගණනකාවක් ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය අභ්‍යාස කිරීමට මෙරට සමාජයට තිබූ සියලු අවස්ථාවන් මර්දනය කර තිබූ රටක මෙවන් ව්‍යසනයන් ක්ෂණික ව්‍යසනයන් නොවේ. මේ රටේ පැළ පදියම් වූ මුග්ධ බවේ මෙන්ම ගෝත්‍රිකත්වය පිළිබද පෙන්නුම් කිරීමකි.

එසේම, රටේ පුරවැසි සහ දේශපාලන සමාජය විසින්, සාපේකෂ්ව හෝ සිතිය හැකි තාර්කික නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් තෝරා නොගැනීමේ ඓතිහාසික වැරැද්දේ, බියකරු ප්‍රථිපලයක් ලෙසද කල්පනා කිරීම වැරැද්දක් බව නොපෙනෙන්නට හේතු අවමය.

එබැවින් දැන් මෛත්‍රී සිදුකරමින් සිටින්නේ ලංකාවේ ඓතිහාසික දේශපාලනික ගමන් මගේ තවත් මාර්ගයකට තමන්ගේ වුවමනාවන් සමග රට ගෙනයාමට දරණ උත්සහයකි. රාජපක්ෂවාදීන් කියන ලෙස ඒ මාර්ගයේ රට ගෙන යාම මෛත්‍රීට හෝ මහින්දට එතරම් පහසු වන්නේ නැත. මක්නිසා ද යත් මහින්දලා නොමැති මාස කිහිපය මේ රට තුළ ඇති වීමට පටන් ගෙන තිබූ සාපේක්ෂ නිදහසේ අවකාශයන් නිසාය.

එසේ නම් කළ යුත්තේ කුමක්ද?

කල යුත්තේ කුමක්ද යන්න පිටු ගනන් ලියන්නටත්, වරැ ගනන් සාකච්ඡා කරන්නටත් අවශ්‍ය නොවේ. දැන් අවශ්‍ය වන්නේ ජනවාරි 8ට පෙර මෙන් රාජපක්ෂට එරෙහිව තිබූ ප්‍රගතිශීලි කදවුර ශක්තිමත් කර ගැනීමය. ජාතිවාදීන්ට, වර්ගවාදින්ට එරෙහිව මනුස්සකමේ කදවුර යළි ජනවාරි 8ට වඩා ශක්තිමත් කරගැනීමය. එවන් ව්‍යාපාරයන් මහින්ද රාජපක්ෂත්, මහින්ද රාජපක්ෂට පාර හදන මෛත්‍රී වැඩපිළිවෙලත් එළබෙන මැතිවරණයෙන් අතුගා දමා අවම වශයෙන් ‘ලංකාව ප්‍රතිසංස්කරණමය රාජ්‍යක්‘ දක්වා ශක්තිමත් කිරීමය.

සටහන අවසන් කරන්නට ප්‍රවීන සාහිත්‍යකරැවෙකු වන ජයතිලක කම්මැල්ලවීර සිය ෆේසුබුක් පිටුවේ ලියු සටහනක් උපුටා දක්වමි.

”ජනවාරි 08 ‍වෙනිදා ජනතාවට අවශ්‍ය වූ‍යේ කුමක්ද යන්න ‍මෛත්‍රී හරිහැටි වටහා‍ගෙන නැත. ජනතාවට අවශ්‍ය වූ‍යේ මහින්ද පිටුදැකීමයි. මෛත්‍රී ජනාධිපති වන්නේ එහි අතුරු පලයක් හැටියට මිස කෙ‍සේ හෝ මෛත්‍රී කෙනෙක් ගෙන එන්නට රටේ ජනතාවට වුවමනාවක් තිබුණු නිසා නොවේ. ‍මෙය මෛත්‍රී දැන්වත් තේරුම් ගත යුතුය. අපි ‍මෛත්‍රීට ‍මෙසේ කියමු. ‘අපට අවශ්‍ය වූ‍යේ මහින්ද එළවන්නට මිස ඔබ රජ කරවන්නට නොවේ.

‍මේ රටේ බහුතර ජනතාව ජනවාරි 08 ‍වෙනිදා ක‍ළේ රට ගෝත්‍රිකවාදයෙන් ගලවාගැනීමේ සටනේ ප්‍රථම පියවර තැබීමයි. සටන එයින් අවසන් වූයේ නැත. එය වට ගණනාවක සටනකි. දැන් එහි දෙවන වටය එළඹ තිබේ. මේ දෙවන වටය මුල් වටය තරම් අමාරු නැත. රාජ්‍ය බලය, සියලු මාධ්‍ය හැසිරවී‍මේ බලය, රාජ්‍ය සම්පත් කෝටි ප්‍රකෝටි ගණනින් ඡන්ද අල්ලස් සදහා වියදම් කිරී‍මේ බලය, මැර බලය ආදී සියලු බලය යොදා ගත් මුල්වටය ජනතාව ජයගත්තේ නම් දැන් ඒ බො‍හෝ දේ නැති තත්ත්වයක් තුළ ‍මේ දෙවන වටය මහින්දගේ ගෝත්‍රිකවාදය පරාජය කිරීම පහසුය. නිසි මගපෙන්වීමක් ඇත්නම් මේ දෙවන වටය ජනතාව පහසුවෙන් ජයගනු ඇත.”