මේ රහස් කවුළුවෙන් එබෙමින් මෙම නවකතාවේ කථකයා පාඨකයා වෙත නරඹන්නට සලස්සවන්නේ කුමක්ද ? චිත්‍රපටයක තිර පිටපතක් සේ දිග හැරෙන මෙම නවකතාව කියවමින් යන විට පාඨකයා හට තමා නවකතාවක් කියවමින් සිටින්නේද එසේත් නොමැති නම් තමා චිත්‍රපටයක් නරඹමින් සිටින්නේද යන පැනය නැගෙන තරමට එය සීරුවෙන් ගෙත්තම් කිරීමට කෞශල්‍ය කුමාරසිංහ දක්වා ඇති කුසලතාව ඉතා විශිෂ්ඨය. සැබවින්ම ඔහු රහස් කවුළුවෙන් එබෙමින් අපට කියනා කතාව කුමක්ද? සැබැවින්ම ඔහු මෙහිදී පොත කියවන්නාට තමාව ම සම්මුඛ කිරීමට සලස්සවා ඇත. පොතේ පසු කවරයේ අශෝක හදගම තබා ඇති කෙටි සටහන ඒ පිළිබදව දක්වා ඇත.

“තමන්ගේම ප්‍රතිබිම්බය දැක්කම බය හිතෙනවනම් මේ පොත නොකියෙව්වට කමක් නෑ.” – අශෝක හදගම

මන්ද අප සමාජයේ බොහෝ දෙනා තමන්ට තමන්වම සම්මුඛ වනවා දැකීමට දක්වන්නේ බියකි. මන්ද ඔහු ඉන් තිගැස්මකට ලක් වන නිසාය.

කෞශල්‍ය කුමාරසිංහ
කෞශල්‍ය කුමාරසිංහ

මෙම නවකතාව ආමන්ත්‍රණය කරන්නේ තරුණ පරපුරටය. මෙහෙදී ආමන්ත්‍රණය යනු කියවීමට යෝජනා කිරීමක් නොව කතුවරයා තමන්ගේ පරපුර සහ ඊට සමකාලීන තරුණ ප්‍රජාව අත්වින්දා මෙන්ම අත්විදිමින් පවතින්නාවූ සමාජ යතාර්ථය නැවත පාඨකයා වෙත පෙළ ගස්සවා තිබේ. ඔහු එය සියලු සමාජ සංකලනයන්ගේ එකතුවක් ලෙස ගොඩනගා ඇත. එය එක් පසකින් ඔහුගේ පරම්පරාවට කෙළ වී ඇති ආකාරය දක්වා තැබීමක් වැනිය. එක් එක් සමාජ පංතීන් එයට මුහුණ දුන් ආකාරය ඊට ගොදුරු වූ ආකාරය සහ එය අවසානයේ එය ඛේදවාචකයක් වූ ආකාරය විවිධ වූ පුද්ගල චරිත හරහා කෞශල්‍ය විසින් පාඨකයා වෙත ඉදිරිපත් කොට තිබේ.

මෙම කෘතියේ යටි පෙළ ඉතා ගැඹුරු දේශපාලන සමාජ කියවීමක් ගැබ් කොට ඇති ආකාරය අපට දැකිය හැකිය. එකම පන්ති සටන තුලදී දකුණේ තරුණයා, උතුරේ තරුණයා මගහැරීම මෙන්ම දකුණේ අරගලකරුවා, උතුරේ අරගලය දකින ආකාරය හා ඊට ගැබ් වී ඇති බෞද්ධ කියවීම මෙහෙදී ප්‍රශ්න කිරීමකට ලක් කොට තිබේ. නමුත් දකුණේ තරුණ පරපුරට මග හැරුණු යතාර්ථය වන්නේ විශේෂයෙන් තම අරගල වලදී උතුරේ තරුණයන් සේම තමන්ටද රාජ්‍ය බෙදන ලද්දේ එකම හැන්දෙන් බවය. මෙය අප හොදින්ම අත් විදින ලද සත්‍යයක් මුත් සෑම විටකදීම සිංහල සමාජයට දෙමළා යනු අනෙකෙකි.

“මොකද මහ ලොකු සිංහල බෞද්ධ ගෑනිට හිටි ගමන් කොටි ගෑනු මතක් වුනේ.”
(පිටුව 164)

මේ රහස් කවුළුවෙන් එබෙන්න
මේ රහස් කවුළුවෙන් එබෙන්න

තවද මෙම නවකතාව හරහා පිරිමයා සතු ගැහැණිය සම්බන්ධ වන සම්ප්‍රදායික මතවාදයද සුණු විසුණු කිරීමට කෞශල්‍ය සමත් වී ඇත. එනම් විශේෂයෙන් විවාහික ජීවීතය තුල බොහෝ පිරිමින් බලාපොරොත්තු වන්නේ තමන් කුමන දේ කළද තම බිරිද රාමායණයේ සීතා මෙන් සිටිය යුතු බවය. මෙය නවකතාවේ ‘තිවංක‘ මෙන්ම ‘අසී‘ යන චරිත දෙක හරහාම අපිට දැකිය හැකි තත්වයකි. මෙම සම්ප්‍රදායික පටු කියවීම උඩු යටිකුරු කරමින් මෙම නවකතාවේ අවසානයේදී ඔවුන් එකම තැනකදී මුණ ගස්සමින් මෙම සම්ප්‍රදායික ආකල්ප පුපුරවා හැරීමට කතුවරයා සමත් වී තිබෙන බව කිව යුතුය.

මේ රහස් කවුළුවෙන් එබෙන්න හරහා කෞශල්‍ය කුමාරසිංහ අපට සියලුම ආකාරයේ මිනිසුන් ගැහැණුන් හරහා පවතින සමාජය සමස්ථයක් ලෙස කියවීමකට ලක් කර තිබීමත් අපි රටක් ලෙස අත් විදිනු ලබන සමාජ යතාර්ථය අපටම නැවත ප්‍රතිබිම්බයක් ලෙස පෙන්වීමට සලස්සවමින් නැවත මේ සමාජ ක්‍රමය පිළිබද සිතන්නට යෝජනා කරනු ලබයි. අප සමාජයේ පසුගාමිත්වයට එක් හේතුවක් වන්නේද සමාජය ප්‍රශ්න කිරීමකට ලක් නොකොට එය තුල පෞද්ගලික ජයග්‍රහණ උදෙසා ජීවත් වෙමින් පවතින සමාජය තව තවත් කුණු වලටම ගමන් කරීමය.

කෞශල්‍ය කුමාරසිංහ ගේ මෙම කෘතිය මෑතකදී පලවූ නවකතා අතරින් සුවිශේෂී වන්නේ ඉහතදී සදහන් කල ලෙසම මෙය ඔහු විසින් ඔහුගේ පරම්පරාවේ සමාජ යතාර්ථය ගොනු කොට ඇති නිසාය.

Kasun Fernandoකසුන් ප්‍රනාන්දු | Kasun Fernando