Colombo, Democracy, Features, Governance, Politics and Governance

වමේ සමාජවාදය සහ ඔම්ලට් ධනවාදය

capitalism_graffiti_luebeck
අද දවසේ ලංකා දේශපාලනය යනු විකල්පයක් නැති, දිශාවක් නැති, ප්‍රතිපත්ති විරහිත දේශපාලනයකි. ජයග්‍රහයකයාගේ ආස්ථානයේ සිට සැලකුව ද ජයග්‍රහයකයකු වී නැත. එනම් සමාජයක් ලෙස සිංහල බහුතරයට යුද්ධය අවසාන වීමෙන් බලාපොරොත්තු වූ සුසමාදර්ශී වෙනසක කිසිවක් හිමිකර ගැනීමට නො හැකි විය. යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනයාට ජීවිතය යන්න සිහිනයක් වී ඇත. සමස්ත සමාජයට අපේක්ෂාවන් මල්පල ගැන්වීම වෙනුවට සිදුව ඇත්තේ බල්ලෙකුගේ මළකුණකට කම්පා වී අඳෝ අය්යෝ කී මිනිසා, නිදහසින් පසු කාලයේ මිය ගිය මිනිස් ජීවිතවලට සංඛ්‍යාත්මක ප්‍රමාණයෙන් කම්පා වීමේ ප්‍රමාණය දක්වා වැඩි දියුණු වී මනුෂ්‍යත්වය යන්න සිල්ලර වෙමින් සාමාන්‍ය දෙයක් බටව පත්වීමය. පසුගිය කාලය මහා විනාශකාරී යුද්ධයකින් නිමා වූ සමාජයක්, රටක් හා ජාතියක් ලෙස භෞතික හා අධ්‍යාත්මික වශයෙන් පිරිහීමට පත්වීම තුල සමාජය මහා රික්තයකින් යුක්ත වී ඇත. සෑම සියලු ක්‍රියාවක්ම අස්ථිකරණයට මත්තේන් යල් පැනීමේ හා අර්ථ විරහිත වීමේ නව සංස්කෘතිය ස්වාභාවික වී සමාජය තුල සාමාන්‍යකරණය කරමින් දිශාවක් නැති දිශාවකට ගමන් කරමින් ඇත. ඒ තුලට සියල්ලෝ වැකුම් ක්ලීනරයකින් මෙන් උරාගෙන ඇත. ඉන් පිටතට පැමිණ, විකල්පයක් නැති දේශපාලනයට නව විකල්පයක් වීම හිතන තරම් නම් පහසුවක් නොවනු ඇත.

ආණ්ඩු මාරු කිරීමෙන් එහා ගිය නව ප්‍රතිපත්තිගත සමාජ වෙනසක විප්ලවකාරී විපරිවර්තනයක් සඳහා වන දේශපාලන හා සමාජ විද්‍යාවක් අත්‍යවශ්‍ය මොහොතක් වී ඇත. ඒ මොහොත කල් දැමිය නොහැකි සේම, පරුණි මළ බැඳුණු දෘෂ්ටිවාදයන් කරපින්නාගත් ජීවන සංස්කෘතිය කනපිට පෙරලා අලුතින් ක්‍රියා කිරීමට ඉහල සිට පහළටත් පහල සිට ඉහලටත් සමාජය කොනිති ගැසිය යුතු වේ.

විනාශ වූ උතුර ද කුරුවල් වූ දකුණ ද, මෙම දිශාවකින් තොර වූ දේශපාලනික නූල් බෝලයේ ලෙහා ගත නොහැකි ගැටලුවලට හිර වී ඇත. දකුණෙන් උතුර කියවීම හෝ උතුරෙන් දකුණ කියවීම තවදුරටත් වලංගුවන්නේ කුමණ සන්දර්භයක දී ද යන්න නැවත නැවත සිතා බැලීමෙන් හා ක්‍රියාකිරීමෙන් පමණක් නොව පාර ජාතීය වශයෙන් සිතීමෙන්, මේ නව විකල්පය සොයාගත හැකිවනු ඇත. මෙම විකල්ප චින්තනයේ ප්‍රමුඛ පෙළේ විද්‍යාවන් දෙක වන්නේ ධනවාදය හා සමාජවාදය යන සමාජ ලෝක ක්‍රමයන්ය. එක ලෝක ක්‍රමයක් යථාර්ථයක්ව ලෝකය පුරා විවිධ හැඩයෙන් ගමන් කරද්දී, අනෙක් ක්‍රමය බිඳ වැටුණු එහෙත් ගොඩ නැගිය යුතු සිහිනයක්ව අප ඉදිරියේ ඇත.

නිදහසින් පසුව පැමිණ ඇති මෙම දීර්ඝ කාලය සමාජ ක්‍රමයක් ලෙස ගමන් කරනු ලැබුවේ කුමන අවශ්‍යතාවයන් පෙරදැරිකරගෙන දැයි ඇසූ කල, පාලක සෑම පංතියකම අපේක්ෂාව වූයේ සංවර්ධනීය මාවතකට අවතීර්ණ වීමටය. මෙකී සංවර්ධනීය මාවත යනු පෙරදිග ආදර්ශයන්ට වඩා වඩාත් ලංවූයේ බටහිර වෙතට ය. සමාජවාදයට වඩා ධනවාදයට ය. එහෙත් මෙතෙක් ආ කිසිදු පාලන ක්‍රමයකට ධනවාදයේ සංවර්ධනීය යැයි සලකන යහපත් අංගයන් ලබා ගැනීමට හෝ ඒ සඳහා මහන්සි වීමට ගන්නා උත්සාහයන් වෙනුවට සිදු වූයේ පැරැණි සමාජ ක්‍රමයන් තුල වූ පසුගාමි අසමතුලිත ලක්ෂණ සහිත සමාජ භාවිතාවන් හා ධනවාදය තුලින් මිනිසා අනර්ථයට පත්කරන්නා වූ භාවිතාවන් වෙත ගමන් කිරීමය.

මේ නිසා නිදහසින් පසු යුගයේ ලාංකීය සමාජය යටත් විජිත ධනවාදය හෝ නව යටත් විජිත ධනවාදය හෝ පරිවාරයේ ධනවාදය හෝ තැරුව්කාර ධනවාදය හෝ උත්තරාරෝපිත ධනවාදය හෝ විශේෂණයක් නොමැතිව, ධනවාදය ලෙස නම් කළ ද, ලංකාව පසුකරමින් සිටිනුයේ කුමන ධනවාදයක් ද යන්න තේරුම් ගත යුත්තකි. සමාජවාදය යථාර්ථයක් කර ගැනීමේ සිහිනයේ සිටින්නාගේ ආස්ථානයේ සිට ලාංකීය සමාජ ක්‍රමය හැඳින ගැනීම හා ධනවාදය තේරුම් ගැනීම අති මහත් වැදගත් වන්නේ, වචන පුනර් උච්ඡාරණයෙන් එහා ගිය විද්‍යාවක අවශ්‍යතාව දැනෙන මොහොතකය.

යටත් වාජිතවාදය හා ධනවාදය

යටත්විජිතවාදය හා ධනවාදය අතර ඇති සම්බන්ධය දෙස බැලීමේ දී, සමීර් අමින්ට (Samir Amin)අනුව මෙම ක්‍රියාවලීන් දෙක එකිනෙකින් වෙන් කළ නොහැකි දෙයක් ය. ධනවාදය යන්න තුලම යටත් විජිත වීම සිදු වන අතර වඩාත් නිවැරදිව කිවහොත් අධිරාජ්‍යවාදී වීම එහි සංවර්ධනීය කාල පරිච්ඡේදයන් තුල සැලකිය යුතු ලෙස දැකිය හැකිය. ස්පාඥ්ඥය, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය විසින් 16 වැනි සිය වසේ දී අමෙරිකාව ආක්‍රමණය කිරීම අධිරාජ්‍යවාදයේ හා යටත්විජිතවාදයේ පළමු නූතන තත්ත්වය විය. අතිශය අමානුෂික ආකාරයේ උතුරු අමෙරිකානු ඉන්දියානු ජන සංහාරයත්, ඉන්දියානු සමාජයන් හා ලතින් අමෙරිකාව වහල් ක්‍රමයකට ඇද දැමූ අතර කලු ජාතික වහල් ක්‍රමය උතුරු දකුණු මුළු මහද්වීපයම පුරා පැතිරෙන්නට විය. මේ උදාහරණවලට එහාට ගොස් නිවැරදිවම ගත හොත් ඉතිහාසයේ විවිධ අවධීන්වලදී ව්‍යාප්තවීමේ තර්කයට අනුව අපිට දක්නට හැකිවන්නේ ධනවාදය විසින් කේන්ද්‍රය(ධනේශ්වර සූරාකෑමේ ක්‍රමයේ හදවත) හා පරිවාරය(යටත්කර ගත් රටවල් හා ජනයා) අතර සංගත ලෙස දෙයාකාර බෙදීමක් ගොඩනංවා ඇති බවයි.

ලංකාව විෂයෙහි ද මෙම තර්කය අදාල වන අතර අධිරාජ්‍යවාදී පාලන කාලය තුල යටත් විජිත ධනවාදය ස්ථාපිත වුව ද යටත්විජිතවාදීන් ලංකාව හැර යාමෙන් පසුව ඇති වූ තත්තවය පරිවාරයේ ධනවාදය ද, යටත්විජිත ධනවාදය ද යන ප්‍රශ්නයේ දී තරමක ගැටලු කාරී ය. නිදහසින් පසුව පාලනයට ආ පන්තීන්ගේ සංවර්ධනිය අර්ථය වූයේ ධනේශ්වර ක්‍රමයකට හැඩ ගැන්වීම වුවත් මේ තාක් එය කරා ගමන් කිරීමට තරම් සමාජ විද්‍යාවක් සහිත දේශපාලනයක් නොමැති විය.ධනවාදයේ අවශ්‍යතාව සෘජු වචනවලින්ම සමහර පාලන පංතීන්ගෙන් නොකියැවුණි ද, සංකල්පීය හා හරයාත්මක අතින් සංවර්ධනය යන්න ධනේෂ්වර ක්‍රමය ඉලක්ක කර ගත්තක් විය. එහෙත් පශ්චාත් යටත් විජිත දේශපාලනය තුල සිදු වූ විපරිවර්ථනය වූයේ දිශාවකින් තොර දිශාවකටය. සංවර්ධනය යන්න අතීතයෙන් ලබා ගන්නට ඇති දෙයක් යන ජනප්‍රිය දේශපාලන සටන් පාඨ වූ අතර, එය ප්‍රායෝගික ලෙස ධනේෂ්වර මාදිලියට ගැට ගැසී ඇත. ආර්ථික ජීවිතය හා සංස්කෘතික ජීවිතයේ අසම්බන්ධිත ලක්ෂණවලින් වූ දයලෙක්තික සබඳතාවන්වල ප්‍රතිඵලයන් උභතොකෝටික සහවාදයන් බවට නිර්මානය විම තුල සමාජයක් ලෙස අතරමං වීමක් සිදු වීම කර ඇත්තේ නිදහසින් පසු බල දේශපාලනයේ සිදු කළ විපාකයන් හේතුවෙනි.

සමාජ ක්‍රමයක් නැතිනම් ලෝක ක්‍රමයක් ලෙස බිහි වූ ධනවාදී ක්‍රමය, සමාජයේ ඓතිහාසික පරිණාමයේ විප්ලවීය අවධියක් වන විට, එය පහත් හෝ දෙවැනි වන්නේ මාක්ස්වාදී දර්ශනයෙන් පෙන්වා දෙන සමාජවාදයට හා කොමියුනිස්ට්වාදයට මිස වහල් වැඩවසම් සමාජ ක්‍රමවලට නොවේ. එහෙත් ලාංකීය සමාජය පැරැණි උරුමය නැවත කැඳවීම හා අතීත කාමය තුලින් පෙන්නුම් කරනුයේ සමාජ සංවර්ධනයේ ආපසු හැරීම ය. සාමාන්‍යයෙන්, අඩුවැඩි වශයෙන් සමාජ ඇගයුම් හා ධර්මතා ද, සදාචාරය හා නීති රීතින් ද, යුක්තිය හා සාධාරණත්වය යන්න වර්තමානයට වඩා අතීතයේ යහපත්ව පැවතුණේ යැයි කතා කිරීම, බඩු මිල ඉහල යැම පිළිබඳව කතා කරන තත්ත්වයට(අදට වඩා පාන් ගෙඩියේ මිල අඩුවීම) පත්ව තිබීමෙන් කියා පානුයේ සමාජ සංවර්ධනය යන්න වර්තමානයේ සිට අතීතයට ගමන් කරන්නක් බවය. ප්‍රායෝගික සමාජ ජීවිතය හා දේශපාලනික දෘෂ්ටිවාදයන් අතර විශාල හිදැසක් හා බෙදිමක් ඇත. මෙම තත්ත්වය නිසා ලංකා සමාජයේ දේශපාලනික හා දාර්ශනික ගැටලු ගණනාවක් පැන නැගී ඇති අතර මෙම ගැටලුම හේතු කොට ගෙන සාමාන්‍ය පුද්ගලයාගේ සිට රාජ්‍ය නායකයා දක්වාත්, වාමාංශිකයාගේ සිට විප්ලවවාදියා දක්වාත්, පවුලේ සිට කණ්ඩායම්, පක්ෂ දක්වාත් ඇති යථාර්ථය නම්, තමන් කරන්නේ කුමක් ද යන්න තමන් නොදන්නා කම සහ හිතාගෙන කරන දෙය හා සිදුවන දෙය යන්න දෙකක් වීමය. මෙම ගැටලු වල ඇති විශේෂතා අතර කැපී පෙනෙන ලක්ෂණ දේශපාලනික සන්දර්භයේ දී සලකා බැලීමේ දී හමු වන්නේ,

1. පසුගාමී සමාජ ඇගයුම් හා පරමාදර්ශ, සුසමාදර්ශ ලෙස සමාජයට යළි පැමිණීම
2. සමාජවාදය වෙනුවෙන් සටන්කරන්නාගේ ඉල්ලීම් ධනේශ්වර සමාජයේ(යුරෝපයේ) ප්‍රජාතණ්ත්‍රවාදයේ ඉල්ලීම් වීම
3. ධනවාදයේ යහ අංග සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන් අධිරාජ්‍යවාදයේ බලහත්කාරකම් වෙත විස්ථාපනය වීම

ඉහත ප්‍රවාදයන් එකිනෙක දෙස හැරී බැලීමේ දී, පරැණි සමාජයේ පැවැති අගයන් සෑම පාලකයකුම සුසමාදර්ශී වෙනසක් (දේශපාලනයේ ජනප්‍රිය සංස්කෘතිකාංගයක් ලෙස)සඳහා යොදා ගනු ලැබීම කැපී පෙනෙන ලක්ෂණයකි. යටත් විජිත පාලකයින් ලාංකීය යටත් විජිත කොලනිය අතහැර ස්වදේශිකයන්ට බාර දීමේදී, දේශිය පාලකයන්ට පැවැති ගැටලුව වූයේ රට පාලනය ගෙන යා යුත්තේ කේසේද යන්නය. යටත් විජිත වාදය විසින් ඇති කරන ලද ධනේශ්වර ප්‍රගතිශීලි හරයන් සහිතව ඉදිරියට යෑම වෙනුවට නැවතත් පැරණි ක්‍රමයේ අංග ලක්ෂණ උත්තරාරෝපණය කරන්නට විය. මේ සඳහා යටත් විජිත පාලන කාලයේ බිහි වූ සිංහල බෞද්ධ මතවාදය හා යටත් විජිත විරෝධී ජාතික ව්‍යාපාරයන් බලපෑමක් කරන්නට විය. සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට අමතරව යටත් විජිත සමයේ පැමිණි මාක්ස්වාදී මතවාදයන් තුලින් ද අධිරාජ්‍ය විරෝධී තහවුරුව සමඟ සමාජවාදී ආදර්ශයන්ගෙන් යුත් සමාජ ක්‍රමයක් පෙන්නුම් කළ ද භාවිතාව තුලදී ධනේශ්වර සංවර්ධනයේ අංගයන්වත් ලබා ගන්නවා වෙනුවට එම මත වාදයන් පවා උත්සුක වූයේ පැරණි ක්‍රමය සුසමාදර්ශයන් කර ගැනීමටය.

සුළු ජනයාගේ අයිතීන් සම්බන්ධයෙන් ක්‍රියා කළ අයුරු හා පශ්චාත් යටත් විජිත ධනේශ්වර පාලන ක්‍රමයන් සමග සභාග ගත වීමෙන් ඇති කළ වෙනස්කම් අවසානයේ අතීතයට ගමන්කරන්නට විය.

විශේෂයෙන් 56 බණ්ඩාරණායක සභාගය යනු පරණි සමාජ ඇගයුම් සුසමාදර්ශ ලෙස උත්තරාරෝපනය කිරීමකි. මෙම යුගය සමාජ ප්‍රගමනයේ රිවස් ගියරය ක්‍රියත්මක කළ අවධියක් වූ අතර, එම තර්කනයන් නිශේධ කිරීමට තරම් ප්‍රගාමී තත්ත්වයන් ඇති කිරීමට සමත් නව පාලන ක්‍රමයන් නොතිබීම තුල, ලංකා සමාජයේ බණ්ඩාරණායක දේශපාලනය අදටත් වලංගුවක් බවට පත් මතවාදයක් වී ඇත. මහින්ද රාජපක්ෂ පාලනය යනු ද ඊටත් වඩා දරුණු ඝණයේ අව පරිණාමයක් වෙත ගමන් කරන්නක් වන අතර එයට දිශාවක් පවා අහිමිව විනාශ කරමින් ගමනේ යන බුල්ඩෝසරයක් වැනිය. පශ්චාත් යටත් විජිත දේශපාලන සංස්කෘතිය ගසක කඳකට සම කළ හොත් පාලක පන්තීන් එහි වූ කඳ පණුවන්ය. මෙම පණුවන් අතරින් රාජපක්ෂ යනු විශාල කඳ පණු කුලකයකි. ඉතා වේගයෙන් මෙකී කඳ නමැති සමාජය කා දමමින් සිටින්නෙකි. තමන් තර වුවද කඳ විනාශයට පත්වන බවට හැඟීමක් නොමැත්තෝය.

දෙවැනි කරුණ වන්නා වූ සමාජවාදය වෙනුවෙන් සටන්කරන්නාගේ ඉල්ලීම් ධනේශ්වර සමාජයේ ප්‍රජාතන්ත්‍රීය ඉල්ලීම් වීම යන්න අදටත් වලංගුවක් වී ඇත්තේ ලාංකික සමාජය එක් අතකින් ධනේශ්වර සමාජයක ඇති සංස්කෘතික අංග ලක්ෂණ අත්පත් කරගෙන නොමැති බැවිනි. අනෙක් අතට සමාජවාදය වශයෙන් අවිඥාණික බලාපොරොත්තුව වී ඇත්තේ බෞද්ධ සමාජවාදයක් හා බෞද්ධ මාකස්වාදයක් ය. එය හරි හෝ වැරදි හෝ යන්නට වඩා වැදගත් වන්නේ සමාජ සංවර්ධනය යන්න නිර්වචනය කර ගැනීමට නොහැකි වීමය. වමේ ව්‍යාපාරය සමාජවාදය වෙනුවෙන් කරන්නා වූ සටන් හා ඉල්ලීම් බටහිර විරෝධී, ධනේෂ්වර විරෝධී හැඩයක් ගන්නේ වුවද සමාජවාදය යන්න ධනේෂ්වර සංවර්ධනයේ ඉල්ලීම්ය. ඉන් එහා වූ දිගුවකට සටන් කිරීමට හැකියාවක් නොමැත්තේ සමාජ යථාර්ථය එය නොවන නිසාය. එනම් සමාජවාදය ද ලෝක ක්‍රමයක් නම්, අප සිටිනුයේ මාක්ස්ට වඩා ගව් ගණනක් පිටු පසිනි. මේ නිසා වම අදටත් යම් ආකාරයක අතරමංවීමක නොසිටින්නේද යන්න කල්පනා කළ යුත්තකි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, නීතිය හා යහ පාලනය යන්න ධනේෂ්වරයේ ඇති වූ ඓතිහාසික යහපත් අංගයන් ය. අනෙක් අතට සරළ අර්ථයෙන් ගත් කල වමේ ව්‍යාපාරයේ සටන් පාඨ යනු වෘත්තීය සමිති සටන් පාඨයන්ය. වැටුප් වැඩි කර ගැනීම, බඩු මිල අඩුකර ගැනිම හා සමාජයේ ප්‍රතිසංස්කරණයන් සඳහා වූ ඉල්ලිම් ය. වීප්ලවීය අර්ථයෙන් කරන්නා වූ හා කළ බොහෝ දෑ කේන්ද්‍ර වී ඇත්තේ ඒ වෙතය.

ධනේෂ්වර රාජ්‍යයන් හා සැසඳීමේ දී, යටත් විජිත වාමාංශික දේශපාලනයේ සමාජවාදී ක්ෂිතඡය යන්න දියුණු ධනේෂ්වරයක ඇති ප්‍රජාතණ්ත්‍රීය ඇගයුම්ය. එහෙත් වැරදි සංකල්පයන් තුල පැටලීම නිසා, සමාජ සංවර්ධනය තුල අතරමංවීමක හිර වී ඇත. අනෙක් අතට ධනවාදී පාලක පන්තීන් යැයි චෝදනාවට ලක්ව ඇති සෑම පාලක පංතියකටම තම ධනේශ්වර උවමනාව ඉටු කිරීමට හැකි වූයේ නම්, ලංකාවේ වමේ ව්‍යාපාරයේ දිශානතිය වෙනස් වීමට ඉඩ ඇත. මේ නිසා වමට සිදුව ඇත්තේ ඉහත කී ධනේශ්වර ප්‍රජාතන්ත්‍රීය ඉල්ලීම් සඳහා සමාජවාදී නමින් අරගල කිරීමටය. මෙම සටන සැබෑ අවබෝධයකින් කරනු යේ නම්, එම බලාපොරොත්තුව පළමු අදියර ලෙස සාක්ෂාත් කර ගැනීම දුෂ්කර නොවනු ඇත. පැරණි වාමාංශික අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතු නම්, රුසියාවම එයට පාඩම් පොතකි. ලෙනින්ගේ විප්ලවයෙන් පසු ලියවිලි ද ගුරුවරයෙකි. එසේම අද අප සිටින වකවානුව අතීතයට වඩා මුළුමනින්ම වෙනස් තත්ත්වයකි. එහෙත් ලංකාවේ වමේ අරගලය තවමත් නව මානයකට නිර්මාණය වීමක් දැකිය නොහැකිය.

මෙවැනි තත්ත්වයන්ට පත්වීමට හේතුවූයේ රටක් හා සමාජයක් ලෙස සංවර්ධනය ලෙසින් හඳුන්වන්නා වූ නියමාකාර ධනවාදය කැන්දා ගැනීමට නොහැකි වීමය. මහින්ද රාජපක්ෂ අද අත්කරගෙන ඇති ඉරණමේ ඓතිහාසික හේතුව එහිම දිගුවක් වන්නාසේම සමාජවාදය කතාකරන වමේ බොහෝ අයගේ වරදවා වටහා ගැනීමේ සමාජවාදය යනු ධනේශ්වර බලාපොරොත්තුම ය. එය පැහැදිලි වන්නට නම් බටහිර ධනවාදය ක්‍රියාත්මක වන හැටි හා ප්‍රජාතන්ත්‍රවාදයේ අංග ලක්ෂණ බුක්ති විඳිය යුතුය.මේ නිසාම වමේ ප්‍රමුක සටන් පාඨයක් වන ලිබරල් ධනවාදය යන්න සමාජයට ආගන්තුක වන්නේත්, පීඩනයට පත් මිනිසාට යථාර්ථයක් නොවන්නේත් එම නිසා ය.

ලිබරල් ධනවාදය පිළිබඳ කථිකාව ලෝකය පුරා පුනර් උච්ඡාරණය කිරීම හා බොහෝ දේශපාලනික හා දාර්ශනික න්‍යායවේදීන්ගේ විවේචනයට හසු වූවකි. ලාභය වැඩි වශයෙන් සමුච්ඡගත කිරීමට නම්, ප්‍රාග්ධනයට නිදහසේ ගමන් කිරීමට ඉඩ සකසා දිය යුතුය. ආර්ථිකය නිදහස් කළ යුතුය. නිෂ්පාදන පරිභෝජනය වැඩි වැඩියෙන් කළ යුතුය. මෙම ආර්ථික ක්‍රියාවලිය තුල දී මිනිසාගේ සංස්කෘතික ජීවන විලාශය ද ඊට අනුව වෙනස් වන අතර, මිනිසා වෙළෙඳපල ක්‍රමය තුල නන්නත්තාරවීම හා පරිභෝජනවාදයේ ගොදුරුවීම ධනේශ්වර ලෝක ක්‍රමයේම නරුම යථාර්ථයක් වී ඇත. පීඩිතයා ද එම සිහිනයේම ගිලී ගැලී ටෙලිවිෂනය ඉදිරිපිට සිහින දැක, සිහින පවා නොමැති නින්දක වැටෙන්නේ පරිභෝජනවාදී සිතිවිල්ලේම ගිලෙමිනි. තමා උපයන ප්‍රමාණයට එහා සිහින සාක්ෂාත් කර ගැනීමේ හෙට දවස පතන තත්වයක් තුල වමේ ලිබරල් කථිකාව යනු භික්ෂුවක් ගිහියන්ට දෙසන බණක් හා සම වන්නේය.

සමීර් අමින්ට අනුව ලිබරල් ධනවාදය මූලිකවම පදනම් වන ප්‍රධාන මුලධර්ම හතක් පිළිබඳව විග්‍රහ කරන අතර එය සාරංශ ගත කළහොත් මෙසේය.

1. ආර්ථිකය පුද්ගලික අංශය මගින් පාලනය කිරීම හා නිදහස් තරඟයේ ඉල්ලිම් මත ක්‍රියාත්මක වීම
2. ශ්‍රම වෙළෙඳපල නිදහස් කළ යුතුය.
3. ඊනියා රාජ්‍ය සේවය පෞද්ගලිකකරණය කළ යුතුය.
4. පොදු අවශ්‍යතාවන් අවම මට්ටම දක්වා අඩුකළ යුතුය
5. ණය කළමණාකරණය කළ යුත්තේ පුද්ගලික අංශයේ උපකල්පනයන්ට අනුවය
6. රාජ්‍ය අයවැය, ණය නොමැතිව තුලනය කළ යුතුය
7. ගැටලුවෙහි ඇති මූලධර්ම හය ක්‍රියාවට නැගිය යුත්තේ ගෝලිය කරණය වු ලෝකයේ සියලු ජාතික මට්ටම්වලදි පමණක් නොව කලාපිය හා ගෝලීයව ජාත්‍යන්තර සම්බන්ධතාවලට අනුවය.

ලාංකික සන්දර්භය තුලදී වමේ භාවිතාව සඳහා වඩාත් ව්‍යවහාරික ලෙස ලිබරල් ධනවාදය සමාජයට ආදේශ කිරීමෙන් අත් විය හැකි හා පැනිය හැකි පිමි කුමක් දැයි කල්පනා කළ යුත්තක්ම වන අතර ඊට අවැසි කාලය පමිණ ඇත්දැයි ද, ලිබරල් ධනවාදය යන්න එක් අතකින් පමණක් හමන සුළඟක් දැයි ද අවබෝධ විය යුතුය.

ධනවාදය න්‍යායක් ලෙස ලෝක ක්‍රමයක් වුවත්, සමාජ සැකසුම්වල, ඊට අනන්‍ය ලක්ෂණ නිසා වෙනස් මාදිලියක හැඩය ගන්නා අතර ලාංකීය සමාජයට ද එය පොදු කාරණයක්ව ඇත. අදහස් කරන්නා වූ සංකල්පිය ධනේෂ්වර හැඩය ප්‍රායෝගිකව සමාජය තුල නොමැති තැන, සමාජය මත නියම ධනේශ්වර විරෝධී සටන් පාඨ එවැනි සමාජයන්ට විකාරයක් වන්නේය. ඒ සඳහා ඇති ලඟම නිදසුන නම්, ලිබරල් ධනවාදය පිළිබඳ කරන උච්චාරණයන් ය. ගෝත්‍රික හා අඩු වැඩි වශයෙන් වැඩවසම් ගති ලක්ෂණ ද ධනේශ්වර ආකෘතික හැඩය පෙන්නුම් කරන පාලනයකට, භාහිරින් එකතුවන ධනේශ්වර අංගයන් සඳහා විරෝධතාව ලෙස ලිබරල් ධනවාදය හතුරා කර ගැනීම හා එයට එරෙහි වීම තම ජයග්‍රහණය සඳහා වන පලිහ කරගන්නා විට, ධනේෂ්වර ගති ලක්ෂණයන්ට වඩා නරක පසුගාමි ගති පෙන්නුම් කරන යථාර්ථය මඟ හැර දේශපාලනය කිරීම යනු කරන්නේ කුමක් ද යන්න වටහා නොගැනීම විකල්ප දේශපාලයේ උපාය උපක්‍රමික ගැටලුව වේ.

මහින්දගේ පැරණි ගෝත්‍රික සමාජ භාවිතාවේ නපුර හා එයින් වෙන සමාජ හානිය ප්‍රශ්න නොකර, එය ජනතාවට වටහා නොදී, මහින්ද ලිබරල් ධනවාදයේ සිංහල බෞද්ධ ඒජන්තයා යැයි කී කල, එය ජනතාවට පමණක් නොව මහින්දගේ උපදේශෙකයන්ට ද නොතේරෙන්නකි. මහින්ද ධනේශ්වර පාලකයෙකු නම්, යුද්ධයෙන් පසුව සමාජ ප්‍රශ්න කළමනාකරණය කර ගැනීමට හැකියාවක් ලැබීම, ධනේශ්වරයේ සුවිශේෂි ලක්ෂණයක් විය යුතුය. එහෙත් ඔහුට එය කළ නොහැකි වන්නේ ධනේශ්වර ක්‍රමයේ ඇති දුබල කම නිසා නොව, පශ්චාත් යටත් විජිත දේශපාලනයේ දෘෂ්ටිවාදී නරකතම දිගුවක ඇති ප්‍රතිඵලය නිසාය. බලයේ රැඳී සිටීම සඳහා තමා සතු බලයෙන් තමා කැමැති දෙයක් කිරීම යනු ඉතා පැරැණි බාල ක්‍රමවේදයක් වන අතර ඒ හේතුවෙන් තමාට අත්වන ඉරණම පිළිබඳව ශාස්තර කියන්නෙකුට හෝ ප්‍රවීන දේශපාලන විද්‍යාඥයින්ට පවා සූත්‍ර ගත කළ නොහැකි වන්නේ, ඔහුට ප්‍රතිපක්ෂ පාර්ශවයන් ද කරන්නේ කුමක් ද යන්න තමන් නොදන්නා නිසාය.

ලිබරල් ධනවාදයට විරුද්ධ ව කරන අරගලයේ විකල්ප විසඳුම සමාජවාදය නම් ඊට නියමිත සමාජිය හැඩයක් හා න්‍යායක් ඇත. එහෙත් දේශපාලන අරගලය පශ්චාත් යටත් විජිත ඉතිහාසය පුරාම රාජ්‍ය සමග බද්ධවූයේ රාජ්‍යයේ ප්‍රතිසංසකරණ සඳහාය. අනෙක් අතට සුභසාධනවාදය හා රාජ්‍ය ධනවාදය සඳහාය. පවතින පාලන පංතීන් අතර හුදු සටන් පාඨ අරගල දියත් වුවද යථාර්ථයක් ලෙස ධනවාදී ආර්ථිකය ඊට අවැසි දේ කරගන්නා අතර, බොහෝ විට පමා වී හෝ සාක්ෂාත් කරගන්නේය. මේ නිසා සමාජ විප්ලවයකට සූදානම්වන වමකට තෝරාගත යුතු සටන් පාඨ යථාර්ථවාදී වීම සිදුවිය යුතු අතරම, ලංකාව වැනි රටකට ලිබරල් ධනවාදය හෝ අධිරාජ්‍යවාදය තවදුරටත් වලංගු සටන් පාඨ නොවනු ඇත.

පණස්ගණන්වලදී අතර මැදි පංතියකයට මාරු වූ බලය අදවන විට පාදඩ කල්ලියක් දක්වා මාරු වී ඇති අතර එය සිදු වූයේ ධනවාදය හෝ අධිරාජ්‍යවාදය නිසා නොව ජාතිවාදය මුසු වූ අතීතකාමී චින්තනය නිසාය. මේ යුගයේ නූතන ලාංකික සටන් අතර ප්‍රමුක විය යුත්තේ ඵලයේ හේතුවට ප්‍රතිකර්ම සොයමින් නව පන්නයේ ප්‍රතිපත්ති සහිත නව මිනිසුන්ගේ ක්‍රියාන්විතයකි.

මහින්ද රාජපක්ෂ පාලනය යනු ද දිශාවකින් තොරව තමන් විසින්ම කුණු කර ගනිමින් හා කුණු වෙමින් යන එහෙත් තමන් දන්නා එහෙත් නොදන්නා දේශපාලනයකි. මහින්ද රාජපක්ෂ විවිධ මාදිලියේ උප්පරවැට්ටීන් යොදමින්, කුමන ආකාරයේ විජ්ජා පෑවද ඔහු හා ඔහුගේ බලකාමය ගමන් කරනුයේද දිශාවක් නැති දිශාවකටය. නීතියේ ආධිපත්‍ය හිතුවක්කාර ලෙස සෙල්ලමකට ගෙන වික්‍රමයන් පෑවද ඔහුගේ පරාජයේ හතර රියන දිනෙන් දින ලඟාකරගනිමින් සිටින්නේය. එහෙත් එම පිරිහීමට සාපේක්ෂකව සමාජය ද අනෙක් දේශපාලන බලවේග ද පිරිහී ඇති යථාර්ථයක් තුල, රාජපක්ෂ පාලනයේ අවසානය නිර්ණය කිරීමට තරම් සමාජ දයලෙක්තිකය විශ්වසනීය තත්ත්වයක නොමැත. අනෙක් අතට රාජපක්ෂ පාලනයට අවශ්‍ය කරන පසුබිම එක්වරම අහසින් කඩා වැටුණක් නොවූ අතර, එය මේ මොහොත වන විට එහි ඓතිහාසික ගමනේම භයානක දිගුවක් බවට පත්ව ඇත.

මේ නිසා ලංකා දේශපාලනය තුලට ලෝක දේශපාලන ආදාර්ශයන් ආදේශ කිරීම හෝ අතීතයේ සිදු වූ පරිදි සිදු වීම හෝ දෛවය අනුව සිදු වීම හෝ සිදුවන්නට ඉඩක් තිබේද යන්න සැක සහිත ය. පශ්චාත් යටත් විජිත දේශපාලන ඉතිහාසය යනු වරින් වර ඉස්සරහට පස්සට ගියර් දමමින් සික්සැක් ධාවනයක නිරත වූ සමාජයක් යැයි කීම සම්පූර්ණ කිරීමට එක් එක් පාලන අවදි පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වනු ඇත. මේ නිසා ලංකාව වැඩවසම් හෝ ගෝත්‍රික හෝ ධනවාදී හෝ වශයෙන් වෙන් කළ හැකි රාජ්‍යයක් නොව, වැඩි වශයෙන් ධනේශ්වර ආකෘතියක් ඇති සංස්කෘතික වශයෙන් සෑම අංගයක්ම ඇති ඔම්ලට් ධනවාදයකි.

ප්‍රාග්ධනයට ගමන් කිරීම පිණිස යටිතලය ඉදි කළ ද ප්‍රාග්ධනයට අවශ්‍ය සංස්කෘතිය හා ශික්ෂ්ණය නොමැති වීම තුල එම ප්‍රාග්ධනයේ ගමන් මග සංකීර්ණ වන අතර ධනවාදය සමාජ ක්‍රමයක් යන යථාර්ථය තුල ලාංකික සන්දර්භයට අනුව ඊට අනුගත වන ධනවාදයක් බිහිවීම වලක්වනු නොහැකි අතර, එවිට වමේ සමාජවාදී ඉල්ලීම යනු සම්භාව්‍ය ධනවාදයේ සංවර්ධනාත්මක ඉල්ලිම්ය. ඒ අනුව ඔම්ලට් ධනවාදයේ ඒජන්තයන් වන්නේ ජාතිවාදය කරපින්නාගත් දෘෂ්ටිවාදීන් හා දේශපාලන ක්‍රියාකාරීන්ය. මහින්ද රාජපක්ෂ වටා සිටින්නන් හා ඊනියා අධිරාජ්‍යවිරෝධී ගෝශා නඟන විමල්, චම්පික, ටිල්වින්, දඹර අමිල වැනි ලවුඩ්ස් ස්පීකර්ය.

මේ නිසා පශ්චිත් යටත් විජිත ඔම්ලට් ධනවාදයේ නියම පිළිබිඹුව වන්නේ මහින්ද චින්තන දේශපාලනයයි. චින්තයක් නොතිබුණු පුද්ගලයකුට, චින්තකයන්ට පවා නිගා කොට ලේඛණ ගත කළ ලියැවිල්ල යනු ඕනෑම අදහසක් තමාගේ බලය තහවුරු කිරීමට හෝ වාසියක් අත් කිරීමට ඉඟියක් සපයන්නේ නම් එය මහින්ද චින්තනය වන අතර ඒ තුල, කොමියුනිස්ට්වාදීන්ට, සම සමාජ සමාජවාදීන්ට, ජාතික හා ජාතිවාදීන්ට, විප්ලව වාදීන්ට, ලිබරල් වාදීන්ට හා එකී නොකී ඕනෑම සතුරෙකුට පවා නියෝජනය කළ හැකි යැයි පෙන්නුම් කරන චින්තන ක්‍රමයකි. එහෙත් එහි යථාර්ථය නම් තෝන් ලබා දිය යුතු බූරු පිටියකි. කප්පම ලබා දෙන්නේ නම් ඔනෑම අයෙකුට සෙල්ලම් කළ හැකිය. බණ්ඩාරණායක විසින් ආරම්භ කරන ලද මෙම සංකල්පය එහි වර්ධනයේ උපරිමය බවට රාජපක්ෂ අභිෂේක ලබන්නට විය. නිදහසින් පසුව ලංකා සමාජයේ ගමන් මග සාපේක්ෂ අර්ථයෙන් හෝ නිවැරදි කර ගැනීමට නොහැකි තැන, නිර්මාණය වූ මෙම ඔම්ලට් තත්ත්වය ලෝකය හා ලෝක අගයන් හා ධර්මතාවලට අනුව නම් විකෘති හැඩයකි. මෙම විකෘතිය ප්‍රකෘති කිරීමේ නව විකල්ප දේශපාන භාවිතාව සමාජගත කිරීම, යුගයේ විප්ලවීය අවැසිකමකි.

[Photo Credit:jdsrilanka.blogspot]

Udaya R. Tennakoon 100උදය ආර්. තෙන්නකෝන් | Udaya R. Tennakoon