සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation

ජාතිය ගොඩනැගීම පැහැර හැරි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය

Picture courtesy – Daily News


[1970-72 පළමු ජනරජ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කෙටි සටහනක්]

1948 පෙබවාරි 4 වන දින අප රටට ලැබුණ ඩොමීනියන් තත්ත්වය පරිපූර්ණ නිදහසක් නොවූ බැවින් එම නිදහස මූලික නීතිමය ලියවිල්ල වූ 1946 ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා නිදහස්) රාජ්‍ය සභා ආඥාව, එකී ව්‍යවස්ථාව යටතේම ඇති ප්‍රතිපාදන යටතේ සංශෝධනය කරමින් පූර්ණ නිදහසක් කරා යාම මුල්කාලින අභිප්‍රාය වුවද, පසුව මහජන නියොජිතයන්ගේ අදහස වූයේ පූර්ණ නිදහසක් සහිත ජනරජයක් බිහිකිරීම ව්‍යවස්ථා විප්ලවයක් හරහා සිදුකල යුතු බවයි.

ඒ අනුව 1970 මැතිවරණයේ සමගි පෙරමුණේ ප්‍රධානතම මැතිවරණ පොරොන්දුව වූයේ පූර්ණ නිදහසක් සහිත ජනරජයක් පිහිටුවන බවයි. සමගි පෙරමුණුට 2/3 කට වඩා බහුතර බලයක් ලැබුණ අතර එවකට පැවති නියෝජිත මංත්‍රී මණ්ඩලයේදී ආණ්ඩු පක්‍ෂය විසින් ජනරජ ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩයක් ගෙන ඒමට යෝජනා සම්මතයක් ගෙන ආ අතර එය ඒකමතිකව සම්මතවිය.

එමෙන්ම එකල පැවති උත්තර මණ්ඩලය වූ සෙනට් සභාව ද නියෝජිත මංත්‍රී මණඩලයේ මෙම යෝජනාව සම්මත කරනු ලැබීය.(මෙම සෙනට් සභාව නියෝජිත මංත්‍රි මණඩලය විසින් සෝල්බරි ව්‍යවස්ථාවට ගෙන එන ලද 8වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව 1971 ඔක්තෝබර් 2 වන දින සිට අහෝසිවිය).

1970 ජූලි මස 19 වන ඉරුදින කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලට නියෝජිත මංත්‍රි මණ්ඩලයේ සාමාජිකයන් රැස්වූයේ මංත්‍රිවරුන් ලෙස නොව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් ලෙසය. පාර්ලිමේන්තුවෙන් පිටත සිදුකරන ව්‍යවස්ථා සම්පාදක කාර්යය සංඛේතවත් කිරීම සදහා මෙම මංගල රැස්වීම හා 1970 මැයි 22 පැවති අවසන් රැස්වීම මෙසේ නව රඟහලෙහි පවත්වන ලදී. 1970 ජූලි 19 වන දින ආරම්භ කරන ලද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සමාරම්භක රැස්වීම ජූලි 20 හා 21 දිනවල දී ද පැවැත්විනි.

එහිදි ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත්කිරීමේ යෝජනාව සම්මත කිරීම නිළධාරීන් පත් කිරීම ආදී කටයුතු සිදුකරන ලදී. නියෝජිත මංත්‍රි මණ්ඩලයේ කථානායකවරයා වූ ස්ටැන්ලි තිලකරත්න මහතා මෙහි සභාපති ලෙස පත්විය. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වඩා ක්‍රියාකාරී කටයුතු ආරම්භවන්නේ, 1970 ජූලි මස 29 වන දින සිටය. එහිදී පළමුව සම්පාදක මණ්ඩලය කටයුතු කිරිමේ නීතිමය රාමුව වන ස්ථාවර නියෝග සම්මත කරගැනීම සිදුකරන ලදී. මෙම ස්ථාවර නියෝග කෙටුම්පත අවශ්‍ය සංශෝධන සහිතව සම්මත කරගැනිමට දින කිහිපයක්ම ගත විය.

මේ අතරතුරු මෙම සම්පාදක මණ්ඩලයේ ඉතාමත් ක්‍රියාකාරී කමිටුව වූ මෙහෙයුම් හා වීෂය කාරක සභාව සිය රැස්වීම් 1970 අගෝස්තු 28 වන දින සිට ආරම්භ කරන ලදී. එහි සභාපතීත්වය හොබවන ලද්දේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය කොල්වින් ආර් සිල්වා මහතා විසිනි. සැබවින්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ මූලක ක්‍රියාවළිය සිදුවන ලද්දේ මෙම කාරක සභාව තුලය. 1971 ජනවාරි මස 17 වන දින ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය කොල්වින් ආර්. සිල්වා මහතා විසින් මෙම කමමිටුව වෙත මූලික යෝජනා කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය ප්‍රසිද්ධ කරන ලදි. පසුව සංශෝධන සහිතව මෙහෙයුම් හා විෂය කාරක සභාව විසින් සම්මත කරන ලද මෙම, මූලික යෝජනාවලිය 1971 මාර්තු මස 14 වනදින ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව යෝජනා 38කින් සමන්විත එම මූලික යෝජනාව සදහා විවෘතව අදහස් හා සංශෝධන ලබාගන්නා ලදී.

ව්‍යවස්ථා කෙටුම්පත්කරණයේ උණුසුම්ම හා වැදගත්ම අවස්ථාව උදාවන්නේ මෙම මූලික යෝජනා කෙටුම්පතට ලැබුන සංශෝධන පිළිබඳ විවාද කරන ලද දින කිහිපයයි. මේ පිළිබද විවාදය 1971 මාර්තු 14වන දින 1971 වන දින සිට ඔක්තොබර් 10 දින දක්වා දින 27කදී සිදුකරන ලදී. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජන රජය(මූලික යෝජනා 1හා 2), බුද්ධාගම(මූලික යෝජනා 3) හා රාජ්‍ය භාෂාව(මූලික යෝජනා 12) යන මූලික යෝජනාවන් සදහා පිළිබඳ විවාදයන් හි දී ඉලංකෙයි තමිල් අරසු කච්චි(පෙඩරල් පක්‍ෂයේ) ප්‍රතිවිරුද්ධ යෝජනා බෙහෙවින් වෙනස් ස්ථාවරයක් ගන්නා ලදී.

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා ජනරජය ඒකීය ජන රජයක් විය යුතුය යන මූලික යෝජනා කෙටුම්පතට එම පක්‍ෂය ගෙන ආ යෝජනාවේ වූයේ, ඒකීය යන්න වෙනුවට පෙඩරල් යන්න ඇතුලත් විය යුතු බවයි. නමුත් මේ පිළිබඳව වු විවාදයේදී මෙම අදහසට දැඩි ලෙස ආණ්ඩු පක්‍ෂයෙන් විරෝධතා එල්ලවිය.

මෙම කරුණ පිළිබඳ විවාදයේදී උඩුවිල් මංත්‍රි ධර්මලිංගම් මහතා දින දෙකක් කථා කරමින් ඒකීය ලංකාවක් තුල ද්‍රවිඩ ජනතාව මුහුණදෙන අභියෝග පිළිබඳ අවධානය යොමුකරන ලදී.
තුන්වන හා දොලොස්වන මූලික යෝජ්නා පිළිබඳ විවාදයන් ද මෙලෙසම උණුසුම් විය.

නමුත් යෝජනා කෙටුම්පතෙහි එකී පරිච්ඡේදයන් හි වූ සුළු ජනවර්ගයන්ගේ සිත් රිදවන ලක්‍ෂණ එකක් හෝ සංශෝධනය කිරීමට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල අපොහොසත්විය. මේ සමගම දෙමළ මහජන නියෝජිතයන් දැඩි කලකිරීමකින් ව්‍යවස්ථා සම්පාදක කාර්යයෙන් ඉවත්විය.

පසුව 1972 ජනවාරි 3 දින ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කාරක සභා 11 කට බෙදා ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේ කාර්යය ආරම්භ කරන ලදී. එමෙන්ම මෙම අවස්ථාවේදීද යම් යෝජනාවක් ඇත්නම් එය 1972 ජනවාරි 24 දිනට පෙර අදාල කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස මහජනතාවට පුවත්පත් දැන්වීමක් මගින් ආරාධනා කරන ලදී. එසේ කෙටුම්පත් කරන ලද, ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත විෂය හා මෙහෙයුම් කාරක සභාව විසින් අනුමත කර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත 1972 මැයි මස 8 වන දින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අමාත්‍ය කොල්වින් ආර් සිල්වා මහතා විසින් ලබාදෙන ලදී.

ඉන් පසුව එකී ව්‍යවස්ථා කෙටුම්පතට අවශ්‍ය සංශෝධන එක් කිරීම 1972 මැයි මස 9,10,11,12 හා 19 යන දින වලදී සිදුකරන ලදී. ඒ අනුව සම්පූර්ණ කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත 1972 මැයි මස 22 වන දින උදෑසන කොළඹ රාජකීය විද්‍යාලයේ නව රගහලට රැස්වූ මෙම ව්‍යවස්ථා සම්පාදක මණ්ලයේ සාමාජිකයන් විසින් සම්මත කරන ලදී.

පසුව එදිනම සවස පාර්ලිමෙන්තුවට රැස්වූ මෙම මහජන නියෝජිතයින් ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දිවුරුම්දීම සිදුකරන ලදී. ඒ අනුව සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පැවති නියෝජිත මංත්‍රි මණ්ඩලයේ 7වන පාර්ලිමේන්තුව අවසන් වූ අතර ජනරජ ව්‍යවස්ථාව යටතේ ප්‍රථම පාර්ලිමේන්තුව(රාජ්‍ය මංත්‍රණ සභාව) ආරම්භවිය. 1972 මැයි 22 වන දින ශ්‍රී ලංකාවේ ජනරජ දිනය ලෙස ඉතිහාසයට එකිවිය.

මෙම ව්‍යවස්ථා සම්පාදක කාර්යයට මුලින් ඉතා උනන්දුවෙන් දායකත්වය සැපයූ ෆෙඩරල් පක්‍ෂයේ හා දෙමළ කොංග්‍රසයේ නියෝජිතයින් මෙන්ම මෙම මංත්‍රිවරුන් නියෝජනය කල දෙමළ ජනතාව ද මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වූ ලක්‍ෂණ කිහිපයක් නිසා විරසක විය. ඒ අනුව සමස්ත ලාංකිකයන්ගේ ව්‍යවස්ථාවක් ලෙස ජනරජ ව්‍යවස්ථාවක් සකස්කර ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීමට තිබූ මහගු අවස්ථාව 1972 දී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් මගහරින ලදී.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය,ලංකා සමසමාජ පක්‍ෂය හා කොමිනිස්ට් පක්‍ෂය විසින් ආණ්ඩුව පිහිටුවන ලද අතර පත්කල මංත්‍රිවරුන් කිහිපදෙනෙක්ද ආණ්ඩුවේ කොටස්කරුවන් විය.
 

නීතිඥ ජගත් ලියන ආරච්චි[Jagath Liyanaarachchi]
[email protected]