මාළඹේ, දහම් මාවතෙහි පවත්වා ගෙන ගිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරන ලද්දේ අද(30) වැනි දිනකය. ඒ 2011 ජනවාරි 30 වනදා අලුයම ය. එවකට ලංකාවේ පාලනය හෙබවූයේ පසුගිය ජනවාරි 8වනදා අරලියගහ මැදුරේ සිට කාල්ටන් නිවසට පලා යන්නට, කොන්දක් ඇති ලාංකීය පුරවැසියන් විසින් මග පෑදූ, ෆැසිස්ට් පාලනයක් ගෙන ගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. ඊ නිව්ස් ගිණි තැබීම ඇතුලු මාධ්‍ය වේදීන් ඝාතනය, පහරදීම්, බිය වැද්දීම් විශාල සංඛ්‍යාවකට වගකිවයුතු ආණ්ඩුවක් වූ රාජපක්ෂ ආණ්ඩුව දැන් පුරවැසියන් විසින් පරාජය කර තිබේ. දැන් ඇත්තේ නව පාලනයකි. ඔවුන් බලයට පැමිණියේ යහපාලනය ඇති කිරීමට ජනතාව හමුවේ පොරොන්දු දෙමිනි. දැන් එයට කාලයයි. ලංකා ඊ නිව්ස් ඇතුලු, මාධ්‍ය ආයතනවලට,මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය සේවකයින් මත මුදාහල මර්දනය සහ ඒ මර්දනය සිදුකල පුද්ගලයින් හෙළි කර ඒ අපරාධ කරුවන් නීතිය ඉදිරියට පැමිණවීමට කාලයයි. එබැවින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයන් සිදුකර අපරාධකරුවන් හෙළි කරන්න!


පහත පළවන්නේ 2011 ජනවාරි 30වනදා ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිණි තැබීමෙන් පසු, එවකට ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රෑපසිංහ මහතා දැක්වූ අදහස් අප විසින් ‘විකල්ප‘ තුළ පළ කලේය. එය නැවත අප මෙහි එය පළකරන්නේ එවැනි ජනවාරියකට තිත තබනු පිණිස ය.

Benat

“අපේ ආයතනය ආරම්භ කරලා අවුරුදු 05 ක් වෙනවා. අපි ලොකු තර්ජන මැදින් තමයි මේ ආයතනය පවත්වාගෙන ගියෙ. ඊයේ රාත්‍රියෙ 1.30ට පමණ කිසියම් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල්වෙලා අපේ සියළුම උපකරණ පරිගණක යන්ත්‍ර, පොටෝ කොපි මැෂින්, ෆැක්ස් මැෂින්, කැමරා ඒ සියල්ල විනාශ කරලා තියෙනවා. කිසිම දෙයක් ඉතුරු කරලා නැහැ. අපේ පොත් එකතුවක් තිබුණා අවුරුදු 100 ක් 200ක් විතර පරණ පොත් සමහර පොත් පුස්තකාලවලවත් හොයා ගන්න බැහැ. ඒ සියළුම දේවල් විනාශවෙලා තියෙනවා. ඒවයෙ වටිනාකම අපිට තක්සේරු කරන්න පුළුවන් කමක් නැහැ.’’

‛‛ජනවාරි කියන්නෙ අවුරුද්දෙ ආරම්භක මාසය. ආරම්භක මාසයේ මොකක් හරි ආරම්භ කරලා මේ මාධ්‍ය මර්ධනය කිරීම සඳහා වන සැලැස්මක් තමයි පසු ගිය අවුරුදු ගාණක් පුරා මේ රටේ ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ. අපි ඒකෙදි බොහොම දුක් විඳලා, පීඩා විඳලා තියෙනවා. රැකියා පවා නැතිවෙලා තියෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්න නම් මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න ඕනෙ. මාධ්‍ය නිදහස ආරක්ෂා නොවෙන තැනක අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අද කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන, මාධ්‍ය නිදහස ගැන, මිනිස් අයිතිවාසිකම් ගැන. නමුත් මං අහන්න කැමතියි මේවා පිටිපස්සෙ ඉන්න පිරිසගෙන් මේ මාධ්‍යට කරන හිරිහැර තුළින් අළුත් මාධ්‍ය සංස්කෘතියක් බිහිකරන්න යනවාද කියලා. ”