එක් කලා කෘතියක් එක් කෝණයකින් හුදෙක් කලාත්මක රසාස්වාදයක් සමග පමණක් නොබලා එහි අන්තර්ගත විවිධ සූක්ෂම දෘෂ්ටි කෝණයන් විවිධ පැතිකඩ ඔස්සේ බැලිය යුතූ බව ප‍්‍රසිද්ධ සාහිත්‍ය සිද්ධාන්තයක් වන පශ්චාත් නූතනවාදය පවසයි. ජාත්‍යන්තර මටිටමෙන් කතාබහට ලක්වූ එම සිද්ධාන්තය මුල් කර ගෙන දමිළ සාහිත්‍ය ලොව තූළත් නූතන ද්‍රවිඩ නිර්මාණකරුවන් හා විචාරකයින් කි‍්‍රයා කළහ.

ප්‍රසන්න විතානගේ
ප්‍රසන්න විතානගේ

‘නිර්මාණකරුවෙක් යනු කවරෙක්ද?’ යන මිෂෙල් ෆු කෝ ගේ දැක්මේ සිට ‘‘නිර්මාණකරුවාගේ මරණය‘‘ යන රෝලන් බාර්ත් ගේ දැක්ම දක්වා නිර්මාණයන්හි සැගවී හෝ ව්‍යංගව තිබෙන විවිධ ‘‘අංග විශ්ලේෂණය‘‘ කළහ. මෙහි ව්‍යාප්තියක් ලෙස මේ දිනවල සිංහල බසින් නිෂ්පාදිත ප‍්‍රසන්න විතානගේ ගේ ‘‘ඔබ නැතූව ඔබ එක්ක‘‘ චිත‍්‍රපටය මුල් කරගෙන තමිල්නාඩුවෙි උණුසුම් මත විචාර ඉදිරිපත් කෙරෙමින් පවතී. චිත‍්‍රපටයෙහි ගම්‍ය දෙය සූක්ෂම ව්‍යූහගත කර දේශපාලන විග‍්‍රහයන් ද ඉදිරිපත් කෙරේමින් පවතී. මෙසේ මත ඉදිරිපත් කර විචාරයෙහි යෙදෙන්නේ සාහිත්‍ය කෘතීන් නොලියන ලේඛකයින් නොවන පිරිසකි : මොවූන් ද්‍රවිඩ ජාතික දේශපාලනය ගැන කතා කරන විකල්ප දේශපාලඥයින් වේ. එහෙත් කලා කෘතීන් ලියන නිර්මාණකරුවන් ‘‘නිර්මාණයක් පිළිබදව මොවුන් දන්නේ මොනවා ද? එය අනගි නිර්මාණයක් ලෙස නොබලමින් වල්පල් දොඩවති‘‘ යැයි මොවුන් ව උපහාසයට ලක් කිරීම උත්ප‍්‍රාසය වේ. මෙී දෙපාර්ශවයේ මතය පසෙක ලා චිත‍්‍රපටය තුළට නැවුමි හැගීමකින් පිවිසිය හැක. ශ‍්‍රී ලංකාවෙී කඳුකරයේ පිහිටි ද්‍රවිඩ ජනතාව වෙසෙන ප‍්‍රදේශයක මේ කතා පුවත දිග හැරේ. දමිළ ඊලාමි යුද්ධය නිසා තම පවුල අහිමි වූ සෙල්වී නැමැති දමිළ කාන්තාව තම ඥාතී නිවසක ජීවත් වේ. තම ජීවිකාව සඳහා තමා සතු කුඩා රන් ආභරණ උකසට තබා ජීවත් වේ. උකස් මධ්‍යස්ථානය පවත්වාගෙන යන සරත් ශ‍්‍රී යන සිංහල ජාතිකයෙක් ඇගේ තත්වය වටහා ගත්තද තම ව්‍යාපාරය පමණක් අරමුණ කර ගෙන සිටී. එක් අවස්ථාවක දී ඇය ව, එක් වයෝවෘද්ධ පුද්ගලයෙකුට විවාහ කර දීමට ඥාතීන් පිරිස කටයුතු කරති. එයට අකමැතිව එම නිවස හැර යන සෙල්වී ව තමා විවාහ කර ගන්නා බව සරත් ශ‍්‍රී පවසයි. ඇයගේ එකගත්වය මත විවාහය සිදු කෙරේ. ප‍්‍රීතිමත් ව ජීවිතය ගත වන ඇයගේ විවාහ දිවියේ දිනක් තම ස්වාමි පුරුෂයා හිටපු හමුදා සෙබළෙක් යන වග ඇයට අනාවරණය වේ. එයින් ඇය සිත්තැවුලකට පත්වන්නීය. තම ජාතිය හා පවුල අනාථ කළ සිංහල හමුදාවට අයත් ඔහු සමග දිවි ගෙවීමට සිදුවීම ඇගේ සිත්තැවුලට හේතු වේ. අවසානයේ දී ඔහුව පිළිගැනීමට හෝ හැරයාමට නොහැකි දෙගිඩියාවකට පත් වන ඇය සියදිවි හානි කර ගනී.

මෙම චිත‍්‍රපටයේ වස්තු බීජය සුප‍්‍රසිද්ධ රුසියානු ගත්කතුවරයෙකු වන වන ‘‘දොස්තයා වෙස්කි‘‘ විසින් රචිත A gentle creature යන කෙටි කතාව පදනම් කර ගත් එකකි. මෙම කතා පුවත මීට පෙරද සුප‍්‍රසිද්ධ ප‍්‍රංශ අධ්‍යක්ෂකවරයෙකු වන රොබටි ප‍්‍රසෝන් විසින්A gentle woman යන නමින් චිත‍්‍රපටයට නගන ලදී. එසේම බෙංගාලයේ අධ්‍යක්ෂකවරයෙකු වන මනී කෞවුල් විසින් Nazar යන නමින් චිත‍්‍රපටයට නගා ඇති බව සැළකිය යුතුය.

මෙම චිත‍්‍රපට දෙකෙහිම ගැහැණිය හා පිරිමියා යන පොදු හැගීම් වලට පදනම් වී එම අධ්‍යක්ෂකවරුන් මෙම කතාපුවත ගෙනහැර දක්වා ඇත. මෙම චිත‍්‍රපටවල ජාතිය ආගම භාෂාව යන විෂයන් හරස් වන්නේ නැත. තම බිරිද සියදිවි හානි කර ගැනීමට පාදක වූ හේතුකාරකය සොයා අතීතාවර්ජනයේ යෙදෙන ස්වාමි පුරුෂයා ගේ කතාවක් ලෙසට තිරරචනය සැකසී තිබේ.

බිරිද හා සැමියා අතර පවතින අධික ආතතිය සමිබන්ධයෙන් පශ්චාත්තාප වීම මෙම චිත‍්‍රපටවල තේමාව වී ඇත. එහෙත් එම චිත‍්‍රපටවල ජාතිය හා භාෂාව එකට ගළපා බලයි. නමුත් ප‍්‍රසන්න විතානගේ ඔහුගේ මෙම චිත‍්‍රපටය පශ්චාත්තාපයේ සෞන්ද්රයය ලෙස නම් කරයි. හුදෙක් එක් ගැහැණියක් හා පිරිමියෙක් අතර ඇති පශ්චාත්තාපයේ සෞන්දර්යයටත් ජාති ආගම් භාෂා යනාදියට අයත් චරිත අතර පවතින ‘පශ්චාත්තාපයේ සෞන්ද්රයත්‘ අතර ඇති වෙනස හඳුනා ගැනීමට අපොහොසත් වී ඇත.

අමෙරිකාව හා යුරෝපා අග‍්‍රරස්ථ රටවල් විසින් ගොඩ නගන ලද ලෝක සිනමාවේ රැවටිලි හමාර වී බොහෝ කල් ගත වී ඇත. වර්තමානයේ තම රටවල අනන්‍යතාවය, සංස්කෘතිය, බලඅරගල අවුල්ජාලාවන් යන කරුණු ඉදිරිපත් කිරීමට තුන්වන ලෝකයේ රටවල් වල කලාකරුවන් ගමන් කිරීමට උත්සුක වී ඇත. බටහිර අධිරාජ්‍යවාදී රටවල් වල මතවාද හා නව සෞන්දර්ය රටා හේතුවෙන් බොහෝ සේ ආභාෂ ලත් මෙම පශ්චාත් යටත් විජිත රටවල් වල දෘෂ්ටිය කලාව හා මිනිස් ජීවිතය අතර වූ හිස් අවකාශය තම දේශපාලනික මත වලින් පිරවීමට වෑයම් කරති.

මම පුනපුනා පවසන එක් සිද්ධාන්ත මතයක් යළිත් මෙහි ඉදිරිපත් කිරීමට සිදුවෙි. වර්තමානයේ ගෝලීයකරණයේ පාගමනින් පසු කලාකරුවෙකු කලාකෘති නිර්මාණය කරන රටාව ඉතා සූක්ෂමව අවධානය කර බැලිය යුතුය. නිර්මාණකරුවා නොදැනුවත්වම තමාගේ නිර්මාණයේ විවිධ දේශපාලන ව්‍යූහ ඉතිහාස සංස්කරණ අග‍්‍රරස්ථ සෞන්දර්ය ඔහුගේ නිර්මාණයේ රාමුව අතර ඇතුළු වී සැගවේ.

මෙම සූක්ෂම ඒකක වන්නේ එක් නිර්මාණකරුවෙක් ලෝක නිර්මාණයන් හා බටහිර රටවල නිර්මාණයන් වෙත අවධානය යොමු කිිරීම හේතුවෙන් රසාස්වාදයේ සිදුවෙන වෙනස් වීම් වේ. මේවා යටි සිතෙහි සිට ක‍්‍රමක් ක‍්‍රමයෙන් එක් අවස්ථාවක දී නිර්මාණකරුවාගේ රසාස්වාදයේ වෙනස් වීම් අනිවාර්ය කර ඔහුගේ නිර්මාණය තුළින් ද පිළිඹිඹු වේ. මෙම සූක්ෂම ඒකක තුළ පවතින සියුම් දේශපාලනය හඳුනා ගෙන එයට අනුරූපීව තම නිර්මාණය හැසිරවිය යුතුය. තුන්වන ලෝකයේ රටවල් වල නිර්මාණකරුවන් වෙත එල්ල වී ඇති අභියෝගය මෙයයි.

Oba-Nathuwa-Oba-Ekka-Tamil-Movie

ප‍්‍රසන්න විතානගේ ගේ නිර්මාණය දැකිය යුත්තේ මෙම දෘෂ්ටිකෝණය පදනම් කර ගනිමිනි. ඔහු පීඩිත දමිළ ජනතාවගේ හඩට පක්ෂව කටයුතු කරන්නෙක් ලෙසත්, වාමාංශික අදහස් වලින් හෙබිව සිටින විප්ලවවාදියෙක් ලෙසත් නම් දරා සිටින්නෙකි. දිගින් දිගටම ශ‍්‍රී ලංකාවෙි ජනවාර්ගික ගැටුම තම චිත‍්‍රපටය ඔස්සේ විවෙිචනය කරමින් සිටින කලාකරුවෙකි. ඔහුගේ ‘‘පුරහඳ කළුවර‘‘ නැමැති චිත‍්‍රපටය සිංහල ජනයාගේ ජීවන රටාව අවුල් කරන යුද්ධයේ කුරිරු බව පිළිබඳව කතා කරයි.

දුප්පත් පවුලකට අයත් සිංහල තරුණයෙක් තම පවුලේ ජීවිකාව සඳහා හමුදාවට බැදේ. පසුව යුද්ධයෙන් මිය යයි. යුද හමුදාව යුද්ධයෙන් මිය ගිය රණවිරුවන්ගේ සිරුරු යුද හමුදා පිටියේම හැර දමා එන අතර විවෘත නොකළ යුතු බවට දැඩි නියෝගයක් පනවමින් මිණී පෙටිටියේ ගඩොල් අතුරා මිය ගිය රණවිරුවන්ගේ දෙමාපියන් වෙත මෙය සිරුර යැයි පවසමින් භාර දෙනු ලබයි. තම පුත‍්‍රයා යුද්ධයෙන් මිය නොයන්නට ඇතැයි විශ්වාස කරන පියා මිණී පෙටිටය විවෘත කර බලයි. පසුව තම පුත‍්‍රයා කෙදිනක හෝ යළි පැමිණෙනු ඇතැයි යන විශ්වාසයෙන් ජීවත් වේ. මෙම කතාපුවත එක් කෝණයකින් සිංහල ආණ්ඩුව විසින් රණවිරුවන් හට කෙරෙන කෙණෙහිළිකම් පිළිබඳව පවසන බව හැගුන ද වෙනත් කෝණයකින් තවත් එක් අර්ථකථනයක් ඉදිරිපත් කරයි : මෙම හරයක් නොමැති යුද්ධයෙන් සිදුවූ ආර්ථික බිඳවැටීමි තම ජීවන රටාව අවුල් කිරීමට පාදක වූ බව සිතන සිංහල හුදී ජනයාගේ දෘෂ්ටිකෝණයෙන් දමිළ කැරළිකරුවන් ව ද්වෙිශ සහගතව බලන ආකල්පයක් ගොඩ නැගේ.

ඇයි යුද්ධය ඇරඹුනේ ? කවුරුන් විසින් යුද්ධය ඇරඹනු ලැබුවෙි ද? යන සූක්ෂම දේශපාලනය ගැන චිත‍්‍රපටය සොයන්නේ නැත. පාක්ෂිකයෙකුගේ දෘෂ්ටියෙන් ඔහු ජන මතයේ හිද එය සාධාරණිකරනය සමගින් කලාකෘතියක් ලෙස මෙම චිත‍්‍රපටය ඉදිරිපත් කෙරේ. ප‍්‍රසන්න විතානගේ මෙන්ම, පීඩිත දමිළ ජනතාවගේ මානසිකත්වයේ සිට මෙම ප‍්‍ර‍්‍රශ්නය විවෙිචනය කළ සිංහල නිර්මාණකරුවන් ලෙස අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර ,ධර්මසේන පතිරාජ යන කලාකරුවන් නම් කල හැක. මොවුන් යුද්ධය සාධාරණීකරනය කිරීම විවෙිචනය කළහ.

වඩා වැදගත් වනනේ ‘දේශයේ උන්නතිය යැයි‘ යන්න තේමා කරගත් අශෝක හඳගම ගේ ‘මෙි මගේ සඳයි‘ යන චිත‍්‍රපටයෙන් කියැවෙන මතය මෑතක දී ඔහු විසින් අධ්‍යෂනය කරන ලද ‘ඉනි අවන්‘ යන චිත‍්‍රපටයෙන් තව තවත් ත‍්‍රීව කර ඉදිරිපත් කර තිබේ. සහජීවනය හා දේශයේ උන්නතියට, ජීවන රටාවට යුද්ධයෙන් සිදුවෙන හානි, ගෙවී ගිය දෑ අමතක කිරීම ආදී ශ‍්‍රී ලංකාවෙි පවතින තත්ත්වය මත කලාත්මකව හා සූක්ෂමව ඉදිරිපත් කරයි. ලිහිල්මතදාරි දමිළ ජනතාව දක්වා සියළු මටිටමෙන් ම මෙම චිත‍්‍රපටයට දැඩි විවෙිචන එල්ල වී ඇත. අශෝක හඳගම ‘ඊලාමි සටන‘ ත‍්‍රස්තවාදය යැයි සම්මුඛ සාකඡාචාවක දි පවසා ඇත.

මේ අවස්ථාවෙි දී තවත් කිහිපදෙනෙකු සිහිපත් කිරීමට සිතමි. කාලීන විචාරකයෙකු වන නෝර්මි චොමිස්කී ශ‍්‍රී ලංකාවෙි ජනවාර්ගික ඝාතන ගැන ‘ලංකා ගාඩියන්‘ පුවත්පතත් සමග කෙරුණු සම්මුඛ සාකඡාචාවෙි දී යුද අපරාධකරුවන් හට දඩුවම් පැනවිය යුතු බව පවසා තිබුණි. පසුව දමිළ හිතවාදීන් දුන් පීඩනය හමුවේ ‘එය ඛේදවාචයකි’ සුළු ජාතිකයන්ට සම අයිතීන් දිය යුතු බව පැවසුවේ ය.

ජනවාර්ගික ඝාතන, මානව අයිතිවාසිකමි කඩ කිරීම් යුද අපරාධ පිළිබඳ ව වාර්තාමය චිත‍්‍රපට නිර්මාණකරුවෙකු වන ජෝන් පිල්ගර් ශ‍්‍රී ලංකාවෙි සිදුවූ වාර්ගික ඝාතන පිළිබඳ එහි මේවන තෙක් සිදුවෙමින් පවතින මානව අයිතිවාසිකමි කඩ කිරීම් ගැන හෝ කිසිදු වාර්තාමය චිත‍්‍රපට නිර්මාණය කර නොමැත.(මෙයට පසුබිමි වූ දේශපාලනය කුමක්දැයි මා විසින් මෙහෙය වන ලද “උන්නදමි“ සගරාවෙන් හා විද්‍යුත් තැපෑලෙන් මා කරුණු විමසූ නමුත් එයට කිසිම ප‍්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැත)

13
මුල්ලිවයිකාල් ව්‍යසනයෙන් පසු දැනට පවතින වාතාවරණය එහි කැරලිකරුවන්ගේ අනුකමිපා සහගත තත්වය සැමගේ අප‍්‍රසාදයට ලක්වන පසුතැවිලි වලින් හෙබි වූ දර්ශන ලෙස සටහන් කර තිබෙන අපේ අශෝක හඳගම විසින් පෙන්වන යාපනය පශ්චාත්තාපයෙන් මුදුන්පත් වූ ස්ථානයක් ලෙස පවතී. එදා කැරළිකරුවන් අද මාෆියා කණ්ඩායම් බවට පරිවර්තනය වන්නාක් මෙන් පෙන්වන ඔහු එයට හේතු සාදක වන කරුණු පිළිබඳව කිසිවක් නොපවසයි. එම නිසා පේ‍්‍රක්ෂකයාට සිතීමට ඉඩ ප‍්‍රස්ථාව ලබා දෙන්නේ නැත. අවසානයේ දී දමිළ ජනයා සිංහල ජනයා මත යැපී ජීවත් විය යුතුයි යන සහජීවන සංකල්පය ඉදිරිපත් කරයි.

ප‍්‍රසන්න විතානගේ අනුගමනය කරන්නේ ද මෙවැනි ක‍්‍රීයා පිළිවෙතක් ය. ‘‘ඔබ නැතුව ඔබ එක්ක‘‘ චිත‍්‍රපටය තුළින් විදහා දක්වනු ලබන්නේ ද සිංහල හමුදාව සිංහලජාතිභක්තිමඳය පසුතැවිලි වීමක් ලෙස ඉදිරිපත් කර සමාව අයැද සිටීමකි. “Past is past’’ ‘ගිය දේ ගියාවේ, මින් මත්තට නව ජීවිතයක් අරඹමු’ එකිනෙකා එක්වී වෙසෙමු. යනාදි අදහස් ඉදිරිපත් කරයි.

මෙම පශ්චාත්තාපය යන චිත්තරූපය ඔහුට හමුවන්නේ දොස්තයා වෙස්කි ගෙනි. මන්ද යත් ඔහු ගේ නව යොවුන් විය රුසියානු වාමාංශික සාහිත්‍යයෙන් ගොඩනගන ලදී. ටෝල්ස්ටෝයි,දොස්තයා වෙස්කි, දුර්කනේවි, චෙකොවි ආදී ගත්කතුවරුන් ඔහු තුළ විවිධ සංකල්ප බිහිකර ඇති බව අනුමාන කරගත හැක. එබැවින් අශෝක හඳගම මෙන් ප‍්‍රසන්න විතානගේ විවෘතව කිසිම විසදුමක් පවසන්නේ නැතිව කිසිවක් කරකියා ගත නොහැකි අසරණ තත්වයක් චිත‍්‍රපටය පුරාවට විකාශනය කරයි.

දමිළ ප‍්‍රදේශ වල සිංහල ජනාවාස ඉදිකිරිම යුහුසුළුව පවතින මෙම අවධියේ ඒ පිළිබඳව කිසිම විවේචනයක් නොකර එසේ කිසිවක් සිදුනොවූ ගානට චිත‍්‍රපටය පුරාවට මවා පායි. චිත‍්‍රපටයේ පසුබිමෙහි සෑම තැනම (‘ස්කන්ධ ශෂ්ඨි සූත‍්‍රය‘ හා දමිළ වේග රිද්ම ගීත ඇසීමෙන් හා විකාර දමිළ බයිස්කෝප්, ප‍්‍රසන්න විතානගේ ගේ තිරගත විමෙන් යුද්ධය දමිළ ජනතාව අතර හුදෙක් ආර්ථික වශයෙන් සිදුවූ යම්යම් හානි හැර මහාපරිමාණයෙන් මානසික ආතති ඇති නොකළ බව පෙන්නුමි කරයි’)

දමිළ කතගෙන් දෙපා නැමැඳ සමාව ගන්නා සිංහල සෙබළා යන සංඛේතය ඔහු සමිපූර්ණයෙන් බහුතර ජනයාගේ නොගැඹුරු දෘෂ්ටිකෝණය පමණක් පාදක කර ගත් එකකි. මෙය පශ්චාත්තාපයේ සෞන්ද්රය බව ප‍්‍රසන්න විතානගේ පවසයි. එක ජාතියක් කුරිරු ලෙස ඝාතනය කළ පසු පසුතැවීමෙන් යම්යම් පාර්ශවයන් අතර හොඳහිත වර්ධනය කිරිමේ උත්සහයන් හා සම්මුති ගොඩනැගීම යනාදී දෑ හුවාදැක්වමින් රූපරාමු සැකසීම පමණක් පශ්චාත්තාපයේ සෞන්ද්රය බවට ප‍්‍රකාශ කළ හැකි ද?

‘‘අවුරුදු දහස් ගණනකට පෙර සිට අප ඉපදී හැදී වැඩුන අපේ මේ දේශය, ‘‘එන්න අප හා එක්වන්න යැයි ඔබ අඩගසයි‘‘ කොහොම ද අපි ඒකට එන්නේ? අපගේ දේශය සංස්කෘතිය ජීවිකාව යන සියල්ල අපෙන් උදුරා ගෙන නිරුවත්ව සිටින අපට ඔබ ඇරයුමි කරයි. ‘ඔබට අවශ්‍ය වන්නේ අසල්වැසියෙක් නොව වහලෙකි‘ යැයි සුදු ජාතිකයන් ගෙන් ප‍්‍රශ්න කළ රතු ඉනිදියානු නායකයා ‘‘ඩෙින්ජාජ්‘‘ ගේ ලිපියේ වදන් මෙහි සිටින ලාංකික දමිළ ජනතාවටත් ගැළපෙයි නේද?

එක් ජනවර්ගයක් ඝාතනය කර ඉතිරි අයවළුන්ගෙන් ‘‘අප ඔබව පිළිගන්නෙමු‘‘ ‘‘අප සැම එකම ජාතියක් එන්න අප හා එක්වන්න‘‘ යන රාජපක්ෂගේ කීමටත් ප‍්‍රසන්න විතානගේ ගේ චිත‍්‍රපටය තුළින් ගෙනහැර දක්වන අදහසටත් ඇති එකම වෙනස ප‍්‍රසන්න විතානගේ අප පසුතැවෙනවා යැයි ප‍්‍රකාශ කිරීම පමණයි.

තමිල්නාඩුවෙි සිටින දමිළ ජාතිකත්වය ගැන කතා කරන පිරිස මෙම ප‍්‍රශ්නයෙි දී සෘජුව සහභාගී වූ අය නොවෙයි. හුදෙක් පේ‍්‍රක්ෂකයන් පමණකි. එහි සැබෑ වෙිදනාව හෝ ගැටළුව ඔවුන් නොදනි. නමුත් අශෝක හඳගම හා ප‍්‍රසන්න විතානගේ යන අය යුද්ධය සමග සෘජුව සම්බන්ධ ජාතියක ප‍්‍රගතිශීලි නිර්මාණකරුවන් වේ. සුව කළ නොහැකි වෙිදනාවෙන් හා සීමාව ඉක්මවූ දුකෙන් පෙළෙන ජාතියක් කල්යල් බලා නමුත් අවැසි පරිදි වෙනස් කිරීමට සිතා විවිධ මත වපුරන විට ‘‘ඔවුන් සිංහල යැයි‘‘ ඒකපාර්ශිකව පිළිකුල් කිරීමට වඩා ‘‘මංමුළා‘‘ වූ ප‍්‍රගතිශීලි නිර්මාණකරුවන් යැයි යන තැන සිට ඔවුන් විවෙිචනය කිරීමයි යුගයේ අවශ්‍යතාවය.

පරාජිතයන්ව නිහතමානීව සහජීවනයේ නමින් තවතවත් පරාජයට පත් කිරීමට ගත් වෑයමක් නේද මේ? මොවුන් හට අවැසි වනුයේ සහජීවනය නොව, සිය දහස් ජනයාගේ සමූල ඝාතනය සාධාරණිකරණය කිරීමයි. ලෙයින් තෙත් වූ මුල්ලෙයිවායිකාල් පිටියෙහි කරන විනිශ්චයක් ය.

13 වන සංශෝධනය මුල්ලෙයිවායිකාල් වල වළලා දමා වාර්ගික සහජීවනය කතා කරන කලා සාහිත්‍ය දෘෂ්ටින් ගැන ‘‘චිත‍්‍රපටය චිත‍්‍රපටයක් ලෙස පමණක් බැලිය යුතු යැයි‘‘ කෑමොර දෙන නූතන දමිළ බුද්ධිමතුන් කුමන රීතියකින් අගයන්නේ ද? මෙවන් සහජීවනයක් පිළිබඳ සංකල්ප අතීතයේ යුරෝපයෙහි පැවති සංකල්පයකි. කාලාන්තරයක් කළු ජාතිකයන්ගේ සංස්කෘතික වටිනාකම් විනාශ කර ඔවුන් ගේ නිජබිම් ආක‍්‍රමණය කිරීමෙන් පසු එය සාධාරණීකරණය කිරීමට යම්යම් බුද්ධිමතුන් ලවා හරයක් නැති පසුතැවීම පිළිබඳ ව කලාකෘති ඉදිරිපත් කරන බටහිර අධිරාජ්‍යවාදී රටවල් වල චින්තනයයි. මෙම දෘෂ්ටිකෝණයෙන් නිර්මාණය කෙරුන බටහිර චිත‍්‍රපට ලොව උසස් චිත‍්‍රපට ලෙස පැසසුමට ලක් කර එවන් අපරාධ කළ අයවළුන් ලවාම උසස් සම්මාන ලබා දීමට ද සලස්වනු දක්නට ලැබේ. මෙම අවස්ථාවේ දී To Kill A Mocking Bird චිත‍්‍රපටය ගැන සදහන් කළ යුතුය. මෙය ඇමෙරිකානු සුුදු ජාතික කාන්තාවක් වන හාපර් ලී විසින් රචිත පුලිටිසර් සම්මානය දිනූ නවකතාවක් ඇසුරෙන් නිපද වන ලද්දකි. මෙය රොබට් මුලිගන් නැමැති සුුදු ජාතික ඇමෙරිකානුවෙකු විසින් චිත‍්‍රපටයට නගන ලදී. මෙහි කතාපුවත දෙස බලන්න.

ඇටිගස් ෆින්චි නැමැති සුුදු ජාතික ඇමෙරිකානු නීතීඥවරයෙකු සුුදු ජාතික කතක් දූෂණය කළා යැයි බොරු චෝදනාවකින් චූදිත වූ කළු ජාතිකයෙකුගේ නිදොස් බව ඔප්පු කිරීමට දරන ප‍්‍රයන්තය මෙම කතාවෙි වස්තු බීජය වේ. 1960 මෙම නවකතාව එළිදක්වන කාලවකවානුවෙි කළු ජාතිකයන්ට එරෙහි සුුදු ජාතිකයන්ගේ වර්ණබේදවාදයේ උචිචතම අවධිය විය. එම වර්ණබේදවාදය හා බලමාන්නය අභියෝගයට ලක් කළ බැවින් මෙමනවකතාව කළු ජාතිකයන් අතර වඩාත් ප‍්‍රචලිත විය.

Mocking Bird යනුවෙන් සංකේතවත් කෙරුනේ කළු ජාතිකයන්ය. කිසිවෙකුට කිසිම අයුරින් බාධාවක් නොකරමින් තනිවම ගී ගයමින් ඉගිළී යන එම පක්ෂියා දඩයම් නොකළ යුතු බව ෆින්චි තම දරුවන්ට පවසන දර්ශන කලාත්මකව හා එක ජාතියක හැගුමන් විග‍්‍රහ කරමින් හැගීම්බරව ඉදිරිපත් කරන අයුරු දක්නට ලැබේ.

එක් සත්‍ය සිදුවීමක් ඇසුරින් ගොඩනගන ලද මෙම කෘතියෙහි කළු ජාතිකයන් කෙරෙහි එල්ල වූ වර්ණබේදවාදය මතුපිටින් පමණක් ගෙනහැර පා ඇත. කාලාන්තරයක් කළු ජාතිකයන් මර්දනය කිරීම පිළිබඳව හෙරියටි බිචර් ස්ටෝවි නැමැති සුුදු ජාතික ඇමෙරිකානුවෙක් විසින් රචිත Uncle toms cabin නැමැති මෙම නවකතාව මෙම ඝනයට අයත් ප‍්‍රථම නවකතාව ලෙස හැදින්විය හැක.(මෙය නූතන කලා සාහිත්‍ය ගැන කතා කරන විටදී දමිළ සාහිත්‍ය රටාවෙි බොහෝ සේ කතාබහට ලක්වෙන ‘‘දලිද්‘‘ සාහිත්‍ය ඝනයට වැටේ.

මෙම අවස්ථාවෙි දී රෝමන් පෙලාන්ස්කි ගේ The pianist හා ස්ටීවන් ස්පිල්බ්රග් ගේ Schindler’s list යනාදී චිත‍්‍රපට මෙම කෝණයෙන්ම බැලිය යුතු ද යන ප‍්‍රශ්නය මතු ඉදිරිපත් කරන්නේ නම් එය විහිලුවකි. මන්ද යත් ඒවා යුදෙව් ජාතිය විනාශ කිරීමට නට්සි හමුදාව විසින් කරන ලද හිංසනයන් පිළිබඳ ව බලපෑමට ලක් වූ යුදෙව් ජාතිකයින් විසින් ම නිර්මාණය කරන ලද චිත‍්‍රපට ඝනයට අයත් ය. අද දවසේ කළු ජාතික නිර්මාණරුවන් තමන්ගේ දෘෂ්ටිකෝණයෙන් චිත‍්‍රපට නිර්මාණය කරමින් සිටී.

තුන්වන ලෝකයේ රටවල් වල පේ‍්‍රක්ෂකයා අද කාලයේ පශ්චාත් යටත් විජිතවාදී දේශපාලන පරිසරයේ එක් කලා නිර්මාණයක් ලෙස බැලීමට සිදු වී ඇති තත්ත්වයක, ප‍්‍රසන්න විතානගේ ගේ චිත‍්‍රපටය කිනම් නිශ්චිත කාල වකවානුවක ට අයත් දැයි කීමට නොහැක. එක් නිර්මාණයක කතා වස්තුව දෙස බැලිය යුත්තේ එය දෙවන ලෝක සංග‍්‍රාමයට පෙර හෝ ඉන්පසු සිදුවූවක් ද යන්න පදනම් කරගෙනයි, යන්න ජාත්‍යන්තර විචාරකයන්ගේ සිද්ධාන්තයකි.

දෙවන ලෝක සංග‍්‍රාමයට පසුව සිදු වන කතා පුවතක් ගෙන හැර පාන ඉතාලි ජාතික අධ්‍යක්ෂ වික්ටෝරියා ඩිසීකා ගේ Bicycle thieves චිත‍්‍රපටයේ ලෝක යුද්ධයෙන් බැටකෑමෙන් උග‍්‍ර දරිද්‍රතාවය, ආර්ථික දුෂ්කරතා, මිනිසත්කම කඩා වැටීම ආදී ව්‍යසනකාරී තත්වයන් ගැන කතා කරයි. තම ජීවිකාව සඳහා ඉවහල් වූ පාපැදිය හොරකමට ලක් වූ පසු එය සොයා යන දුක්ඛිත තත්වය යථාර්ථවාදී දෘෂ්ටියකින් ඉතා නිර්මාණශීලීව අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කරයි. මෙය කාල වකවානුවක පිළිබඳව සඳහන් නොකර දක්වා තිබුනේ නම් සාමාන්‍ය අවශේෂ චිත‍්‍රපට ඝනයට අයත් වන්නට ඉඩ තිබුණි. එම චිත‍්‍රපටය සම්භාව්‍ය ඝනයට අයත් වන්නේ කාල වකවානුවක පිළිබඳව සඳහන් කිරීමෙනි.

Oba-Nethuwa-Oba-Ekka3073
හොඳයි, නූතන දමිළ බුද්ධිමතුන් පවසන අයුරින් මෙම චිත‍්‍රපටයෙහි ඇති දේශපාලන අංශු අතහැර කලාවට පමණක් අපේ අවධානය යොමු කරමු: යුද්ධය අතහැර පැමිණ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ප‍්‍රිය කරන කථානායකයා තෝරා ගන්නේ අකුසල් යැයි සැළකෙන උකස් වෙළදාමයි.(මුල් පිටපතේ තිබෙන අයුරින් ම තිර රචනය කිරීම අවශ්‍ය නොවෙි.තවද මුල් පිටපතට බොහෝ වෙනස්කම් කර තිබිම ද සැළකිය යුතුයි.) එහිදීත් ඔහු දුගී ජනයාට කිසිම උපකාරයක් කරන්නේ නැත. කරුණාවන්ත කෙනෙක් වන ඔහුගේ බිරිඳට ද ඔහු පවසන්නේ ‘‘කවදාත් උකස් කරන බඩුවල වටිනාකමින් 3/4 ට විතරක් ගණන් කියන්න කියලා‘‘ ‘‘දවසක් වත් පරක්කු උනොත් මාසෙක පොළිය ගන්න කියාය‘‘ මෙයත් යම් අයුරකින් හමුදා මානසිකත්වය වේ.

කරුණාවන්ත ගතිගුණ කිසිවක් නොවූ එක් අයෙක් එක්වරම දමිළ කතකට කරුණාවන්ත වී විවාහා කර ගන්නේ ඇයි? ද යන්න සාධාරණීකරණය කිරීම සඳහා වූ නිශ්චිත හේතු සාධකයන් චිත‍්‍රපටයේ පෙන්වා නොමැත. තවද ඔහු චිත‍්‍රපටය පුරාවට දිගින් දිගටම රෙස්ලින් නැමැති අප‍්‍රසන්න තරග නැරඹීම ද හමුදා මානසිකත්වයේ දිගුවක් ලෙස සඳහන් කළ හැකිය. විටෙක එක්වරම වෙනස් වන දසුන්, බුදුන්ට පහන තියා නමදින අයුරු පෙන්වයි. ඥාතී පිරිස ඇයව වයෝවෘද්ධ පුද්ගලයෙකුට විවාහ කර දීමට උත්සහ කරති. එයින් මිදී ඇය සිංහල ජාතිකයෙකු විවාහ කර ගනී. මෙමගින් ගොඩනැගෙන්නේ සිංහල ජාතිකයෙකු සමග ජීවත් විය හැකි නමුත් දමිළ ජාතිකයෙකු සමග ජීවත් විය නොහැක යන අදහස ද? නාකියෙකු විවාහ කර ගැනීම යන හේතුව නොමැතිව සිංහල ජාතිකයෙකු සමග පේ‍්‍රමයක් ඇති වී විවාහ කර ගන්නා ලෙස තිරරචනය කළා නම් ‘කලාවෙි පිවිතුරු‘ බවට හානියක් වේවි ද?

දමිළ කතක් විවාහ කරගත් පසුව තම තුවක්කුව ඔහු සගවා ගනී. දෙපා වැඳ සමාව යදින කෙනෙකු ‘මාව මරලා දාන එක නමි ඔයාගේ ප‍්‍රශ්නයට විසදුම මට වෙඩි තියන්න‘ යැයි කියමින් තුවක්කුව ඇයට දෙන ලෙසට කාව්‍යාත්මකව තිරරචනය කරන්නට ඉඩ තිබුණ ද, වංක ලෙස තුවක්කුව සගවන ලෙසට ගොඩනගා ඇත. කෙතරම් සමීප වුවත් දෙමළුන් සමග ප‍්‍රවේසමින් සිටිය යුතු බව මෙම දසුනෙන් අගවයි.

දමිළ කත චතුරව සිංහල කතා කරයි. එනමුත් සිංහල ජාතිකයා දෙමළ කතා නොකරයි. මෙය අග‍්‍රරස්ථ සංකල්පයකි. ඔබ කතා කළ යුත්තේ මගේ භාෂාව යන ප‍්‍රතිසංධාන සංකල්පයයි. ඔහුට ඇය කෙරෙහි ඇති වන අසීමිත ආදරය හේතුවෙන් සිංහල ජාතිකයා දෙමළ භාෂාව ඉගෙන ගන්නායුරින් මෙය දසුන් ගත කල නොහැකි ද? ඔහු එසේ කලා නම් ‘කලාවෙි පිවිතුරු‘ බවට හානියක් වෙිවි ද? (දමිළ ජනතාවට පක්ෂව කතා කරන ප‍්‍රසන්න විතානගේ ට ම දමිළ කතා කළ නොහැකි වීම උත්ප‍්‍රාස සහගතද?)

ඇය දේවාලයට ගොස් එන විට ‘‘ඔයාගේ දෙවියෝ මොනවද දුන්නේ? යැයි ඔහු අසයි‘‘ ආරක්ෂාව දුන්නේ මමයි යැයි පවසා ඔහු බුදුන් වැදීමට යයි. මින් අදහස් වන්නේ ඔබගේ දෙවියන් අප‍්‍රයෝජන වත් කෙනෙක් ඔබත් මගේ දෙවියන් අදහන්න යන්නයි. එමෙන් ම දමිළ කතගේ චරිතය ද ගොඩනගා ඇත්තේ බොහෝ පරස්පරතාවන් සමගය. යුද්ධයේ කුරිරු අත්දැකීම්වලින් බැට කෑමෙන් සිංහල ජාතිය කෙරෙහි අප‍්‍රසාදයෙන් සිටින දරිද්‍රරතාවයකින් පෙළෙන දමිළ කතක් එක්වරම සිංහල ජාතිකයෙකු විවාහ කර ගැනිමට මනාප වීම විස්මයජනකය. එසේම ඊලග ක්ෂණයෙන්ම තම සිරුර නිරාවරණය කර දීමට තරම් ඇය සුදානමෙන් සිටීමත් විස්මයජනකය.(එම ලිංගික දර්ශනය ඉතා විවෘතව දසුන් ගත කර තිබේ) දමිළ සිනමාවෙි තුන්වන පංතියේ අධ්‍යක්ෂකවරුන් වුව ද මීට වඩා කලාත්මකව එය දසුන් ගත කර තිබෙනු ඇත. තවද ජාතික දේශපාලනය ගැන කතා කරන ඇය දමිළ නළු විජෙයි ගේ චිත‍්‍රපට වල රසිකාවියක් ලෙස පෙන්නුම් කර තිබීම උත්ප‍්‍රාසයට ලක්වන කරුණකි.

මෙම පරිසරයෙන් මිදීමට තිබෙන එකම මග වන්නේ ඉන්දියාවෙි තමිල්නාඩුවට යෑමයි, යන්න විසදුමක් ලෙස ඉදිරිපත් කරයි. එයින් ලාංකික දෙමළ ජනතාවගේ සුභසිද්ධියට ඉදිරිපත් වී කතා කරන රටක් ලෙස ඉන්දියාව පෙන්නුමි කරයි.

ශ‍්‍රී ලාංකික දෙමළ ජනතාවගේ සුභසිද්ධිය පිළිබඳ ව ඉන්දියානු හා තමිල්නාඩු දේශපාලනයේ පවතින ශුද්‍ර දේශපාලනය ගැන කවුරුත් දනිති. මෑතකදි පොදු විභාගයකදී උසස් ලකුණු ලබාගත් ලාංකික දෙමළ සිසුවියකට සරණාගතයෙක් වීම නිසාම වෛද්‍ය විද්‍යා පාඨමාලාවක් හැදෑරීමෙ අනුමැතිය ලබා නොදීමට තරම්, නොසැළකිලිමත් බව බහුලව දක්නට ලැබෙන රටකට යෑමටයි සෙල්වී ප‍්‍රිය කරන්නේ. පිටරට වල ජීවත් වන ඉන්දියානුවන්ට අනේවාසික කෝටාව මත වෛද්‍ය විද්‍යාලවල ඉගෙනීම් පහසුකමි ලබා දෙන තමිල්නාඩු රජය තම භාෂාව කතා කරන සරණාගතයෙක් නොතකයි. මෙඑැනි රටක් තමන්ට සහනයක් දෙතැයි ඇය සිතයි. කැනඩාව බ්‍රිතාන්‍ය වැනි රටවල් වලට යෑමට ඇය සිහින නොදකින්නේ මන්ද?
තමිල්නාඩුවට යෑමට තීරණය කළ පසු තම උකස් මධ්‍යස්ථාන විකීණීමට සරත් ශ‍්‍රී තීරණය කරයි. එය මිළදී ගන්නේ මාන්නයෙන් පිරී ධනවත් මුස්ල්මි ජාතිකයෙකි.

ශ‍්‍රී ලාංකාවෙි මුස්ලිම් ජාතිකයින් වෙළදාමේ හා ආර්ථිකයේ වැදගත් සාදක ලෙස පැවතීම අධ්‍යක්ෂකවරයා විසින් මෙසේ සංකේතවත් කර ඇත. එම වෙළද මධ්‍යස්ථානය සිංහල ජාතිකයෙකු මිළයට ගන්නා බව තිරරචනය කර තිබුණා නම් වූව ද කතාවේ ගලා යෑමට එය බලපාන්නේ නැත. ඉතා වුවමනාවෙන් පෙන්නුම් කෙරෙන එම මුස්ල්ම් ජාතිකයා ගේ චරිතය තුළින් හැගවෙන දේශපාලනය කුමක් ද ?

‘‘ඉර මැදියම‘‘ චිත‍්‍රපටය මගින් LTTE ය විසින් මුස්ල්ම්වරුන් පිටමං කරන සිද්ධිය විවේචනය කරන ප‍්‍රසන්න විතානගේ මේ දිනවල ‘සිංහල බෞද්ධ‘ ජාතිවාදීන් විසින් ඔවුන්ට කරන කෙණෙහිළිකම් පිළිබඳ ව කිසිවක් නොපවසා සිටීම සැළකිය යතු කරුණකි.

මෙසේ විවිධ දෘෂ්ටි කෝණවලින් මෙම චිත‍්‍රපටය විවේචනය කිරීමේ දී ඔහුගේ තවත් එක් ස්ථාවරයක් ගැනත් සූක්ෂමව සලකා බැලීමට සිදුවේ. චිත‍්‍රපටය පුරාම දර්ශන සියල්ලම එක් පාක්ෂිකයෙකුගේ කෝණයකින් මෙන් කතාවේ එපිට සිට ඉදිරිපත් කර තිබේ. මෙය ඔහු තුළ තිබෙන නිර්මාණකරුවාගේ පසුතැවිල්ල ලෙස නම් කළ හැක. ‘‘මට කළ හැක්කේ මොනවාද? කල යුත්තේ එක්ව ගමන් කරන මගියෙක් මෙන් කරුණු පැවසීමයි‘‘ යන මානසිකත්වයෙන් ඔහු කරුණු ඉදිරිපත් කරයි. ෆැසිස්ට් පාලනයක ජීවත් වන ඔහුට මීන් එහා ක‍්‍රියා කිරීමෙි නිදහස නැත. ලාංකික ලේඛකයින් වන මංජුල වෙඩිවර්ධන, මහේෂ් මුණසිංහ ඒ වගේම දේශපාලන විචාරකයන් වන සුනන්ද දේශප‍්‍රිය හා රෝහිත භාෂණ යනාදී පිරිසට තමන්ගේ අදහස් දැඩි ස්ථාවරයක සිටිමින් ඉදිරිපත් කළ හැක්කේ ඔවුන් විදේශ ගත වී සිටින බැවිනි. මෙය ද සැළකිය යුතු කරුණකි. දමිළ නිර්මාණකරුවන්, ප‍්‍රසන්න විතානගේ ව විකල්ප හඩක් සේ සළකන්නේ එම නිසාය. එම විකල්ප හඩ බටහිර චිත‍්‍රපටි නිර්මාණ උපායන්ට බිළිවී ඇත, යන්න මා ඉදිරිපත් කරන විවෙිචනය යි.

කෙසේ වෙතත් අවසාන දර්ශනයේ දී ඔහු තුළ සිටින ධාර්මික කැරළිකරුවා ඉස්මතු වෙයි. තම ජාතිය නැසූ වන් සමග එක්ව හෝ ඔවුන් මත යැපීමෙන් ජීවත් විය නොහැක යන්නත්, ශ‍්‍රී ලංකා රජය විසින් දේශනා කරනු ලබන ප‍්‍රතිසංධානය පිළිබඳ අදහස් කෙතරම් ප‍්‍රායෝගික ද යන්නත් අභියෝගයට ලක් කරන දමිළ ජාතික කතක් වන සෙල්වී සියදිවි හානි කර ගැනීමට සලස්වයි.

මෙය පශ්චාත්තාපයෙන් පෙළෙන කලාකරුවෙකුගේ සංතාපයයි. ඔහුගේ හැගීම් අපට තේරුම් ගත හැක. ඒ සඳහා ඔහුව පැසසිය හැක. එහෙත් සිංහල ජාතිකයා සමග ජීවත් වන්නේ නැතිනම් වෙනත් අයුරකින් ජීවත් විය නොහැක යන අදහස ද මින් ගොඩ නැගේ.

ප‍්‍රසන්න විතානගේ තවත් පුළුල්ව සිතුවේ නම් සෙල්වී ව නොමරා ඇය සරත් ශ‍්‍රී ගෙන් වෙන් වී ඇගේ සිත් සේ තම නිජබිමෙහි ඇයට කෑමටත් විජෙයි ගේ සිංදු අසමින් සතුටින් ජීවත් වන්නට ඉඩහරින්න තිබුණි. කාව්‍යාත්මක අවසානයකට, ශෝකජනක විසදුමක් දීම අවශ්‍ය යැයි ප‍්‍රසන්න විතානගේ සිතුවා වන්නට පුළුවන. එසේත් නැත්නම් දේශපාලන හේතු තිබෙන්නට ඇත. එහෙත් ඇය තනිවම ජීවත් වීමට ඉඩහැරීමෙන් ද එවන් කාව්‍යාත්මක අවසානයක් දීමට ඉඩ තිබුණි. තවද එ ය තුන්වන ලෝකයේ රටවල් වල කාව්‍යාත්මක සෞන්ද්රය විදහා පාන අවසානයක වන්නට ද ඉඩ තිබුණි. එසේ කිසිදු දේශපාලන මැදිහත් වීමක් නොමැතිව ස්වයං චින්තනයෙන් ඔහු මෙම චිත‍්‍රපටය නි්රමාණය කර තිබේ. එමනිසා බටහිර චිත‍්‍රපටි විසින් තුන්වන ලෝකයේ කලාකරුවන්ගේ ආකල්ප කෙතරම් වෙනස් කරනු ලැබී ඇත්දැයි යන්නට කදිම නිදසුනක් වන්නේය.

120
ගෞතම් සිද්ධාර්ථන් | Gouthama Siddarthan

(පරිවර්ථනය – අජ්නබි)
##
Gouthama Siddarthan is a noted columnist, short-story writer, essayist and a micro-political critic in Tamil, who is a reputed name in the Tamil neo-literary circle. He can be reached at [email protected]