සිංහල, Colombo, Democracy, Featured Articles, Governance, Human Rights

මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ද්‍රෝහියෙක් ද?

රෝහිණී හෙන්ස්මාන්

කතෘ සටහන – ග්‍රවුන්ඩ් වීවිස් වෙබ් අඩවියෙන් උපුටා ගැනුනි.
‘ද්‍රෝහියෙකු යනු කවුරුන් ද? සාමාන්‍යයෙන් ද්‍රෝහියා යන පදය නිර්වචනය කෙරෙන්නේ සිය රට පාවා දෙන්නා යනුවෙනි. එහෙත් මෙම නිර්වචනය, පාවා දීම නිශ්චිතව ම සමන්විත වන්නේ කුමකින් ද යන ප්‍රශ්නය මග හරී. ශ්‍රී ලංකාව තුළ සිදු වුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ ගැන කතා කරන හෝ ලියන “ විශේෂයෙන් ම ඒවා ජාත්‍යන්තර ප්‍රජාව හමුවට ගෙන ගිය බවට චෝදනාවට ලක් වන “ පුවත්පත් කලාවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සම්බන්ධයෙන් මෑතක දී මෙම පදය යොදා ගෙන ඇත. එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසන් අදියරවල් ගැන ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් හමුවේ සාක්ෂි දීමට ඉදිරිපත් වූ නිසා සරත් ෆොන්සේකා විෂයෙහි ද එය යොදා ගැනිණ.

තර්කය වී ඇත්තේ, රුදුරු ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කිරීමට යත්න දැරීමේ දී ආණ්ඩුවට ක්‍රියාවේ පූර්ණ නිදහස තිබිය යුතු ය යන්න යි. ඒ අනුව, එකී පරමාර්ථය ලුහුබැඳ යාමේ දී ගනු ලබන කුමන හෝ පියවරක් සම්බන්ධයෙන් ආණ්ඩුව විවේචනය කිරීම ද්‍රෝහිකමක් හැටියට සලකනු ලැබේ. මන්ද, රටට එල්ල කරන ප්‍රහාරය පිළිබඳව චෝදනාවට ලක් නො වී පලා යාමට ඔවුන් රුදුරු ත්‍රස්තවාදීන්ට සහාය වන බැවිනි. මෙම තර්කය යොදා ගැනුණේ එල්ටීටීඊයට එරෙහි යුද්ධය අතරතුර දී පමණක් නො වේ. යුද්ධය අවසන් වූ පසුව ද එය යොදා ගැනිණ. අද දින රට මුහුණ දෙන තර්ජනය කුමක් දැයි හරියට ම පැහැදිලි නැත. එහෙත් රාජපක්ෂ පාලන තන්ත්‍රය පිළිබඳව කෙරෙන ඕනෑ ම විවේචනයක් හෝ එම තන්ත්‍රයේ බලයට එරෙහිව එල්ල වන ඕනෑ ම අභියෝගයක් රටට එරෙහිව ඉදිරිපත් වන තර්ජනයක් හැටියට දකිනු ලැබේ. එනයින් ඊට වගකිව යුතු ද්‍රෝහීන්ට එරෙහිව බලගතු පියවර ගැනීමට අවසර ලැබේ.

අඩු ගණනේ අප වසර විස්සක් ආ පස්සට ගිය හොත් අපට දක්නට ලැබෙන්නේ මීට බෙහෙවින් ම සමාන දසුනකි. රාජ්‍යය, එවක රුදුරු ත්‍රස්තවාදී සංවිධානයක්ව පැවති ජවිපෙට එරෙහිව සටන් වදිමින් සිටී. එසේ කිරීමේ දී ආණ්ඩුවට ක්‍රියාවේ පූර්ණ නිදහස වුවමනා විය. ප්‍රතිඵලය වූයේ, වග විභාගයක් නැති අත් අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්, වධබන්ධන පැමිණවීම්, බලාත්කාරී අතුරුදන් කිරීම් සහ අධිකරණ තීන්දුවලින් බැහැරව සිදු වුණු ඝාතන ය. එජාප ආණ්ඩුව ද එවකට බලයේ සිටි ජනාධිපතිවරයා ද විවේචනය කිරීමට ඉදිරිපත් වූ සියල්ලෝ මේ ඉරණමට මුහුණ පෑහ. කිසිදු අධිකරණමය ක්‍රියාවලියකින් තොරව අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් අත් අඩංගුවට ගෙන ඝාතනය කරන ලදහ. මාධ්‍ය නිදහස ද මානව අයිතීන් ද ප්‍රජාතන්ත්‍රවාදය ද මාරක ප්‍රහාරයකට ලක් විය.

මෙම යුද අපරාධ පිළිබඳව තොරතුරු එක්රැස් කළේ යැයි ද ඒවා ජාත්‍යන්තර ප්‍රජාව හමුවට ගෙන ගියේ යැයි ද එම අපරාධවලට වගකිව යුතු ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කළේ යැයි ද චෝදනාවට ලක් වුණු ‛ද්‍රෝහියෝ’ එවක ද සිටියහ. ඒ වන විට විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයෙකුව සිටි, එවැනි සාක්ෂි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට ගෙන ගිය මහින්ද රාජපක්ෂ ද ඔවුන්ගෙන් එක් අයෙක් විය. මානව අයිතීන් ආරක්ෂා කිරීම උදෙසා ඕනෑ ම දුරක් යන්නට තමන් සූදානම් යැයි ඔහු පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ ය. මානව හිමිකම් රැකීම සඳහා ආධාර දෙන්නැයි ඔහු ආධාර දෙන ආයතනවලට ද කැඳවුම් කළේ ය! මෙය ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට එල්ල කළ දරුණු පහරක් ද? ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදිමින් සිටි පාලකයන් පාවා දුන් පිළිකුල් සහගත නීච ක්‍රියාවක් ද?

මහින්ද රාජපක්ෂ ඉතා ම ව්‍යක්ත ලෙස එවැනි චෝදනාවලින් ආරක්ෂා වී ගත්තේ ය. තමන් කළේ තම රටට තිබෙන ආදරය නිසා තමන් කරමින් සිටි දේ ම යැයි ඔහු කියා සිටියේ ය. මෙම ප්‍රකාශය නිසා අපි බොහෝ දෙනෙක් ඔහු කෙරෙහි සානුකම්පික වූයෙමු. සත්‍යය තහවුරු කොට, රාජ්‍ය ත්‍රස්තයට ගොදුරු වූ අහිංසකයන් වෙනුවෙන් සාධාරණත්වය උදෙසා සටන් වැදීම රටට ආදරය කළ අප සියල්ලන්ට ම අත්‍යවශ්‍ය කළ සදාචාරාත්මක පියවරක් බවට අපි ඔහු සමග එකඟ වූයෙමු.

ආපසු වර්තමානයට එමු. මහින්ද රාජපක්ෂට සහාය දෙන අය දැන් ඔහුගේ ඉතිහාසය අප්‍රමාදව ග්‍රහණය කර ගත යුතු ය. සත්‍යය හෙළිදරව් කරන පුවත්පත් කලාවේදීන් සහ රාජ්‍ය ත්‍රස්තයේ ගොදුරු බවට පත් අහිංසකයන් වෙනුවෙන් සාධාරණත්වය දිනා ගැනීමට වැර දරන මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ‛ද්‍රෝහීන්’ වන්නේ නම්, තම අන දෙන නිලධාරියාව සිටි තැනැත්තා යුද අපරාධවලට වගකිව යුතු යැයි ‛සැල කිරීමට’ ඉදිරිපත් වීම නිසා සරත් ෆොන්සේකා ‛ද්‍රෝහියෙකු’ වන්නේ නම් මහින්ද රාජපක්ෂ ද කෘතහස්ත ‛ද්‍රෝහියෙක්’ වන්නේ ය. එබැවින් ඔවුන් ඔහුට සහාය නො දිය යුතු ය. අනෙක් අතට, විසි වසරකට පමණ පෙර ශ්‍රී ලංකාව තුළ ද ජාත්‍යන්තර ප්‍රජාව අතර ද මහින්ද රාජපක්ෂ සටන් වැදුණේ මානව හිමිකම් උදෙසා සහ යුද අපරාධවලට එරෙහිව නම්, අපගේ රට තුළ සත්‍යය, සාධාරණත්වය සහ යහපාලනය වෙනුවෙන් සටන් වදිමින් සිය ජීවිත අවදානමෙහි හෙළා ගත් පුවත්පත් කලාවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂා කරන්නන් රටට ආදරයෙන් යුතුව දැරූ ඊට සමාන පරිශ්‍රමයන් ද ඔවුන්ගේ පිළිගැනීමට ලක් විය යුතු ය.

සරත් ෆොන්සේකා මෙහි ලා සුවිශේෂ උදාහරණයක් වේ. මන්ද, ඔහු ද යුද අපරාධ කරන්නට ඇතැයි විශ්වාස කිරීමට ඇති තරම් හේතු පවතින බැවිනි. එහෙත් ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේත් ඔහුට එරෙහිව නඩු පවරා ඇත්තේත් එම චෝදනාව මත නො වේ. එවැනි නඩු විභාගයකින් ඔහුගේ හිටපු ප්‍රධානීන් කළ යුද අපරාධ පිළිබඳ සාක්ෂි ද එළිමහනට එනු ඇත යන පැහැදිලි හේතුව මත ය. පදනම් විරහිත චෝදනා ඔහුට එරෙහිව දමා ගසනු ලැබුණේ ඔහු අත් අඩංගුවට ගැනුණු විට ය. ඒ චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නොතිබුණු බැවින් ද ඒවායින් වැඩිමනත්ව කරුණු කියැවුණේ ඔහු ගැන නො ව ඔහුට චෝදනා කළවුන් ගැන ම බැවින් ද පසුව ඒවා අත් හැර දමන්නට සිදු විය. (ජනාධිපතිවරයා මෙන් නො ව) එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ සංග්‍රාම භූමියේ දී තම සොල්දාදුවන්ට නායකත්වය දීම සඳහා ඔහු සිය ජීවිතය පරදුවට තබා තිබුණු තතු යටතේ ඔහුට ‛ද්‍රෝහියෙකු’ යැයි චෝදනා කිරීම විශේෂයෙන් ම අරුමයක් සේ පෙනී යයි. විශේෂයෙන් ම ඔහු කළ ‛පාවා දීම’ වනුයේ මහින්ද රාජපක්ෂ අතීතයේ දී කළ දේ කිරීමට ඉදිරිපත් වීම නම් එය එලෙස අරුමයක් සේ පෙනී යයි!

තතු මෙසේ නම් ද්‍රෝහීන් කවුරුන් ද? සත්‍යය සහ සාධාරණත්වය උදෙසා සටන් වදින්නන් ද? නැත් නම් වගකීම් සහගත භාවයකින් (වගවීමකින්) තොරව බලය පාවිච්චි කරන්නන් සහ උන්ගේ සපත්තු ලොවමින් ඉච්චා බස් තෙපලන්නන් ද? අපගේ රටට ආදරය කරන මිනිසුන් කවුරුන් ද? මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පාගා මඩින්නන් ද? නැත් නම් අපගේ ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ නිදහස උදෙසා අරගල කරන්නන් ද? ඔබගේ නිර්වචනය කුමක් වුවත් අඩු ගණනේ එය ස්ථිරසාරව පවත්වා ගෙන යන බවට සහතික වන්න!