සිංහල, Colombo, Corruption, Democracy, Governance, Hambantota

හම්බන්තොටින් බේරුණෙ පූරුවෙ පිනට


2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හම්බන්තොටට නොලැබී යාම මේ රටේ පොදු ජනතාව ලැබූ ජයග්‍රහණයකි. ඉතා වියදම්කාරී ප්‍රතිරූප වන්දනාවක නිරතව සිටින වර්තමාන පාලකයන්ට එය දෙපැත්තකින් පරාජයක් විය. එක පැත්තකින්, පපඩම් ප්‍රතිරූප පිම්ඹීමේ ජාත්‍යන්තර අවස්ථාවක් පාලකයාට අහිමි වී ඇත. අනිත් පැත්තෙන්, තමන්ගේ ප්‍රතිරූප පිම්ඹීම සඳහා රටේ වර්තමාන පරම්පරාවේ පමණක් නොව, ඊළඟ පරම්පරාවේ දුක් විඳින ජනතාවගේත් සාක්කුවෙන් පැහැර ගැනීමට බලාගෙන සිටි ධනය හිතුවක්කාර පරිහරණයට ගැනීමේ අවස්ථාව පාලක පැලැන්තියට අහිමිව ගියේය.

2010 වසරේ ‛‛ගැලප්’’ සමීක්ෂණ වාර්තාවට අනුව, ලංකාවේ ජනගහනයෙන් සියයට 75 ක් එදා වේල ගැටගසාගන්නා පිරිසකි. සියයට 20 ක්, එසේවත් ගැටගසා ගැනීමට නොහැකිව විඳවති. එම වාර්තාවට අනුව, නොදියුණු ලෝකයේ රටවල් 124 ක් අතරින් මේ වන විට ලංකාව ඉදිරියෙන් සිටින්නේ, කාම්බෝජය, ටජිකිස්ටානය, ටැන්සානියාව, හයිටි, චාඩ් සහ නිජර් වැනි අන්ත දිළිඳු රටවල් කිහිපයක් සම්බන්ධයෙන් පමණි. එසේ තිබිය දී, මහ බැංකු අධිපතිවරයා ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 8 ක් යැයි කියයි. එය, නොදියුණු රටක් සම්බන්ධයෙන් ගත් කල, ඉතා ඉහළ ආර්ථික වර්ධන අනුපාතිකයකි. එසේ තිබියදී, 2010 එක්සත් ජාතීන්ගේ ආර්ථික, සමාජ සහ සංස්කෘතික වාර්තාව පෙන්වා දෙන පරිදි, ලංකාවේ ළමා ජනගහනයෙන් සියයට 30 ක් ද, කාන්තා ජනගහනයෙන් සියයට 25 ක් ද, මන්ද පෝෂණයෙන් පෙළෙති. මහ බැංකුව පෙන්වන ආර්ථික වර්ධනයේ සංඛ්‍යාත්මක සෝබාව සාමාන්‍ය මිනිසාගේ ලිප් බොක්කේ පෙනෙන්ට නැති බව, කවුරු නැතත්, රට්ටු දනිති.

එසේ තිබියදී, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හම්බන්තොටට ලබා ගැනීම සඳහා වන ප්‍රාරම්භක ප්‍රචාරක සහ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 800 ක් මේ ආණ්ඩුව වැය කෙළේය. එහි දී සිදු වූ අසාර්ථකත්වය පවා රටට වාසිදායක වී යැයි කීමට මහබැංකු අධිපතිවරයා තවමත් කැසකවයි. හම්බන්තොට ඡන්දය දිනා ගැනීම සඳහා අපේ රටෙන් නියෝජිතයෝ 160 දෙනෙක් ගියහ. එසේ ගොස් ඡන්ද 27 ක් දිනාගත්හ. ජයග්‍රාහක ගෝල්ඩ් කෝස්ට් (ඔස්ට්‍රේලියාවෙන්) පැමිණ සිටියේ නියෝජිතයන් 29 දෙනෙකි. ඔවුන් ඡන්ද 43 ක් දිනාගත්තේය. මෙම නිදර්ශනයම, මේ උළෙල යම් හෙයකින් අපට ලැබුණි නම්, මොන තරම් නාස්තියක් සහ දූෂණයක් රටවැසියාගේ කර පිට පැටවෙන්ට ඉඩ තිබිණි දැ යි සිතා ගැනීමට යෝග්‍යය.

මහබැංකු අධිපතිවරයාට අනුව, මෙවැනි උළෙලක් රටකට ලබා ගැනීම තුළ, ‛ස්පර්ශ කළ හැකි’ සහ ‛ස්පර්ශ කළ නොහැකි’ යනුවෙන් ප්‍රතිලාභ දෙවර්ගයක් තිබේ. ‛ස්පර්ශ කළ හැකි’ වාසි අතරට, මේ මගින් අත්කරගත හැකිව තිබිණැ යි ඔවුන් විශ්වාස කරන, රැකියා අවස්ථා, ආයෝජන අවස්ථා සහ යටිතල පහසුකම්වල වර්ධනයන් වැනි දෑ ඉදිරිපත් කෙරේ. එය එකහෙලා බොරුවක් නොවේ. එහෙත් එවැනි සාධනීය දෑ දීර්ඝ කාලීනව අපේ ආර්ථිකයට කෙසේ උපයුක්ත වේ දැ යි විමර්ශනය නොකොට අවසාන නිගමනයකට එළැඹීමට පුලුවන් කමක් නැත. උදාහරණයක් වශයෙන්, ‛මිහින් ලංකා’ ඇරඹීමට පෙර එහි ප්‍රතිලාභ ගැන මොන තරම් වර්ණනා අපි ඇසුවෙම් ද? ‛මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ’ යැයි ගැණෙන වරදක් ඇතිවා සේ, ‛රටක ආර්ථිකයට එරෙහි සහගහන අපරාධ’ යැයි ද ප්‍රභේදයක් ඇතොත්, මිහින්ලංකා නිර්මාපකයෝ එම අපරාධයේ වරදකරුවන් වෙනවා නොඅනුමානයි.

‛ස්පර්ශ කළ නොහැකි’ වාසි ඝනයට වැටෙන්නේ, මා ඉහතින් කී පුද්ගල ප්‍රතිරූප පිම්ඹීමේ අවස්ථාවන් ය. කෙසේ වෙතත්, මේ යෙදුම මහබැංකු අධිපතිවරයා පාවිච්චි කරන්නේ නැත. ඒ වෙනුවට, එක්තරා විදිහක ‛දේශමාමක’ අදහසක් ගෙනහැර දැක්වෙයි. එනම්, ‛‛රාජපක්ෂ’’ යන වචනය වෙනුවට, ‛‛ලාංකිකයා’’ යන වචනය පාවිච්චි කරයි. උදාහරණයක් වශයෙන්, මේ කාරණය නිසා හම්බන්තොට යන නගරය දේශදේශාන්තරවල ප්‍රසිද්ධියක් අත්කර ගත්තේ ලු. මිලියන 800 ක් වැයකොට, ලංකාවේ නොදියුණුම ප්‍රධාන නගරය වශයෙන් සැළකෙන හම්බන්තොට, ලෝකයේ දියුණුම ක්‍රීඩා තරඟයක් ලබා ගැනීම සඳහා පෙරට දැමීමේ මෝඩකම පවා අපට ආඩම්බරයට හේතුවක් ලු.

ඇයි හම්බන්තොට ම? ගාල්ල, අනුරාධපුරය, මහනුවර, කුරුණෑගල, යාපනය, පොලොන්නරුව ආදී හම්බන්තොටට වඩා ඓතිහාසික වශයෙන් වැදගත් වූත්, සංවර්ධනය සහ සම්පත් පැත්තෙන් දියුණු වූත් නගර පද්ධතියක් ලංකාවට තිබේ. එහෙත් මෑතක සිට, ජාත්‍යන්තර වරායවල් ඉදිවන්නේ හම්බන්තොට ය. රන්මිණිතැන්න වන් මහා සිනමා හා ටෙලි ගම්මාන බිහිවන්නේ හම්බන්තොට ය. ජාත්‍යන්තර ගුවන් තොටුපොලවල් සැලසුම් කෙරෙන්නේ හම්බන්තොට ය. ඉතිරිව ඇත්තේ, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා රටේ අගනගරය බවට තමන්ගේ නාමධාරී ජයවර්ධනපුරය පත්කළා සේ, අනාගත ලංකාවේ අගනගරය බවට හම්බන්තොට පත්කිරීම පමණි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මේ කියන තරම් ආලකමන්දාවක් බවට ලංකාව පරිවර්තනය කිරීමේ විභවයෙන් යුක්ත විණි නම්, එම ක්‍රීඩා උළෙල තමන්ගේ රටවල්වලට ලබා ගැනීමට තවත් බොහෝ රටවල් අතරේ මහා පොරයක් ඇති විය යුතුව තිබුණි. එහෙත් මේ අවස්ථාවට කෙල හලාගෙන පොරකෑවේ, ලංකාව හැරුණු විට තව එක රටක් පමණි. ඒ, මීට පෙර මේ උත්සවයම හතර වතාවක් පවත්වා ඇති සංවර්ධිත ඔස්ට්‍රේලියාවයි. එහි දී පවා, (2018 මෙම උළෙල පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නගරය අයත් වන) කුවීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ආණ්ඩුවේ භාණ්ඩාගාර අධිපතිවරයාගේ විරෝධය, මේ අවස්ථාව තමන් වෙත ලබා ගැනීමට එරෙහිව නැගී සිටියේය. එම ප්‍රාන්ත ආණ්ඩුවේ වර්තමාන අයවැය පරතරය ඩොලර් බිලියන 1.5 කි. ක්‍රීඩා උළෙල සඳහා ප්‍රාන්ත ආණ්ඩුව දැරිය යුතු වියදම දළ වශයෙන් ඩොලර් බිලියන 1.09 ක් යැයි ගණන් බලා තිබේ. මෙවැනි දැවැන්ත ක්‍රීඩා උළෙලක් වෙනුවෙන් දරණ එවැනි යෝධ වියදමක් සඳහා පෙරලා ලැබෙතැ යි අපේක්ෂිත ප්‍රතිලාභ සමඟ සසඳන විට තමන් වැනි දියුණු ආර්ථිකයකට වුවත් දීර්ඝ කාලීනව එය දරාගත නොහැකි වන බව ඒ රාජ්‍ය නිලධාරියා (අපේ රාජ්‍ය නිලධාරීන් මෙන් නොව) දේශපාලඥයන්ට පෙන්වා දුනි. එහෙත් එහි දීත් මුල් තැන ගත්තේ, (අපේ වගේම) දේශපාලඥයන්ගේ පුහු ප්‍රතිරූපයමයි.

2012 වසර සඳහා ලංකාවේ අපේක්ෂිත ජාතික ආදායම රුපියල් ට්‍රිලියන 1.16 කි. (ට්‍රිලියනයක් යනු බිලියන දාහකි. බිලියනයක් යනු මිලියන දාහකි.) අපේක්ෂිත ජාතික වියදම, රුපියල් ට්‍රිලියන 2.22 කි. හෙවත්, ආදායම සහ වියදම අතර පරතරය, රුපියල් ට්‍රිලියන 1.06 කි. අප පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉල්ලුම් කෙළේ එවැනි තත්ත්වයක සිටගෙනයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලවල් මෙන් නොව, ඔලිම්පික් සහ ලෝක පාපන්දු කුසලානය වැනි ජගත් කීර්තිමත් අවස්ථා තම රටවල්වලට හිමිකර ගැනීමට බොහෝ රටවල් උත්සාහ ගනිති. ඒ මගින් තමන්ගේ රටවලට ලැබෙතැ යි විශ්වාස කරන ආර්ථික සහ සමාජයීය වාසි සමුදායක් එම විශ්වාසය පසු පස ඇත. එහෙත් ඉතිහාස අත්දැකීම් කියාපාන්නේ, එවැනි කීර්තිමත් ක්‍රීඩා උත්සව සමග බැඳී ඇති ඔය කියන වාසි පවා, හිතන තරමේ ධන ඉල්ලම් නොවන බවයි. පසු ගිය ඔලිම්පික් ඉතිහාසය දෙස බලන විට, 1984 දී ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැවති ගිම්හාන ක්‍රීඩා උළෙල හැරුණු කොට, අනිත් සෑම ඔලිම්පික් උළෙලක්ම එම රටවල්වලට අත්කර දී ඇත්තේ දීර්ඝ කාලීන වාසි නොව, යෝධ පාඩු ය. 1976 දී ජර්මනියේ මියුනිච් නුවර පැවති ඔලිම්පික් උළෙල සඳහා ගත් ණය පියැවීමට තවමත් එම නුවර වැසියෝ විශේෂ බද්දක් රජයට ගෙවමින් සිටිති.

මෙවැනි ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම සඳහා දැරීමට නියමිත වියදම් පිළිබඳ ප්‍රාරම්භක ඇස්තමේන්තු හැම විටකම අවසානයේ දී, එමෙන් කිහිප ගුණයක ඉහළ අගයක් ගැනීම මේ තත්ත්වය තවත් උග්‍ර කරයි. ඔලිම්පික් ක්‍රීඩාව සම්බන්ධයෙන් සළකතොත්, 2002 සෝල්ට් ලේක් නගරයේ පැවති උළෙලේ ප්‍රාරම්භක වියදම් ඇස්තමේන්තු, අවසානයේ දී 2.3 ගුණයකින් වැඩි විය. 2004 ඇතන්ස් නුවර දී, 2.4 ගුණයකින් වැඩි විය. 2004 ටියුරින් නුවර දී 2.4 කින් වැඩි විය. 2010 වැන්කූවර් නුවර දී 4.2 කින් වැඩි විය. මේ කිසි අවස්ථාවක, මේ කිසි නගරයක් මුලින් ඇස්තමේන්තුගත කළ ප්‍රතිලාභ මොන විදිහකින්වත් අත්කර ගත්තේ නැත.

මෙවැනි ක්‍රීඩා උළෙලවල් හරහා නගර පුනරුදයක් ඇති කෙරෙන බවට ඇති විශ්වාසය පල දරා ඇති තැන් ද කලාතුරකින් හමුවෙයි. බාර්සිලෝනා (ස්පාඤ්ඤය) සහ මැන්චෙස්ටර් (බ්‍රිතාන්‍ය) වැනි යෝධ නගර මෙවැනි උළෙලවල් හරහා සීග්‍ර දියුණුවක් අත්පත් කරගත්තේය. එසේම, දැනටමත් දියුණු නගරයක්, මෙවැනි ක්‍රීඩා උළෙලක් පැවැත්වීම හරහා මුහුණදිය හැකි අනපේක්ෂිත අවදානමකින් ගොඩ ඒමට වැඩි හැකියාවකින් ද යුක්ත වෙයි. ඊට හේතු සාධක සෙවිය යුත්තේ හුදෙක් ආර්ථික ක්ෂේත්‍රයේ නොව, සමාජයීය සහ සංස්කෘතික ක්ෂේත්‍රයේ ය. මෙවැනි මෙගා ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම සඳහා ධනපති ලෝකයේ දියුණු නගරයක් ඉදිරිපත් වීමට වඩා, ලංකාව වැනි නොදියුණු ලෝකයේ හම්බන්තොට වැනි ප්‍රාථමික ගමක් ඉදිරිපත් කිරීම තුළ ඇති අවදානම අහසට පොළොව සේ වෙනස් වන්නේ මෙහි දී ය.

අපි අපේ මෑත ඉතිහාසයට හැරෙමු. අඬබෙර ගසා ආරම්භ කළ හම්බන්තොට වරායට ජාත්‍යන්තර නැව් කීයක් මේ වන විට පැමිණ තිබේ ද? හොලිවුඩ් පුරයේ ආප්ප වාටිය අනුකරණය කළ රන්මිනිතැන්නේ චිත්‍රපට කීයක් නිෂ්පාදනය කොට තිබේ ද? කලා භවන, කලාවට දායක වීම සඳහා ද, නැත්නම් කලාකරුවන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔවුන්ගේ මෘත දේහ තැන්පත් කිරීම සඳහා ද?

තවත් ටිකක් ඈතට යමු. ගම් උදාවෙන් ගොඩනැගූ නගර මධ්‍යයේ ඇති ඔරලෝසු කණු කීයක තවමත් වේලාව දුවන්නේ ද? ජෝන් ද සිල්වා රඟහලේ ඉහින් කණින් දහඩිය නොහෙලා පැය දෙකක නාට්‍යයක් බැලීමට ප්‍රේක්ෂකයෙකුට පිළිවන් ද? දඹුල්ලේ ක්‍රීඩාංගනයේ මෙතෙක් පවත්වා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වී ඇති ප්‍රේක්ෂක සංඛ්‍යාව කොපමණ ද?

තවත් පැත්තකට හැරෙමු. ‛කැලෑ හඳ’ පැත්තකින් දාන්න. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ, ධර්මසේන පතිරාජගේ, ධර්මසිරි බණ්ඩාරනායකගේ, තිස්ස අබේසේකරගේ නූතන යුගයේ පරණ චිත්‍රපට කීයක් ඊළඟ පරම්පරාවකට සංරක්ෂණය කොට තිබේ ද? රන්මිණිතැන්නේ අද නිෂ්පාදනය වන චිත්‍රපටි දෙක තුන පවා සංරක්ෂණය කළ යුතු නිසි බලධාරියා හැමදාමත් ‛‛ති.නා’’ ද?

මේ එකිනෙක ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට කෙනෙකු උත්සාහ කළොත්, ඔහුට අපේ සමාජයේ සහ සංස්කෘතියේ වෙනත් මානයන් ගණනාවක් හසු වනු ඇත. ක්‍රීඩාව පිළිබඳ කාරණය පමණක් සැළකිල්ලට ගන්නේ නම්, 2018 පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඕනෑම රටකට අර්ථ සිද්ධි සම්පන්න විය හැක්කේ, 2018 පසුවත් එය සඵල අර්ථයකින් නඩත්තු කිරීමට හැකි වෙයි නම් පමණි. බාර්සිලෝනා සහ මැන්චෙස්ටර් වැනි දියුණු නගරවල වෙසෙන ජනතාව සංස්කෘතිකමය වශයෙන් ක්‍රීඩාලෝලීය. (ලංකාවේ ජනතාව ක්‍රීඩා ලෝලී නොවන බවක් මෙයින් අදහස් නොවේ. ඔවුන් මුහුණදෙන ප්‍රශ්නය වන්නේ, ක්‍රීඩා ලෝලීව ජීවත් වීමට අවශ්‍ය සමාජ සහ ආර්ථික පරිසරයක් ඔවුන්ට අහිමිව තිබීමයි). ඒ නිසා, දියුණු රටක මෙවැනි උළෙලක් වෙනුවෙන් ඉදිවන කිසි ගොඩනැගිල්ලක් හෝ වෙනත් භෞතික පද්ධතියක් එම උළෙලින් පසු වල්වැදී අභාවයට යන්නේ නැත. ඒ වෙනුවෙන් ඉදිවන මල් පාත්තිය පවා ඉන් පසුවත් අදාළ බලධාරීන් විසින් පලදායීව නඩත්තු කරනු ලැබේ.

ගාමිණී වියන්ගොඩ [ Gamini Viyangoda]