අපි සියල්ලටම මුහුණ දීමට සිදුවන මූලික සත්‍යයක් තිබේ. එනම්, අපි හිතන සහ ප්‍රාර්ථනය කරන දේවල් ඒ ආකාරයෙන්ම නොලැබීමයි. මෙහි සාන්ද්‍රණය වැඩි වීම (එනම් නොලැබීම හෝ ලැබීම වැඩිවීම) පුද්ගලයාගේ පෞද්ගලිකත්වය සහ එහි ස්වභාවය තීන්දු කරනු ලබයි. ඇතැමෙකු රෝගී වීමටත්, තවකෙකු අනෙකා කෙසේ හෝ රවටා තමන්ගේ පෞද්ගලික පැවැත්ම තහවුරු කරගන්නා “කෛරාටකයෙකු” වීමටත්, සියලු විගඩම් දැක ජීවිතයේ සුඛ අත්හරින්නෙකු වීමටත් ආදී වශයෙන් එක් එක් පුදගලයාගේ සාරූප්‍යය තීන්දු කිරීමෙහිලා මෙම මූලික කාරණය ප්‍රභල බලපෑමක් කරනු ලබයි.

මෙය ශ්‍රී ලංකාවේ සිනමාවට ආදේශ කරගන්නේ කෙසේද? ශ්‍රී ලංකාවට ආවේණික වූ සිනමාවක් තිබේද? රේඛාව, නිධානය ඔස්සේ පැමිණ පුරහඳ කළුවරින් නැවතී හිස්බඩ පිරෙනතෙක් හුස්මක්ගෙන ඉනිවන් ඔස්සේ අබා හරහා සිරි පැරකුම් දක්වා ගමන් කරමින් බොහෝ දෙනෙකුට බොහෝ දෑ මෙන්ම විචාර ඉදිරිපත් කළ හැකිය. මෙම සියලු කාරණා තුළ ඇති මූලික සත්‍යය වූ කලී, මෙරට සිනමාව, මුදල් ඉපයීමට සමත් නොවූ, නිර්මාණකරුවන් ණයකාරයින් බවට පත්කොට, මූලික කල්ලිවාදයක් වෙතට තල්ලු වී ගිය ක්ෂේත්‍රයක් බවට පත් වූ බවය. ගැටලුව ඇත්තේ ජැක්සන් දේශපාලන බලය ඇත්තා හමුවේ තම නිර්මාණකරණය යෙදීම නොව, ඔහුට එලෙස කිරීම සඳහා සකස්වී ඇති සමාජ ව්‍යුහයය. එය ජැක්සන් වැනි අති දක්ෂ නිර්මාණකරුවෙකුගේ ගැටලුවක් නොව, අපි සියලු දෙනාගේම පොදු ගැටලුවකි. මැක්සිම් ගෝර්කි අම්මා ලියන විට රාජ්‍යය අනුග්‍රහය ලැබීමටත් ඇලෙක්සැන්ඩර් සොල්ස්තිනේස්තින් තම නිර්මාණ සිතේ තබා ඒවා අමතක වීමට පිස්සු නොහදන ලෙස දෙවියන්ගෙන් ඉල්ලීමටත් මූලික හේතුව, මෙම පොදු ගැටලුවේ ඇති සංකීරණය තේරුම් ගැනීම සඳහා ඉවහල් වේ.

මෙරට සිනමාවේ ආවේණිකබව ගැන කතා කරන බොහෝ දෙනෙකු මෙන්ම, එහි නිර්මාතෘවරුන් ලෙස කිරුළු පැළඳ සියලුම දෙනාම පාහේ, තම සිනමා කෘතියෙන් ඔබ්බට ගමන් කොට, වෙනත් නිර්මාණකරුවෙකුට මාර්ගය පෙන්වා දෙන්නේ කෙසේද යන්න, සිහිනෙන්වත් සිතුවේද යන්න සැක සහිතය. නිර්මාණකරණය වැනි විශ්වීය විෂයක් ඉතා කුඩා පෞද්ගලික බූදලයක් බවට පත්වීම නමැති ව්‍යාකූල තත්වයට මෙම ක්ෂේත්‍රය පත් වී තිබේද යන මූලික ගැටලුව තිබේ. මෙම මූලික පරිපාලනමය ගැටලුවෙන් පසු, අශෝක හඳගම මහතා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ “ඇගේ ඇස ඇග” [ ලෙට් හ(ර්) ක්‍රයි ], චිත්‍රපටය ගැන මට හිතෙන දේ ලිවීමට අදහස් කළෙමි.

හඳගම වූ කලී නිර්මාණකරුවෙකි. ඔහුට හිමි සියලු කුසලතා පසෙකලා ඔහු ඔහුට ප්‍රකාශ කිරීමට ඇති දේ වාරණයකින් “තොරව” ඉදිරිපත් කිරීමට ඇති ශක්තිය ගැන අගයකළ යුතුය. ශ්‍රී ලංකාවේ සමාජය තුළ “ මිනිස් නිරුවත” යනු වාරණයෙන් තොර සාධකයක් වන්නේ එක්කෝ අඳුරේදීය, නැතහොත් වෙස්මුහුණක්දාගෙන සිටින විටදීය. මෙය බොහොමයක් සමාජ ප්‍රශ්න කතා කිරීමට ඇති අවකාශය හකුලා ඇත. මුහුණුපොත, යු-ටියුබ් වැනි සමාජ ජාල එම විශාල හිඩැස පුවරමින් සිටින්නේ මේ නිසාය.

මූලික වශයෙන් හඳගමගේ සිනමාවේ දැක ගත හැකි කාරණය වූ කලී, පුරුෂ ආශාව තුළ සොයන ස්ත්‍රීය සහ ස්ත්‍රී ආශාව තුළ සොයන “විෂය හෝ වස්තුව” ( මෙය පුරුෂයෙකුම විය යුතු නැති බව හඳගම මීට පෙර පෙන්වා දී ඇත) ගැන තම නිර්මාණය නාභිගත කිරීමය. ඇගේ ඇස අග, තුළින්, ස්ත්‍රී ආශාව විසින් සොයන පුරුෂයා ගැන ඔහු අවංකව අවදානය යොමු කළේද යන්න සැබවින්ම ගැටලුවකි.

ආශාවේ මීළඟ පියවර සෙවීම, සෙවීමෙන් පසු විඳීම, විඳීම අරක්ගෙන ඇති භීතිය, භීතිය විසින් තනන විඳවීම, විඳවීම් විසින් නිර්මාණය කරන විසිවීම/ චෝදනා, විසිවීම/චෝදනා විසින් යලි මුලට එනම් ගමන පටන් ගත් තැනට තල්ලු කිරීම ආදී වශයෙන් වූ හඳගමගේ සිනමාව ( නිර්මාණ කලාව) රවුමකි. සංසාරය මූලික කරගත්, බෞද්ධ විමසීම තුළට ඇති නැඹුරුව නිසා ඔහුට මේ තත්වය උදා වී ඇත්තේද, නොඑසේනම් සිග්මන් ෆ්‍රොයිඩ් තම ජීවිත කාලයේ අවසානයේ ඇසුවේ යැයි කියන සුප්‍රකට ප්‍රශ්නය එනම්, “ගැහැණියට ඇත්තටම ඕන මොකද්ද?” නමැති මූලික ගැටලුව තුළ සිරවීම තම නිර්මාණවල පදනම සකස් කර තිබේද යන්න, හඳගමගේ නිර්මාණ දෙස බැලීමේදී මතුවන මූලික අභියෝගාත්මක කාරණය වේ.

කෙසේ වෙතත්, එක් මූලික කාරණයක් පැහැදිලිය. එනම්, හඳගම තම නිර්මාණ වලින් යලි යළිත් ලෝකයට ලබාදෙන පණිවිඩය, ඔහු එක් මූලික ගැටලුවක සිරවී සිටින අයෙකු බව පෙන්වීමය. එම අවංකකම සමාජයට ආදේශ කොට තේරුම් ගැනීමට හෙතම උත්සහ දරනු ලබයි. නිර්මාණකරුවෙකු සතු මූලික ජීව ගුණය එයයි.

එම මූලික ගැටලුවට පිළිතුරු ලැබීම ප්‍රමාදවන තාක් දුරට තව තවත් නිර්මාණ ඔහුගෙන් බිහි වනු ඇත. ඔහු එම මූලික ගැටලුවට පිළිතුරු සොයා ගත් මොහොත උදා වන්නේද, හෙතම අදාළ විෂය පදනම් කරගත් නිර්මාණ බිහි කිරීමෙන් වැළකී සිටීමට බොහෝ දුරට ඉඩඇත. පිළිතුරු සොයා ගැනීමට අවංකව වෙහෙසෙන පුද්ගලයෙකු මුහුණ දෙන මූලික සත්‍යය එය යැයි සිතේ. මේ නිසා, ඝෝර සත්‍යය එලෙසින්ම ඇතුළු කිරීමට එකී නිර්මාණකරුවා යොමුවීම අගයකළ යුතු කාරණයකි. මේ නිසා රේඛාවක් ලෙස නම් කරමින්, රවුමක් ගැන නිර්මාණයේ යෙදීම මෙහිදී දැක ගත නොහැකිය. ඒ නිසාම, මෙම නිර්මාණ, ප්‍රේක්ෂකයාගේ පෞද්ගලික ජීවිතයට තට්ටු කිරීමට වඩාත් ප්‍රභල හැකියාවක් ලබා ගනී.

ඇගේ ඇස අග තුළින් හඳගම, හදවතේ ගැස්ම වැඩිකර ඇත්තේ කාගේද? විමසා බැලිය යුතු මූලික කාරණය එය යැයි සිතේ. මෙය වෙනත් චිත්‍රපටයක කොපියක් නොවන බව පළමුව මතක් කළ යුතුව ඇත. එවැනි මට්ටමට මෙම නිර්මාණය දැමිය යුතු නොහේ.

චිත්‍රපටයට යොදා ඇති සිංහල නම සහ ඉංග්‍රීසි නම අර්ථ දෙකක් සපයනු ලබයි. මාතෘකා දෙකේ මූලික නොගැලපීමක් තිබුනද, එය ඔහු හිතා මත සිදු කළේද නොඑසේනම් භාවිතයේ හෝ විකිණීමේ පහසුව සඳහා සිදු කළේද යන්න ඔහු දන්නා කාරණයකි. නමුත්, කදිම කාරණය වූ කළේ, රිතිකාගේ ( ශිෂ්‍යාව) චරිතය මූලික කරගෙන සිතන විට “ඇගේ ඇස අග” වෙතට පිවිසීමටත්, ස්වර්ණාගේ ( මහාචාර්යතුමාගේ බිරිඳ) චරිතය මූලික කරගෙන සිතන විට, ලෙට් හ(ර්) ක්‍රයි වෙත පිවිසීමටත් හැකි වීමය.

චිත්‍රපටයේ මූලික චරිතය රිතිකාට වඩා, ආක්‍රමණය කොට ඇත්තේ, ස්වර්ණා බව ඒ ගැන නැවත සිහිපත් කිරීමේදී හඳුනාගත හැකි කාරණයකි. අනෙකුත් මූලික චරිත දෙක මහාචාර්යවරයා සහ ඔහුගේ ශිෂ්‍යාව මෙහි උපචරිත වේ. එසේම, මහාචාර්යවරයාට වඩා කසාදයෙන් පසු නිවසට වී, විවේකී වේලාවට පන්සල් යන, මහාචාර්යවරයාගේ බිරිඳ, බුද්ධිමත් සහ ප්‍රායෝගික චරිතයක් බව පෙන්වීමට උත්සහ දරන සැටියෙකි. ස්ත්‍රීයකට ස්ත්‍රියක් තේරුම් ගැනීමට හැකිබව පෙන්වා අවසාන මොහොතේදී එලෙස තේරුම් ගැනීමට ඉඩදුන් නිදහස හෙණයක් වැදුණු විලාශයෙන් විනාශකරමින්, එය කෙතරම් දුරට ප්‍රචණ්ඩ විය හැකිද යන්න, පෙන්වීම සඳහා වෙනත් කාන්තාවක් ඇයගේ ස්වාමිපුරුෂයාගේ අනියම් “පෙම්වතියට” සිදු කරන පහර දීම යොදා ගනී. ඒ සඳහා, හඳගමට, නව සිදුවීමක් ප්‍රාදුර්භූත කිරීමට සිදුවන්නේ, චිත්‍රපටය පුරා පෙන්වීමට උත්සහ කරන සිදුවීම රැඩිකල් වෙනසකට යොමු කිරීමට නොහැකි හෙයින් විය හැකිය.

කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් මෙරට සමාජයට ආගන්තුක දෑ වන්නේද? කිසිසේත්ම නැත. සමස්ත සමාජය තුළ දැකගත හැකි මූලික ගැටලුවක් වන මෙමඟින් පුද්ගලික ව්‍යාකූලතාවය සහ සම්ප්‍රදායික ව්‍යුහීය පවුල් ක්‍රමයට සිදුකර ඇති බලපෑම කෙතරම්ද යන්න විස්තර කරනු ලබයි.

හාස්‍යයජනක මෙන්ම, අදහගැනීමට නොහැකි කාරණය වූ කලී, අදාළ මහාචාර්යවරයා සහ ඔහුගේ විශ්වවිද්‍යාලය මෙන්ම අනෙකුත් සිසුන් ගැන අවදානය යොමුකිරීම මුළුමනින්ම පාහේ මඟහැර තිබීමය. එය, අදාළ කාරණයේ මූලික පරිධිය තේරුම්ගැනීමට ඇති ඉඩ අහුරුවාලීමක් යැයි සිතේ. මන්ද, ශිෂ්‍යාවගේ “ආදරය” නිර්මල එකක් බව පෙන්වීම සඳහා නිර්මාණකරුවා, ප්‍රේක්ෂකයාට ලබා දෙන්නේ ඉතා කුඩා ඉඩ ප්‍රමාණයකි. එනම් ඇයගේ ( ශිෂ්‍යාවගේ) පැහැදිළි කිරීම් පමණි. ඒ වෙනුවට, කිසිඳු අර්ථයක් දීමට සමත් නැති මහාචාර්යවරයාගේ දියණිය චිත්‍රපටයේ සැලකිය යුතු කාලයක් අරක්ගෙන තිබේ.

මෙරට, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති මෙවැනි “ප්‍රේම සම්බන්ධතා” බොහොමයක් ඇතිවන්නේ, විභාග හෝ උපාධියේ ලකුණු මූලික කරගනිමිනි. එය මීළඟ පියවරට ගමන් කිරීමේදී, දැකගත හැක්කේ මෙවැනි දෑ, තම රැකියාව බේරා ගැනීමට සහ රැකියාවේ උසස්වීමක් ලබා ගැනීම සඳහා ඇතිකරගන්නා දෑ බවය. එම සියල්ලක්ම බාහිර පෙනුමින් ඉතාම පාරිශුද්ධ ප්‍රේමනීය සම්බන්ධතාය. නමුත්, සත්‍යය ඇත්තේ වචනවලට සහ රඟපෑම් වලට බොහෝ ඈතින්ය.

කෙසේවෙතත්, මේ සියලුම විමසීම් පසෙකලා, ඇගේ ඇස අග, තුළින් හඳගම ලබාදීමට උත්සහ කරන මූලික පණිවිඩයක් තිබෙන බව පෙනේ. එනම්, ඔහු සොයන පරමාදර්ශී ස්ත්‍රීයක් සිටින බවත්, එම ස්ත්‍රීය සොයමින් ඔහු ඉබාගාතේ හෝ සිහිනුවණින් හෝ බීමත් වී වෙරිමතින් එහා මෙහා ඇවිදයන බවය. සොයන ස්ත්‍රීය නොසිටින සමාජයක, හමුවන ස්ත්‍රීය මාර්ගයෙන් සොයන ස්ත්‍රීය ගැන ප්‍රකාශකිරීම සඳහා උපරිම වෙහෙස දැරීමට උත්සහ දරන්නෙක් වීමට හඳගමට සිදුවී තිබේද? යන්න, ඇගේ ඇස අග, හමුවේ පතිත වී ඇති මූලික ගැටලුව වේ.

මෙම තත්වය හමුවේ, හඳගමට, මෙක්සිකෝවේ දින කිහිපයක් ගතකොට, එහි දේශ සීමාවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වී, හොලිවුඩ් වෙතට ගමන් කිරීමේ හෝරාව උදා වී ඇතැයි සිතේ. ඒ හැරෙන්නට තමන් සොයන ස්ත්‍රීය නොමැති සිනමාකරුවාට සිදුවන්නේ, සිහිනෙන් විඳින නමුත් සැබෑව තුළ විඳවන මහාචාර්යවරයාට සිදුවූ අකරදැබ්බයට මුහුණ දී තම බිරිඳ පසුපසින් පන්සල් යෑමටය.

nilantha-profileනිලන්ත ඉලංගමුව