මහත් උනන්දුවෙන් සහ කුතුහලයෙන් යුතුව බලා සිටි කෝප් වාර්තාව (රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ඉන් අනතුරුව ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කොට තිබේ. ඉතා හොඳින් කරුණු සළකා බැලීමෙන් පසුව, සාරානුකූල වාර්තාවක් ඉදිරිපත් කිරීම ගැන කෝප් කමිටුවටත්, විශේෂයෙන් එහි සභාපතිවරයාටත් ප්‍රශංසාව හිමි වෙයි.

පෙර නොවූ විරූ තරමේ අති විශාල ලාභයක් අත්කරගෙන ඇති ‘පර්පෙචුවල් ටේ‍රෂරීස්’ නැමැති සමාගමට වාසි වන ආකාරයෙන් ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර නිකුතුවේ ලංසු තැබීමේදී හිටපු මහ බැංකු අධිපතිවරයා කටයුතු කර ඇති බවට නැගුණු චෝදනාව සම්බන්ධයෙන් විවිධ අය තුළ පවතින එකිනෙකට විරුද්ධ බැඳියාවන් සහ ඔවුන් විසින් ගනු ලැබූ ආස්ථානයන් නිසා, එම සිද්ධිය ගැන විමර්ශනය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවුණි. මේ කාරණය ගැන මීට කලින්ද පරීක්ෂණ දෙකක් කෙරී තිබේ. මෙවර කෝප් වාර්තාව තුළ ඇතැම් එකඟ නොවන කරුණු සම්බන්ධයෙන් සමහර සාමාජිකයන්ගේ අත්සන්වලට යටත් පාද සටහන් යොදා තිබුණත්, සමස්තයක් වශයෙන් ගත් විට මෙය ඉතා දුර්ලභ ගනයේ පොදු එකඟගතාවක් නිරූපිත වාර්තාවක් වශයෙන් සඳහන් කළ හැක.

මේ එකඟතාව විවිධ දේශපාලනික බෙදුම් රේඛා අභිබවා ගියද පාලක සන්ධානය තුළ පවතින මතභේද කරලියට ගෙනාවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් එක්සත් ස්ථාවරයක් ගත්තේ, හුදෙක් වංචාව සහ දූෂණයට එරෙහි ප්‍රතිපත්තිමය කාරණාවක් ඉස්මතු කිරීමට වඩා, ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කර ගනිමින් ආණ්ඩුවේ සිටින තම සහායක පක්ෂය ඉදිරියේ යම් දේශපාලන වාසියක් ලබා ගැනීමට ය. ‘ඒකාබද්ධ විපක්ෂය’ තම සාමාජිකයන්ගේ අතීත අක්‍රමිකතා පිළිබඳව එල්ල වී ඇති චෝදනාවන් පිළිබඳ අවධානය වෙනතක හරවමින්, මහජන සුභසිද්ධිය සඳහා වන තමන්ගේ කැපවීමක ආදර්ශමත් මුහුණුවරක් මවාපෑමට මෙය අවස්ථාවක් කර ගත්තේය. ‘දෙමළ ජාතික සන්ධානයත්’ පොදු යහපත වෙනුවෙන් මේ සිද්ධිය පිළිබඳ විවේචනාත්මක ස්ථාවරයක් දැරීය.

කෝප් විනිශ්චයන්

ජනතා විමුක්ති පෙරමුණ පොදු යහපත කෙරෙහි සංවේදී වන පක්ෂයක් වශයෙන් යම් කීර්තියක් දිනා ගැනීමට මෙය රුකුලක් කරගත්තේය. එසේම, මේ ක්‍රියාවලිය තුළ, එකඟතා ගොඩනගා ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳ යම් පුහුණුවක්ද ඔවුන්ට ලැබුණි. එය, අතීතයේදී ඔවුන්ගේ හැසිරීම තුළ දක්නට නොලැබුණු ලක්ෂණයකි. කෙසේ වෙතත්. එම සාර්ථකත්වය ඔවුන්ගේ අනාගත මැතිවරණ සාර්ථකත්වයන් කෙරෙහි කෙතෙක් බලපායිද යන්න තවම කිව නොහේ.

කෝප් කමිටුව පැමිණි නිගමන එක්සත් ජාතික පක්ෂය අපහසුවට පත් කරවන සුළු විය. විශේෂයෙන් මේ ක්‍රියාවලිය තුළ එම පක්ෂයේ ඇතැම් සාමාජිකයන් කටයුතු කළ ආකාරයත්, කෝප් කමිටුවේ සභාපතිවරයා කෙරෙහි දැක්වූ නිෂේධනීය ආකල්පයත් ඊට තුඩුදුනි. ඇතැම් අය එහිදී ඉල්ලා සිටියේ විත්තිකරුවාට නොව පැමිණිලිකරුවාට දඬුවම පමුණුවන ලෙසයි.

කෙසේ වෙතත්, පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කළ පරිදි මෙවැනි විමර්ශන සහිත කෝප් වාර්තා හමස් පෙට්ටියට දමන්නේ නැතිව, අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙවර එය නීතිපතිවරයා වෙත යොමු කිරීම, එක්සත් ජාතික පක්ෂය බහුතරයක් නියෝජනය කරන වත්මන් ආණ්ඩුවේ ගෞරවයට හේතු වෙයි.

කෝප් වාර්තාවේ නිගමන මගින් මහජනතාවගේ අපේක්ෂා දල්වා තිබේ. වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමේ ආරම්භයක් ඒ මගින් සනිටුහන් කොට තිබීම ඊට හේතුවයි. මීට පෙර ආණ්ඩු කාලයේ මෙවැනි වාර්තාවලට අත්වූ ඉරණම ගැන දන්නා ජනතාව තුළ මෙවැනි වාර්තා කෙරෙහි ඇති බලාපොරොත්තුව එතරම් සුභදායක එකක් නොවේ. එවැනි කෝප් වාර්තා ඒ දිනවල හමස් පෙට්ටියට දැමුවා පමණක් නොව, ඒවායේ සභාපතිත්වය දැරූ පුද්ගලයන්ට ඇතැම් අවස්ථාවල බලධාරීන් විසින් තර්ජනය කරනු ලබන අයුරුද අපට දැක ගත හැකි විය. නීතිපති දෙපාර්තමේන්තුවේ අලස සහ අකාර්යක්ෂමතාවන්ද මහජන අපේක්ෂා භංගත්වය ඇති කිරීමට තුඩුදුණි.

මහබැංකු බැදුම්කර ප්‍රශ්නය

මුලින්ම, ලංකාවේ ඇති වූ එකම වංචාව මහබැංකු බැදුම්කර වංචාව නොවන බව මතක තබා ගත යුතුය. එසේම අපේ භාණ්ඩාගාරයට විශාලතම පාඩුව සිදු කළ සිද්ධියද එය නොවේ. කෙනෙකු එසේ කියයි නම්, එය වෙනත් දේශපාලනික අවශ්‍යතා පෙරදැරිව කියන බොරුවකි. අපකීර්තිමත් වැට් බදු වංචාව සහ හෙජිං ගනුදෙනුව ආදී තවත් බොහෝ මහ පරිමාණ වංචාවල් සිදුව තිබේ.

දෙවැනුව, මේ වංචාවල් සිදුව ඇත්තේ අදාළ පුද්ගලයන් හොරුන් වන නිසාම නොවේ. එම සිදුවීම් හරහා ඇත්තෙන්ම වටහාගත යුතුව ඇත්තේ, සංවර්ධනයේ නොවැළැක්විය හැකි අතුරු ඵලයක් වශයෙන් දූෂණය සහ වංචාව පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කරවන, දේශපාලන පරිපාලනය සහ ආර්ථික කළමණාකරණ පද්ධතිවල පවතින දුර්වලතාවක් වශයෙනි. පවතින එම ක්‍රමයේ අසාර්ථකත්වය අමතක කරන තරමට, මතුවටත් මෙවැනිම් සිදුවීම් ඇති වීමට ඉඩ තිබේ. ලෝකය පුරා දකින්ට ලැබෙන අත්දැකීම් පෙන්වා දෙන පරිදි, නියාමනය නොකෙරෙන වෙළඳපොලවල් තුළ දූෂණය බෝ කෙරේ. නව-ලිබරල්වාදී වෙළඳපොල ක්‍රමය අසාර්ථක වී ඇති අතර, නවීකාරක චින්තනයක් සහ ලෝක ආර්ථිකය තුළට තෝරා බේරාගෙන පිවිසීම මත පදනම් වන්නා වූ ආර්ථික සංවර්ධනයේ ස්වාධීන මාවතක් සොයා ගැනීමේ අභියෝගය අප ඉදිරියේ තිබේ.

තුන්වැනුව, මූල්‍ය අපරාධ මැඩලීමේ ශ්‍රී ලාංකේය නීතිරීති ප්‍රමාණවත් නොවන නිසා, නව ප්‍රමිතීන් මත සකස් වූ නව නීතිරීති ඇති කර ගත යුතුව තිබේ.

සිව්වැනුව, පසුගිය මැතිවරණවලදී මේ පාලකයන් පොරොන්දු වූ, ස්වාධීන සහ බලසම්පන්න විගණන කොමිෂන් සභාවක් පත්කර ගැනීමේ ඇති හදිසි වැදගත්කම වටහාගත යුතුව තිබේ. දේශපාලඥයන්ගෙන් සහ නිලධාරී තන්ත්‍රයේ වරප්‍රසාදිත කොටස් වෙතින් එල්ල වන බලපෑම් යටතේ, මෙම පොරොන්දුව ඉටු නොවීමේ අවදානමක් අද පෙනෙන්ට තිබේ.

සිව්වැනුව, වංචාව සහ දූෂණයට එරෙහිව ආණ්ඩුව මෙහෙයැවීමේ අනවරත තෙරපුමක් මහජනතාවගේ පැත්තෙන් ප්‍රදර්ශනය විය යුතුය. දූෂිත දේශපාලඥයන් සහ දූෂිත නිලධාරීන් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් පැමිණවිය හැක්කේ එවිටයි. මෙහිදීත් මේ කියන පිරිස්, ස්වාධීන කොමිෂන් සභාවලට සහ දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ආයතනවලට පමණක් නොව, සිවිල් සමාජ සංවිධානවලට පවා දෝෂාරෝපණය කරති. තවද, මේ දූෂණ විරෝධය පසුපස විදේශ රටවල හස්තයක් ඇතැයිද එම පිරිස් කියති. අවාසනාව වන්නේ, ආණ්ඩුව පාර්ශ්වයෙන්මත් මේ අවලාද එල්ල වීමයි. ඇතැම් ඇමතිවරුන් සහ පක්ෂ ප්‍රකාශකයන් විසින් සිවිල් සමාජ නායකයන් කෙරෙහි ආක්‍රෝශ පරිභව කිරීම සේම, මහජන විරෝධතාවන්ට එරෙහිව ඇතැම් ඇමතිවරුන් ගන්නා උද්ධච්ච ස්ථාවරයන් මගින් පෙන්නුම් කරන්නේ, පරණ පුරුදුම තවදුරටත් පවත්වාගෙන යාමට ඔවුන්ගේ ඇති කැමැත්තකි. මෙවැනි ඇතැම් ප්‍රකාශකයන් පසුගිය මැතිවරණවලදී එදා පැවති ආණ්ඩුව නියෝජනය කළ අයවළුන් වීම පුදුමයක් නොවේ. මොවුන් වනාහී, කවුරුත් දන්නා පරිදි, බලය වෙනස් වීමෙන් පසුව මේ පැත්තට කරණම් ගැසූ අයවළුන් ය.

හයවැනුව, ආණ්ඩුව පැත්තෙන් වඩාත් පාරදෘශ්‍ය වීම තුළින්, වංචා සහ දූෂණවලට ඇති ඉඩකඩ අවම කළ හැකි වන බවත් තේරුම් ගත යුතුය. ඒ අනුව, තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ හෙළිදරව් කළ යුතුව ඇති තොරතුරු අරභයා පනවා ඇති ව්‍යතිරේක වඩාත් නිශ්චිතව අර්ථකථනය කළ යුතුව තිබේ. මන්ද යත්, ජාතික ආරක්ෂාව සහ ගිවිසුම්ගත ආර්ථික රහස් වැනි ඉතා දළ සහ නොපැහැදිළි අවසරයන් අස්සේ සැඟවී සිටීමට දූෂිත නිලධාරීන් හැම වෑයමක්ම ගත හැකි බැවිනි.

හත්වැනුව, යහපාලනය සඳහා නීතියේ ආධිපත්‍යය අකුරට ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය වන්නේය.

දේශපාලඥයන් සහ පරිපාලකයන් පමණක් නොව, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ අධිකරණයේ සාමාජිකයන් පවා, සාධාරණ අධිකරණයක මූලික ශික්ෂාවන් ආරක්ෂා කළ යුත්තේය. එක සමාන පැමිණිලි සම්බන්ධයෙන් විවිධ වූත්, විටෙක එකිනෙකට පරස්පර විරෝධී වූත් විනිශ්චයන් අධිකරණයෙන් ලැබීම නිසා ජනතාව වික්ෂිප්ත වෙති. එසේම අධිකරණය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසයත් එවැනි විනිශ්චයන් නිසා හෑල්ලු වීමට පිළිවන. උදාහරණයක් වශයෙන්, මූල්‍යමය සහ දේශපාලනික හයිය හත්තිය ඇති පුද්ගලයන්ට පසුගිය දා අසාමාන්‍ය ආකාරයකින් ඇප ලබා දීම තුළින් මේ බව දැක ගත හැකි විය.

ජයතිලක ද සිල්වා

Image by: The Republic Square

*2015 නොවැම්බර් 4 වැනි දා ‘ඬේලි නිව්ස්’ පුවත්පතේ පළවූ COPE: Drama of Hope & Despairනැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

සබැදි සටහන්

වල්මත්ව හසරක් නොදැකීම

මහජනයාගේ දේ මහජනයාට දෙන්න