Anuradhapura, Colombo, end of the War, Featured Articles, Features

”තම පුතා බැලීමට දෙමව්පියන්ට ලබා දී ඇත්තේ විනාඩි දෙකක් පමණයි”


වව්නියාව බන්ධනාගාරයේදී ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු බන්ධනාගාර නිළධාරීන්ගේ සහ විශේෂ කාර්ය බලකායේ මිලේච්ඡ ප‍්‍රහාරයට ලක් වී බරපතල තුවාල ලබා ‘කෝමා’ තත්ත්වයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවෙකු වන දිල්රුක්ෂන්ගේ සුවදුක් බැලීම සඳහා පසුගිය 14වනදා දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් වන සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් සහ සුමන්තිරන් යන අය රාගම රෝහලට ගොස් ඇත. මෙම අවස්ථාවේදී දිල්රුක්ෂන් බැලීමට මන්ත‍්‍රීවරුන්ට අවසර ලැබී නැත. සිරකරුවන් බැලිය හැක්කේ බන්ධනාගාර කොමසාරිස්තුමාගේ අනුමැතිය සඳහන් ලිපියක් තිබුණොත් පමණක් බව බන්ධනාගාර නිළධාරීන් විසින් මන්ත‍්‍රීවරුන්ට පවසා ඇත. එහිදී කඩිනමින් ක‍්‍රියාත්මක වූ මන්ත‍්‍රීවරු විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා අමතා ඇති අතර, සිරකරුවන් බැලීමට තමන්ට අනුමැතිය ලබා දෙන ලෙසත්, එසේ නොකොළහොත් පාර්ලිමේන්තු වරප‍්‍රසාද කඩවන බවත් පවසා ඇත. මෙයින් පසු ඔවුන්ට අනුමැතිය දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් විසින් බන්ධනාගාර නිළධාරීන්ට පවසා ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වන සුමන්තිරන් මන්ත‍්‍රීවරයා පවසන්නේ,

”රාගම රෝහලේ ‘කෝමා’ තත්ත්වයේ පසුවන දෙමළ දේශපාලන සිරකරුවෙකු වන මුත්තුරාසා දිල්රුක්ෂන් බැලීමට මමත්, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මන්ත‍්‍රීවරයාත් රාගම රෝහලට සෙනසුරාදා(14) ගියා. ඔහු බැලීමට ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත‍්‍රිකවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, ජනතා නියෝජිතයන්, නීතිඥවරුන් යන අයට අවසර නොදෙන ලෙස නියෝගකර තිබෙනවා. අපටත් මුලදි අනුමැතිය ලබා දුන්නේ නැහැ. පසුව බන්ධනාගාර කොමසාරිස්ට කතා කළාට පසු අනුමැතිය ලැබුණා.”

”දිල්රුක්ෂන් බැලීමට ගියත් වෛද්‍යවරුන් නොසිටි නිසා සෞඛ්‍ය තත්ත්වය කෙසේද යන්න අසාගැනීමට නොහැකි වුණා. ‘කෝමා’ තත්ත්වයේ සිටින ඔහුගේ කකුල් දෙකම දම්වැල් දමා බැඳ තිබුණා. ඔහු ප‍්‍රතිකාර ලබන කාමරය වටා ආරක්ෂක නිළධාරීන්ද සිටියා.”

”දිල්රුක්ෂන්ව බැලීමට එන ඔහුගේ දෙමව්පියන්ද දුෂ්කරතා වලට මුහුණ දෙනවා. ඔවුන්ට රාගමේ රෝහලේ සිටින තම පුතා බැලිය හැක්කේ මහර බන්ධනාගාරයට ගොස් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුවයි. ඔවුන්ට දිනපතා මෙලෙස අනුමැතිය ලබා ගතයුතු වෙනවා. මෙවන් දුෂ්කරතා වලට මුහුණ දෙමින් තම පුතාව බැලීමට පැමිණෙන දෙමව්පියන්ට දිල්රුක්ෂන්ව බැලීමට ලබා දී ඇත්තේ විනාඩි දෙකක් පමණි.”

”සිරකරුවන්ව බැලීමට අනුමැතිය නොදීමට එරෙහිවත්, මෙම සිදුවීමේදී රජය ක‍්‍රියාකරන ආකාරයට එරෙහිවත් නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානය බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවටත් යෝජනාවක් ගෙන ඒමට දෙමළ ජාතික සන්ධානය බලාපොරොත්තු වෙනවා.” (උපුටාගැනීම – සුඩර්ඔළි පුවත්පත (2012 ජූලි 16)