iMAGE: Vikalpa 

පසුගිය ජනවාරි මස 16 වන දින ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් ( Amnesty International)  විසින්  ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන ලදී. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි හිරිහැර, බියගැන්වීම් සහ පහරදීම් සම්බන්ධව පළවී  වී ඇති විවිධ  වාර්තා කෙරෙහි තමන්ගේ අවධානය යොමු වී ඇතැයි  එමඟින් පෙන්වා දී තිබේ.

2019 මැයි මාසයේ සිට 2020 ජනවාරි මාසය දක්වා වූ කාල සීමාව තුළ බලධාරීන් විසින් ඉලක්ක ගත කණ්ඩායම් ලෙස මානව හිමිකම් සංවිධාන සහ මාධ්‍ය ආයතන 12කට අධික සංඛ්‍යාවක් වෙත, හිරිහැර, බියගැන්වීම් ලෙස පෙනී යන අකාරයේ කිසිදු පුර්ව දැනුම්දීමකින් හෝ දැනුවත්කිරීමකින් තොරව පැමිණ පරික්ෂා කිරීමේ සිද්ධීන් සිදු කොට ඇති බව තමන් වෙතට  වාර්තා වී ඇති බවත්; ශ්‍රී ලංකා පොලිසිය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන අංශය මෙන්ම රාජ්‍ය බුද්ධි අංශය ඇතුලු ආයතන වල සාමාජිකයින් විසින් එම ආයතන වල පැවැත්වෙන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කොට  ඇති බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

මාධ්‍යවේදීන්ට පහරදීම

මාධ්‍ය වාර්තාවලට අනුව, දිනපතා ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකුට සහ ඔහුගේ පවුලේ ඥාතින්ට දෙසැම්බර් 6 වන දින අළුත්ගම ප්‍රදේශයේදී පහරදීමක් සිදු වී ඇති අතර නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කර,  රා වෙළදාමක් පිළිබඳ වාර්තා කිරීම නතර කරන ලෙස සැකකාර අපරාධකරුවන් මාධ්‍යවේදීයාට තර්ජනය කොට තිබේ.

දැනට බලයේ සිටින දේශපාලන පක්ෂයට  සම්බන්ධ පුද්ගල කණ්ඩායමක් විසින් දෙසැම්බර් 10 වන දින ශ්‍රී ලංකා රජයට අයත් මාධ්‍ය ආයතනයක් වන ලේක් හවුස් හි හිටපු නව මාධ්‍ය අංශ ප්‍රධානියාට පහර දී නැවත එහි නොඑන ලෙස තර්ජනය කොට තිබුණු බවත් තම වාර්තාව මඟින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දී තිබේ.

මානව හිමිකම් සංවිධානවලට හිරිහැර කිරීම හා බිය ගැන්වීම

අවම වශයෙන්  වාර්තා වී ඇති සිද්ධීන් දොළහකට ආසන්න ප්‍රමාණයකදී  ශ්‍රී ලංකා පොලිසිය,අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (සීඅයිඩී),  ත්‍රස්ත විමර්ශන ඒකකය (ටීඅයිඩී) හෙවත් ප්‍රති ත්‍රස්ත සහ ත්‍රස්තවාදය විමර්ශන අංශය (සීටීඅයිඩී) මෙන්ම රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් ද මානව හිමිකම් සංවිධානවල පරිශ්‍ර වලට ඔවුන් විසින්ම පැමිණීම හෝ ඔවුන් වෙත මානව හිමිකම් සංවිධාන සාමාජිකයන් කැඳවමින් ව්‍යාපෘති ක්‍රියාකාරකම්, පරිත්‍යාගශීලීන් සහ අරමුදල් සපයන්නන්ගේ තොරතුරු, ලියාපදිංචි කිරීම් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ තොරතුරු පිළිබඳව විමසම් කර තිබේ.

වාර්තාවලින් පෙනී යන්නේ, 2019  මැයි සිට තාවකාලික හා අත්තනෝමතික පදනමකින්  මාස කිහිපයක් තිස්සේ 2020 දක්වා මෙම ක්‍රමවේදය ව්‍යාප්ත වී ඇති බවත්, උතුරු, නැගෙනහිර සහ බස්නාහිර පළාත ඇතුලුව රටේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙමින් පැවති මෙය විශේෂයෙන් 2019 නොවැම්බරයේ සිට ක්‍රමානුකූල මුහුණුවරකින්  බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වී ඇති බවය. විවිධ නීති බලාත්මක කිරීමේ ආයතන විසින් තොරතුරු රැස්කිරීමේ මෙම ප්‍රවණතාව ආවේක්ෂණය, හිරිහැර හා බිය ගැන්වීමේ ක්‍රමයක් ලෙස හදුනා ගත හැකි බව එමඟින් පෙන්වා දෙන අතර වසර ගණනාවක් තිස්සේ වරින් වර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ලේඛන ගත කර ඇති ආකාරයට එය මානව හිමිකම් ආරක්ෂකයින්ට පහරදීම, සෝදිසි කිරීම් සහ හිරිහැර කිරීම්වල සන්දර්භය තුළ දැකිය යුතු බව අවධාරණය කරයි.

එවැනි හිරිහැර කිරීම් හා බිය ගැන්වීම් හරහා මානව හිමිකම් සංවිධාන හා පුද්ගලයින් තුළ භීතියක් ඇති කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා  ඔවුන්ගේ වැඩ පිළිවෙළවල් හකුළා දැමීමටත් හේතූ වඅනු ඇති බව මෙම ප්‍රකාශය මඟින් පෙන්වා දෙයි.

විශේෂයන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයිසීසීපීආර්) ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම් ගණනාවක් යටතේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව බැදී සිටින අතර  එමඟින් තවදුරටත් සාමකාමීව රැස්වීමට, ඇසුරු කිරීමට හා අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කොට තිබෙන බව අධාරණය කොට තිබේ.

මාධ්‍ය ආයතන සෝදිසි කිරීම සහ මාධ්‍යවේදීන් විමර්ශන ආයතන වෙත කැඳවීම

ආයතනයේ  ඉලෙක්ට්‍රොනික උපකරණ පරික්ෂා කර බලමින්  නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ අපහාසාත්මක  අන්තර්ගතයන් තිබේදැයි පොලිසිය විසින්  කල් ඉකුත් වූ සෝදිසි වරෙන්තුවක් භාවිතා කරමින් නොවැම්බර් 26 වන දින පොලීසිය විසින් newshub.lk නම් මාධ්‍ය ආයතනය සෝදිසි කළ බවට පළවූ  මාධ්‍ය වාර්තාවද

TheLeader.lk සහ Voicetube.lk නමැති මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු නොවැම්බර් මාස දී රහස් පොලිසියට කැඳවා දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමේ සිද්ධීන් ද; නොවැම්බර් මාසයේ දී උතුරු පළාතේ වවුනියාවේදී තින්නපුයල් හි සංස්කාරකවරයා පොලිසිය විසින් ප්‍රශ්න කරනු ලැබු සිද්ධිය ද අදාළ වාර්තාවට ඇතුළත් කොට තිබේ.

විශේෂයෙන් ජනාධිපතිවරණයක් අවසන් වූ වහාම පොලීසිය විසින් මාධ්‍ය ආයතන සෝදිසි කිරීම සහ මාධ්‍යවේදීන් විමර්ශන ආයතනවෙත කැඳවීම අයිසීසීපීආර් යටතේ සහතික කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මාධ්‍ය නිදහස  කප්පාදු කිරීමට දායකවනු ඇති බව වාර්තාව තුළින් දක්වා තිබේ.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රජය වෙත ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් මේ තත්වයන් අවම කර ගැනීම සඳහා පහත දැක්වෙන නිර්දේශ ඉදිරිපත් කොට තිබෙන අතර ශ්‍රී ලංකා රජය වෙත ඒවා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ආයාචනය කොට තිබේ.

මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන්, මානව හිමිකම් සංවිධාන සහ මානව හිමිකම් ආරක්ෂකයින් ආරක්ෂා වන ආරක්ෂිත හා සක්‍රීය පරිසරයක් සහතික කිරීමටත් පලිගැනීමට ලක් නොවීමටත්,  බිය නොවී කටයුතු කිරීමටත් හැකි වන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමී එක්රැස්වීම වීම සහ මාධ්‍ය නිදහස සඳහා වන අයිතිවාසිකම්වලට ගරු කිරීම, ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ඉටු කිරීම.

මානව හිමිකම් ආරක්ෂකයින්, මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය ආයතන සහ රට පුරා සිටින මාධ්‍යවේදීන්, සෝදිසි කිරීම් සහ ඔවුන්ට එරෙහිව පළිගැනීම් ඇතුළුව බිය ගැන්වීම සඳහා කරන උපක්‍රම අවසන් කරන ලෙස නීතිය ක්‍රියාත්මක කරන සියලුම අංශවලට වහාම උපදෙස් නිකුත් කිරීම.

මානව හිමිකම් ආරක්ෂකයින්, මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් බිය ගැන්වීම සහ හිරිහැර කිරීම පිළිබඳ හා එසේ නීතිය කඩ කිරීම කෙරෙහි වග විය යුතු  ඕනෑම අයෙකු වෙනුවෙන් වන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී, ගැඹුරු හා ඵලදායී පරීක්ෂණයක් පැවැත්වීම.

තම ප්‍රකාශයෙන් අනාවරණය වන කාලපරිච්ඡේදය ශ්‍රී ලංකාවේ 2019 අප්‍රියෙල් 21 දින සිදු වූ බිහිසුණු පාස්කු ඉරිදා ප්‍රහාරය, 2019 නොවැම්බර් 16 වන දින පැවති  ජනාධිපතිවරණය  හා  එහිදී රටේ නව ජනාධිපති ලෙස  ශ්‍රී ලංකා රජයට සහ එල්ටීටීඊයට චෝදනා එල්ල වී ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ වධහිංසා පැමිණවීම් ඇතුලු බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වන විට එවකට ජනාධිපති සිටි මහින්ද රාජපක්ෂගේ සහෝදරයා වූ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ පත්වීම, ඔහුගේ නායකත්වයෙන් යුත් නව රජයට මාසයක් ගතවන විට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීය නිලධාරිනියක පැහැර ගැනීමේ චෝදනාව හා එය නිර්මාණය කරන ලද කතාවක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් බැහැර කිරීම, ඇතැම් මානව හිමිකම් උල්ලඝනය  කිරීමේ සිද්ධි  පිළිබඳ ප්‍රධාන නඩු වලට සම්බන්ධ අපරාධ විමර්ශනයේ දී සිටි නිලධාරින්  700 කට වැඩි පිරිසකගේ  විදෙස් ගතවීම තහනම් කිරීම, මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශනයේ නම් කර තිබෙන හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුම නව රජය විසින් බලය ලත්  තනතුරු සඳහා පත් කිරීම ආදියත් වෙනස් වෙමින් ඇති දේශපාලන පසුබිම කරුණු කොට ගෙන, නිතීඥයින්, රජයේ ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් වාර්තා වෙන සිද්ධීන් ද  2019 දෙසැම්බර් 12 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ධුර කාලය තුළ මාධ්‍ය නිදහසට කිසිදු ආකාරයකින් බාධාවක් නොවන බවත් “ඕනෑම සාධාරණ විවේචනයක් සඳහා අවස්ථාව තිබෙන ”බවත්, රටේ කීර්තිය ඉහළ නැංවීම සඳහා හිතකර මාධ්‍ය වාර්තාකරණයේ යෙදෙන අතරම සෑම මාධ්‍ය ආයතනයක්ම රට කෙරෙහි ඇති වගකීම ඉටු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව පැවැසීම යන සිද්ධින් පසුබිමෙහි සිට නිකුත් කළ බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අදාළ ප්‍රකාශය මඟින් දක්වා තිබේ.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් නිකුත් කළ ප්‍රකාශය ( ඉංග්‍රීසි)