Colombo, Featured Articles, Features

දහස් ගණන් ධීවරයින්ගේ ප්‍රභල සටන හමුවේ, ආණ්ඩුව සී ප්ලේන් ව්‍යාපෘතිය හකුලා ගනීයී.

‛‛මේ කලපුව අපේ අම්මා වගේ. අපේ කලපුව අපට ඕන. අපේ දරුවෝ ජීවත් වෙන්නේ මෙකෙන්. අපේ දෙවියන් වහන්සේ දුන්නේ මේ කලපුව. ඒත් දැන් අපෙන් උදුර ගන්න හදනවා අපේ කලපුව. අපි තමයි මේ ආන්ඩු පත් කෙරුවේ. ඒත් අද අපට ඒ ආණ්ඩුවම ගහනවා.’’ යැයි එක් ධීවරයෙක් අප සමඟ පැවසූවේ මීගමුව කළපුව මතට ජලචර ගුවන් යානා(සී ප්ලේන්) ගොඩබැස්ස වීමේ ආණ්ඩුවේ ව්‍යාපෘතියට විරුද්ධව ඊයේ(17) මීගමුව කළපුව මධ්‍යයේ දහස් ගනන් ධීවරයින් පැවැත් වූ විරෝධතාවයේ දීය.

උදෑසන 9ට පමණ බෝට්ටු, ඔරු සහ තප්පම් සමග ධීවරයින් දහස් ගණනක් මෙම විරෝධතාවයට එක්ව සිටි අතර ඔවුන් පවසා සිටියේ මෙම ව්‍යපෘතිය ඉවත් කර ගන්නා තුරු තමන් මෙම කලපුව මධ්‍යයේ එයට විරෝධය දක්වන බවත්, ඒ වන විටද කලපුව හාරමින් තිබෙන යන්ත්‍රය ඉවත් කර ගැනීම ඉතාමත් ඉක්මනින් සිදු නොකළ හොත් දවස් ගනන් නොව සති ගණනක් වුවත් තමන් එම ස්ථානයේ දී විරෝධය දක්වන බවය.

කෙසේ වෙතත් මෙම විරෝධය පවත්වන ස්ථානයේ ආයුධ සන්නද්ධ නාවික යාත්‍රා කිහිපයක්ම ගමන් කරමින් විරෝධතා කරුවන්ට එයින් ඉවත්වන ලෙස තර්ජනය කිරීම නිසා ඇතැම් ධීවරයින් නාවික බටයින් සමග බහින් බස් වීමක් සිදු විය. එහිදී ඇතැම් ධීවරයින් නාවික බටයින්ට කියා සිටියේ ‛‛යුද්දේ දිනුවට පස්සේ අපි කිරිබත් කැව්වේ මේවටද, පුලුවන් නම් වෙඩි තියන්න’’ යනුවෙනි.

කෙසේ වෙතත් පැය 3කට ආසන්න කාලයක් කලපුව මධ්‍යයේ උද්ඝෝෂණය කල ධීවරයින් පසුව කලපුවෙන් ගොඩට පැමිණ කටුනායක, (මාලුකඩේ) හංදියේ සිට තම විරෝධතා උද්ඝෝෂණය පැවැත්වීය. එහිදී මීගමුව කොළඹ මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති වූ අතර පොලීසිය මැදිහත් වී එය සමනය කිරීමට ගත් උත්සහය ව්‍යර්ත කරමින් ඒක් මංතීරුවක් මුලුවනින්ම ධීවරයන්ගේ උද්ගෝෂණයට වෙන් කිරීමට පොලීසියට සිදු විය. කෙසේ නමුත් එම ස්ථානයට යුද හමුදාවත් කැඳවා තිබූ අතර ඔවුන්ට ද එම විරෝධය පාලනය කරන්නට නොහැකි විය.

අවසානයේ දී ඔවුන් පවසා සිටියේ තමන්ගේ ගැටලුවට විසදුමක් ලැබෙන තුරු මෙම විරෝධය පවත්න බවය. ඒ වන විට ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයන් ද මෙයට එකතු වී සිටියේ ය.
‛‛සී ප්ලෙන් අපිට එපා.
අපේ කලපුව අපට ඕන.
ධීවර ඇමතිට එන්න කියාපිය
මේවට උත්තර දෙන්න කියාපිය.
බැයිනං උන්ටත් යන්න කියාපිය.
පරිසර ඇමතිට එන්න කියාපිය
මේවට උත්තර දෙන්න කියාපිය.
බැරිනං උන්ටත් යන්න කියාපිය.
නේවී බෝට්ටු වතුරේ දමා
අපි වලකනු සිතනු එපා’’ යන සටන් පාට කියමින් ඔවුන් පැය 4කට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ යෙදුනු අතර පසුව බලධාරීන් විසින් එම ව්‍යාපෘතිය නවතා දමන බවටත්, කලපුවේ ඇති වැලි හාරන යන්ත්‍රය ඉවත් කර ගන්නා බවටත් පොලීසිය මගින් ධීවරයින්ට දැනුම් දුන් ඉන් පසු මාර්ගයේ උද්ඝෝෂණය නවතා දැමූ ධීවරයින් එම යන්ත්‍රය ඉවත් කරීමට සූදානම් දැයි පිරික්සීමට නැවතත් කලපුවට යෑමට තිරණය කළේ ය. පසුව එම ධීවරයින් සියලු දෙනා නැවතත් කළපුව මධ්‍යට ගොස් එම යන්ත්‍රය ඉවත් කරගන්නා තුරු තමන් එහි රැදී සිටින බවට එහි සිටි නාවික සෙබලුන්ට දන්වා සිටියේ නැවතත් නාවිකයින් විසින්, ධීවරයින්ට එම ස්ථානයෙන් පිටවීමට කළ තර්ජනයන් හමුවේය.

කෙසේ වෙතත් සවස 6 පමණ වන විට ක්‍රමක්ක්‍රමයෙන් එම යන්ත්‍රය ගොඩ බිමට ඇදගෙන යනු ලැබුවේ ධීවරයින්ගේ ප්‍රභල උද්ගෝෂණය විසින්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති පරාජය කරමින්, පැය 10කට ආසන්න කාලයක් ධීවරයින් දැක්වූ විරෝධතාවයේ විශිෂ්ඨ ප්‍රථීපලයක් ලෙසය.

කලපුව මධ්‍යයේ පැවැත්වූ උද්ඝෝෂණයෙ ඡායාරෑප

ආයුධ සන්නද්ධ නාවික භටයින්

මීගමුව කොළඹ මාර්ගයේ පැවැත් වූ උද්ඝෝෂණයේ ඡායාරෑප

සටහන සහ ඡායා – සම්පත් සමරකෝන්

ෙමහි වීඩියෝ දර්ශණ සදහා http://www.youtube.com/watch?v=2bdbsMGoC48 ෙමයට පිවිෙසන්න