අලුත්ගම දර්ගා නගරය ඇතුල ප්‍රදේශයේ වෙළදසැල්, දේවස්ථාන, නිවාස ඇතුලු දේපලවලට ජාතිවාදීන් විසින් ගිණි තබා, මිනිසුන් 4දෙනෙක් ඝාතනය කරමින්, 100කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින්, 10000කට ආසන්න පිරිසක් අවතැන් කරමින් ඇතිකළ ව්‍යසනය ට පසුගිය ජූනි 15 දාට වසර 3ක් ගතවිය.

ඒ සියලු දේ සිදුකලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ආණ්ඩු කළ ‘සුභ අනාගතයක්‘ නම් ෆැසිස්ට් පන්නයේ ආණ්ඩුව තුළය. නමුත් 2015 ජනවාරි 8 වනදා රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වනතෙක් ‘සුභ අනාගතය‘ නම් පාලනයට ඒ අපරාධයට වගකිව යුතු කිසිවෙක් නීතිය හමුවට පැමිණවීමට අපොහොසත් විය. අපොහොසත් වූවා පමණක් නොව ඒ සදහා කිසිදු ක්‍රියාවලියක් ‘සුභ අනාගතය‘ නම් ඊනියා ආණ්ඩුවට කළ නොහැකි වූ හේතුව සැගවීමට නොහැකි වූයේ ඒ අපරාධයට හවුල් වූ අපරාධකරුවන් ඔවුන්ගේ සුරතලුන් වීමය.

නමුත් 2015 ජනවාරි 8න් පසු බලයට පත් වූ රනිල්, මෛත්‍රී නම් ‘යහපාලනයට‘ වසර 2කක් ගත වුවත් ඒ පිළිබද යුක්තිසහගත ප්‍රකාශයක්වත් තවමත් සිදුකිරීමට නොහැකි වී තිබේ.

එසේ වන්නේ ඇයි?

එදවස රනිල් වික්‍රමසිංහ නම් විපක්ෂනායකවරයා මෙසේ කීවේය. අලුත්ගම මැරයන් අපි හඳුනනවා – රනිල් (කියවන්න)

තත්ත්වය එසේ තිබිය දී…

මේ වීඩියෝ සටහන අලුත්ගමට යුක්තිය ඉටුකිරීමට බලකිරීමක් ලෙස සටහන් කරමු.

##

දැන්

දර්ගා නගරයේ ඇති කළ ව්‍යසනය පිළිබදව එසේ කීව් එවකට විපක්ෂනායකවරයා දැන් ලංකාවේ අගමැතිවරයාය.

වසර 3ක් ගත වී තිබේ.

එම බිහිසුණූ රාත්‍රිය උදාවීමට පෙර බොදුබල සේනාවේ තක්කඩියන් එම ප්‍රදේශයට ගොස් කළ තර්ජනයන් මුලු ලොවම දුටුවෝය. පසුව ඇදිරි නීතිය දමා තිබිය දී, හමුදාව සහ පොලීසිය ද බලා සිටියදී මුස්ලිම්වරුන්ගේ ගෙවල් දොරවල් ගිණි තබමින්, ඔවුන්ට පහර දෙමින් ජීවිත කිහිපයක් බිලි ගත් හැටිත් දැන් ලෝකයට වසන් කිරීමට නොහැකිය.

එබැවින් එදවස විපක්ෂනායක අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාණෙනි, ඔබ හදුනනවා කිව් ඒ මැරයන් දැන් වත් නීතිය හමුවට පමුණුවා යහපාලනය ක්‍රියාවෙන් තහවරු කිරීම ඔබ හමුවේ ඇති වගකීමකි.

දර්ගා ව්‍යසනයෙන් වසර 3ක් ඉක්ම යන මොහොතේ හෝ ඔබට එය කළ නොහැකි වුවහොත් ජාතික සමගිය, ආගමික සහජීවනය වැනි වචන සමග හෙට ඔබ පුරවැසියන් හමුවට යන විට දෙවරක් සිතන්න. මක්නිසාද යත්, අවසානයේ රටේ අනාගතය තීන්දු කරන්නේ සක්‍රීය පුරවැසියන් නිසාය.