iMage: Vikalpa

“මගේ වයස අවුරුදු දහ අටයි. මට තවම දෙමළ යහළුවෙක් නැහැ. ඇයි ඔබතුමන්ලා අපිව මෙහෙම වෙන්කලේ?” මේ මෑතක පැවති රූපවාහිනී වැඩසටහනකදී දේවී බාලිකාවේ ශිෂ්‍යාවක් ඇසූ පැනයකි. මෙම සටහන එම වැඩසටහනේ උචිත අනුචිතබව පිළිබදවවත්, ඇයට මිතුරන් ඇතිකර ගැනීමේ ඇති හැකියාව පිළිබඳවවත්, ඇගේ විෂය බාහිර ක්‍රියාකාරකම් කෙසේ සකස් විය යුතුද යන්න පිළිබඳව වත් නොවේ.

ඇගේ එම මතුකිරීම තිස් අවුරුදු යුද්ධයක්, අතුරුදන්වූවන් දහස්ගානක්, ශාරීරික හා මානසික තුවාල ලද දසදහස් ගණනක් වෙසෙන රටක මිනිස්සුන් විසින් තේරුම් ගන්නා ආකාරය පිළිබඳ කථාවකි. කොළඹ ප්‍රධාන පෙලේ පාසලක දරුවෙකුට අමතරව උතුරේ පාසලක දරුවෙකුටත්, නැගෙනහිර පාසලක දරුවෙකුටත්, දකුණේ දුෂ්කර පාසලක දරුවෙකුටත් ඔබ පිළිතුරු දිය යුතුම ප්‍රශ්නයකි.

අප දරුණු යුධ සමයේ උපන් යුද්ධය සමඟ හැදීවැඩුනු මිනිසුන් ය. මා පහේ ශිෂ්‍යත්වයෙන් පසු උගත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් ළමුන් මිශ්‍රව සිටි නේවාසික ආදර්ශ පාසලකයි. දිගු ශාලාවක් වැනි නේවාසිකාගාරයේ තට්ටු ඇඳන් මත ඌවේ අඩු ආදායම්ලාභීන්ගේ සියලු දුක් කරපින්නා ගත් සමූහයක් වූ අප, අප අතර ඇත්තේ වෙනස්කම් නොව සමානකම් බව හැඳිනගත්තෙමු. දන්නා පරිදි ප්‍රාදේශීය දේශපාලඥයකුගේ සංකල්පයක් මත ආරම්භ වූ එම පාසල නිසා අපට අපේම අනෙකා හඳුනාගැනීමට හැකියාව ලැබිණ. එය දරුණු යුධමය වකවානුවක් වුවද කුඩා කාලයේ නිරායාසයෙන්ම ජීවිතයට බද්ධ වූ නිසා අද වුවද අපට මිනිසුන් පිළිබඳ වර්ගීකරණයක් නැත. අපට අපේම අනෙකා ගැන එවැනි සහකම්පනයක් දැනෙන්නේම අප කුඩාකල ලැබුනු ඒ අපූරු අවස්ථාව නිසාබව මම තදින්ම විශ්වාස කරමි.

මිත්‍රත්වයට ජාති ආගම් කුල නැති බව සැබෑවකි. එසේම එවැනි වර්ගීකරණ තුල සැබෑ මිත්‍රත්වයක් ගොඩනැගෙන්නේද නැත. නමුත් වාර්ගික පදනමින්, ආගමික පදනමින් පමණක් නොව ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන ද අපේ දරුවන් වර්ගකොට බෙදා අධ්‍යාපනය, ඇසුර ලබාදෙන පරිසරයක, වෙනත් ජාතියක දරුවකුගේ ඇසුර ලබාගැනීමට නම් ඔවුන් වෙහෙසක් දැරිය යුතුබව විවේචනය කරන පුද්ගලයන්ට අමුතුවෙන් කි වයුතුද? මෙහි ඇති උත්ප්‍රාසය නම් ජාතිය හෝ ආගම වැනි අප විසින් හෝ අපේ ක්‍රියාවක් මතින්වූ තෝරාගැනීමක් නොවන කාරණාමත මිනිසුන් දෙවන ගණයෙහිලා සැලකීමේ මානසිකත්වය දරුවන්ට ආරෝපණය කරන්නේද ඇයව ප්‍රශ්න කරන වැඩිහිටි පරපුර විසින්ම වීමය.

එසේම ඇය එවැනි ප්‍රශ්නයක් අසන මෙම අවස්ථාවද සුවිශේෂීය. ජනාධිපතිවරණයක් අබියස සිටින, මැතිවරණ ව්‍යාපාරයේ පක්ෂ, ජාතිවාදය කරපින්නාගෙන එතුලින් බලය ඩැහැගැනීමට පිඹුරුපත් සකසන සන්දර්භයක් තුල එම ප්‍රශ්නය කෙතරම් දේශපාලනිකද?

මෙය හුදෙක් දෙමළ කතා කරන යහළුවෙක් පිළිබඳ ප්‍රශ්නයක්‍ ය යන තැනට ලඝුකිරීම නුසුදුසුය. මෑතක සිට වඳ පෙති, වඳ යට ඇඳුම්, මුස්ලිම් ව්‍යාපාර වර්ජනය, සීසර් ශල්‍යකර්ම අතරතුර පැලෝපීය නාළ අවහිරකිරීම ආදී විවිධ ස්වරූපයෙන් සමාජය වෙලාගත් බිය අද වනවිට තම ඡන්ද පදනම දක්වා ගෙන ආ ගමනට පියවරුන් ඇතිබව සබුද්ධික ජනයාට අවබෝධ වනවා ඇත.

පාස්කු ප්‍රහාරයෙන් පසු සාමයට ලැදි මුස්ලිම් ජනයාට සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් ආමන්ත්‍රණය කල සැටි කිසිවෙකුට අමතකව ඇත්නම් මතක්කර ගැනීමටත් එම දැරියගේ ප්‍රශ්නය මහඟු අවස්ථාවකි. “මේක සිංහල රට. අපි කියන විදිහට ඉන්න බැරිනම් පලයව්” “අරාබියට පලයව්” ලෙස මේ රටේ සංවර්ධනයට සහ උන්නතියට සම ප්‍රමාණයෙන් උරදෙන ජනතාවකට පිරිනැමූ වෛරයයි.

වෙනත් ජාතිකයන් සමඟ අවම සංනිවේදනයක් හෝ පවත්වාගැනීමට නොහැකි තරමට අප අතරට භාෂාව හරස් වී ඇතැයි මම කිසිසේත් විශ්වාස නොකරමි. මෙහි ඇත්තේ අනෙකාගේ ආගමික, සංස්කෘතික, වාර්ගික විවිධත්වය භාරගැනීමට තරම් මනස සකස්වී නොතිබීමයි. විචිත්‍රත්වය ඇත්තේ විවිධත්වය තුලම බව කියාදෙන්නට සාමාජීයව හා දේශපාලනිකව සකස් වූ වැඩිහිටි පරපුරක් නොමැති රටකි.

මෙහි අධ්‍යාපනය මගින් විසඳිය යුතු කොටසක් ඇතිබව සත්‍යකි. නමුත් සියල්ල අධ්‍යාපනය නගින් පමණක් විසඳිය හැකිද? ඔබේ දේශපාලන ව්‍යාපාරයේ පදනම කොටගන්නා ජාතිවාදය මතුපිට සිට, දරුවන්ට ඕන නම් දෙමළ යාළුවෙක් හොයාගන්නා ලෙස උපදෙස්දීම කෙතරම් නරුමකමක් දැයි නොතේරීම දරුවන් මුහුණපානා ගැටළුවයි.

ශානි නිලුක්ෂි | Shani Nilukshi