Colombo, Democracy, Features, Governance, International Relations, Politics and Governance

‘අධිකරණයේ ස්වාධීනතාවයට බරපතල හානි පැමිණවීම හරහා රාජපක්ෂ පාලනය උත්සාහ කරන්නේ ශී‍්‍ර ලංකාව ඒකාධිපති පාලනයකට නතු කර ගැනීමටයි'[ICJ]

[අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝය පිළිබඳ ලොව පුරා අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිවේදීන්ගේ නොසතුට පළ වේ.]
icj_logo_pantone

ලොව විවිධ රටවල ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් සහ ප‍්‍රවීන නීති වෘතිකයන් ගණනාවක් විසින්, හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව කි‍්‍රයාත්මක වූ දෝෂාභියෝග කි‍්‍රයාවලිය පිළිබඳ සිය පොදු නොසතුට පළ කළහ.

අන්තර්ජාතික නීති විශාරදයන්ගේ කොමිසමෙහි(ICJ) අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිවේදීන්ගේ ස්වාධීනතාවය පිළිබඳ මධ්‍යස්ථානය විසින් සකස් කරන ලද විශේෂ ලිපියක් පසුගිය 23වනදා, ගරු කතානායක චමල් රාජපක්ෂ මහතා වෙත සහ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කරමින් එම සංවිධානය, අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ කි‍්‍රයාදාමය ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මෙන්ම අධිකරණ විනිසුරුවරුන්ගේ ස්වාධීනතාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගැනෙන මූලධර්මවලටද පටහැනිව සිදුව ඇති බව ප‍්‍රකාශ කරමින් එකී කි‍්‍රයාදාමය පිළිබඳ සිය නොසතුට පළ කර ඇත. මානව හිමිකම්හී ආරක්ෂාවට, නීතියේ ආධිපත්‍යයට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ යහපාලනයේ නිසි පැවැත්මටද අත්‍යවශ්‍යම කරුණක් ලෙස ස්වාධීන සහ අපක්ෂපාතී අධිකරණයක අවශ්‍යයතාවය එම ලිපියෙන් අවධාරණය කර ඇත.

එම ලිපිය තවදුරටත් මෙසේද සඳහන් කර සිටියි, ”. . . අධිකරණ විනිසුරුවරුන් ධූරයෙන් පහ කරලීමේ කි‍්‍රයාවලියක් යනු ස්වභාවයෙන්ම සංකීර්ණ වැඩපිළිවෙළකි. එකී සංකීර්ණ ස්වභාවයම විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ බලපෑම් හමුවේ අධිකරණ ස්වාධීනතාවය ආරක්ෂා කරමින් දරා සිටිනාවූ මහා ස්තම්භයක් ද වේ. අධිකරණ විනිසුරුවරුන් ධූරයෙන් ඉවත් කරලිය හැක්කේ විෂමාචාර පැවැත්ම මත හෝ ධූරයේ වගකීම් ඉටු කිරීම සඳහා එකී පුද්ගලයන් කිසියම් අබලතාවක් මත නුසුදුස්සන් වූ කල්හි පමණක්මය. එවැනි පදනමක් මත අධිකරණ විනිසුරුවරයෙකු ධූරයෙන් පහ කරන අවස්ථාවක වුව එකී කි‍්‍රයාවලිය මුළුමනින්ම ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල වූවක් විය යුතුවාක් මෙන්ම චූදිතයා විෂයෙහි සාධාරණ අධිකරණ කි‍්‍රයාවලියක් තහවුරු කිරීම සහ එකී අධිකරණ කි‍්‍රයාවලිය හරහා ගනු ලබන තීරණය නිසි විමර්ශනයකට භාජනය කිරීමට ඇති අයිතියට ඉඩ දීමද අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුතුය. . .”

දෝෂාභියෝග යෝජනාව ගෙන ඒමේ අවස්ථාවේ සිට අගවිනිසුරුවරිය ධූරයෙන් පහ කිරීම දක්වා සමස්ත සිදුවීම් මාලාවම අධිකරණ ස්වාධීනතාවය ආරක්ෂා කරනු පිණිස පවතින ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට මුළුමනින්ම පටහැනිව යමින් සිදුව ඇතිවා පමණක් නොව දෝෂාභියෝග කි‍්‍රයාවලිය කි‍්‍රයාත්මක කරන ලද්දේ සාධාරණ නඩු විභාගයක් පිළිබඳ ඇති අයිතිය සහ නිසි අධිකරණ ක‍්‍රමවේදයක් සහතික කිරීමට අවශ්‍යය මූලික ප‍්‍රමීතීන් පිළිබඳ අතිශය දුර්වල අවධානයක් ද දක්වමින්ය.

අන්තර්ජාතික නීති විශාරදයන්ගේ කොමිසමෙහි මහා ලේකම් විල්ඩර් ටයිලර් මහතා අදහස් දක්වමින් ”. . .මූලික රාජ්‍යය ආයතන අතර පැවතිය යුතු සංවරණය සහ තුලනය අඩාල කිරීම හරහාත් අධිකරණයේ ස්වාධීනතාවයට බරපතල හානි පැමිණවීම හරහාත් රාජපක්ෂ පාලනය මේ උත්සාහ කරන්නේ ශී‍්‍ර ලංකාව ඒකාධිපති පාලනයකට නතු කර ගැනීමටයි. . .” යයි ප‍්‍රකාශ කළේය.

රජයේ මෙම හැසිරීම පොදුරාජ්‍යය මණ්ඩලය විසින් පොදුවේ එකගව ඇති මූලික හර පද්ධතීන් ද අතිශයින් නින්දිත ලෙස උල්ලංඝණය කිරීමකි. විශේෂයෙන්ම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන මූලික රාජ්‍යය ආයතනයන්හී අන්‍යෝන්‍යය කි‍්‍රයාකාරීත්වය පිළිබඳ මූලධර්ම අවධාරණය කරමින් 2003 වර්ෂයේ ගෙන එන ලද ලැටිමර් හවුස් ප‍්‍රකාශනය මෙහිලා බරපතල ලෙස අවතක්සේරුවට ලක් කර ඇත.

ලැටිමර් හවුස් ප‍්‍රකාශනය විසින් පොදුරාජ්‍යය මණ්ඩලයේ ඒ ඒ සාමාජික රාජ්‍යයන්ට අවධාරණය කරනුයේ නීතියේ ආධිපත්‍යය තහවුරු කරනු වස් අධිකරණයේ ස්වාධීනතාවය ආරක්ෂා කිරීමේත් අධිකරණය සහ පාර්ලිමේන්තුව අතර අන්‍යෝන්‍යය අවබෝධය සහ සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේත් සුවිශේෂී අවශ්‍යයතාවයයි.

පොදුරාජ්‍යය මණ්ඩලීය මහේස්ත‍්‍රාත්වරුන්ගේ සහ අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයද ඉහත ලිපියට සිය අනුමැතිය පළ කර ඇත. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග කි‍්‍රයාවලියේදී ඊට ප‍්‍රසිද්ධියේ සිය විරෝධය පළ කළ නීති විශාරදයින් සහ නීතිවේදීන්ට දේශපේ‍්‍රමී බලකාය නමැති එක්තරා සංවිධානයක් විසින් තර්ජනාත්මක ලිපි එවා ඇත. එකී සංවිධානය විසින් නීතිඥයන් දේශ ද්‍රෝහීන් ලෙස ද හඳුන්වා ඇත. මේ අතරතුර සිවිල් සංවිධානවලට සිතා මතාම අපහාසාත්මක චෝදනා නැගීමේ මාධ්‍ය ව්‍යාපාරයක් ඇතැම් ජනමාධ්‍ය විසින් ආරම්භ කර ඇත. අගවිනිසුරුවරිය ද තම ආරක්ෂාව පිළිබඳ ගැටලූවකට මුහුණ දී ඇති අතර දේශීය සහ ජාත්‍යන්තර ජනමාධ්‍යය අමතමින් නිල ප‍්‍රකාශයක් කළ ඇය, තමාත් තම සැමියා සහ පුතණුවනුත් පිළිබඳ සඳහන් කරමින් ”. . . අප තිදෙනා ආරක්ෂා කර දෙන්න.” යයි ඉල්ලා සිටියාය.

විල්ඩර් ටයිලර් මහතා සිය අදහස් දැක්වීමේදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රට තුළ විවිධාකරයේ තර්ජනයන්ට සහ බියවැද්දීම්වලට ලක්ව ඇති පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීමටත් එකී බියවැද්දීම් සහ තර්ජනය කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් සහ සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමටත් ශී‍්‍ර ලංකාව වහාම කටයුතු කළ යුතු බවයි.

අන්තර්ජාතික නීති විශාරදයන්ගේ කොමිසමෙහි අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිවේදීන්ගේ ස්වාධීනතාවය පිළිබඳ මධ්‍යස්ථානය ද එම මධ්‍යස්ථානය විසින් නිකුත් කළ ලිපියෙහි සිය අත්සන යොදා ඇති අධිකරණ විනිසුරුවරුන් සහ නීතිවේදීන් ද නීත්‍යානුකූලව තවදුරටත් අග‍්‍රවිනිශ්චයකාරවරිය වන ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයට යළි පත් කිරීම හරහා රට තුළ අධිකරණ ස්වාධීනතාවය ප‍්‍රතිස්ථාපනය කරලීමට දායක වන ලෙස අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ගරු කතානායක චමල් රාජපක්ෂ මහතාටද බල කර සිටියි.

කතානායකවරයාට සහ ජනාධිපතිවරයාට යොමුකල ලිපියේ සිංහල පරිවර්තනය

Open Letter | Impeachment Dr. Shirani Bandaranayake | ICJ by Sampath Samarakoon