සිංහල, Colombo, Democracy, Governance

එල්ටීටීඊ ය නැති දේශපාලන චිත්‍රය (2)

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්

එල්ටීටීඊ ය දේශපාලන සමීකරණයෙන් ඉවත්ව යෑමත් සමඟ වෙනස්කම් සිදුවීමට නියමිතව ඇත්තේ දෙමළ දේශපාලන භූමිය තුළ පමණක් නොවේ. දැනටමත් පෙනෙන්ට පටන් ගෙන ඇති පරිදි සිංහල දේශපාලනය තුළ ද තීරණාත්මක වෙනස් කම් ඇතිවීමට නියමිත ය.

එල්ටීටීඊ විරෝධය (පොදු වශයෙන් තමන් විසින් තමන් පාලනය කර ගැනීමේ දෙමළ ජනයාගේ අයිතිය ට විරුද්ධත්වය) මූලික කර ගත් දේශපාලන ධාරා දෙකක් පසුගිය දශක දෙක තුළ ශ්‍රි ලංකාවෙහි මුල් බැස ගත්තේ ය. ඉන් එකක් නම් 1983න් පසු ප්‍රායෝගික වශයෙන් රතු කොඩියට වඩා කහ කොඩියට බර වූ ජනතා විමුක්ති පෙරමුණ යි. අනෙක නම් ශ්‍රී ලංකාව සිංහලයින්ගේ රට වශයෙන් සළකා අන් සියළු ජාතීන් ඊට අනුකූලව ජීවත්විය යුතු බව සිය මතවාදය වශයෙන් සළකන හෙළ උරුමය යි. ජවිපෙන් කැඩී ගිය විමල් වීරවංසගේ ජාතික නිදහස් පෙරමුණ දරන්නේ ද හෙළ උරුමයේ අදහස් වලට සමාන අදහස් ය. එමෙන්ම මහාචාර්‍ය නලින් ද සිල්වා, දොස්තර ගුණදාස අමරසේකර, නීතිඥ එස්.එල්. ගුණසේකර යනාදී පිරිස් ද සිය මතවාදයන්හි ආරම්භක ස්ථානය වශයෙන් ගත්තේ සුළු සුළු වෙනස්කම් ඇතිව එල්ටීටීඊ විරෝධය යි.

මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපයේ සිට එජාපයෙන් ආණ්ඩුවට එක්වූ පිරිස මෙන්ම ඩග්ලස් දේවානන්ද ඊපීඩීපී යේ සිට හෙළ උරුමය වැනි උග්‍ර ජාතිකවාදි කණ්ඩායම් දක්වා එක් පොදු පෙරමුණක් ගොඩ නැගුණේ එල්ටීටීඊ ය පරාජය/විනාශ කිරීමේ තනි අරමුණ වටා ය. එකී මතවාදය මගින් සමාජ දේශපාලන ආධිපත්‍ය පවත්වා ගැනීමට මෙකී ආණ්ඩු බලවේගයන්ට හැකියාව ලැබුණි. මේ සංධානයේ පොදු මතවාදය තුළ ඉරි තැලීම් වළක්වා ගැනුනේ එල්ටීටීඊ ය අහෝසි කර දැමීමෙන් පසු කුමණ මඟක් ගත යුතු ද යන්න ගැන කිසිදු සාකච්ජාවක් ඇති නොකිරීම මගිනි.

දැන් හුදු එල්ටීටීඊ විරෝධය මත තවදුරටත් සිය දේශපාලනය පවත්වා ගැනීමට කිසිදු පක්ෂයකට හෝ සංධානයට හෝ නොහැකිය. පොදු සතුරකු නැත්නම් සංධාන බිදී යනු ඇත. එවැනි එක් සතුරකු දැන් සොයා ගෙන තිබේ. එනම් පළාත් සභා ක්‍රමය නොහොත් 13වන ව්‍යවස්ථා සංසෝධනයයි. නමුත් සතුරා පොදු සතුරකු නොවේ. ප්‍රශ්නය එය යි.

1988 සිටම පළාත් සභා ක්‍රමය මේ වන විට වසර විස්සක් පුරා යම් දුරකට ක්‍රියාත්මකව තිබේ. එහෙත් මෙම කිසිදු පක්ෂයක් මේ තාක් පළාත් සභා ක්‍රමය අහෝසි කරන ලෙස උද්ඝෝෂනය කලේ නැත. ඊට පටහැනිව දෙමසකට පෙර පැවැති පළාත් සභා මැතිවරණයන්ට ද සහභාගි වී ආසන ද දිනා ගත්හ. තමන් පළාත් සභාවන්ට පත් කළහොත් මහජනයා වෙනුවෙන් ඉටු කරන සේවාවන් ගැන ද පොරොන්දු දුන්හ. තමන් මෙම පළාත් සභාවන්ට ඉදිරිපත් වන්නේ ඒවා අහෝසි කිරීම පිණිස යැයි ඒ කිසිවකු කී බවට වාර්තා වී නැත. නමුත් දැන් දේශපාලන භූමිය වෙනස් වන්නට පටන් ගෙන තිබේ.

උතුරු පළාත් සභාවට අදාළව 13වන සංසෝධනය ක්‍රියාත්මක කරන්නේ නම් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව පසුගිය 29 දින චම්පික රණවක විසින් කියා සිටීම මගින් පෙන්නුම් කැරුණේ යුද්ධය සඳහා ගොඩ නැඟුණු සංධානය තව දුරටත් අත්‍යවශය නොවන බව එය කල්පනා කරන බව යි. මේ තාක් දුරට චම්පික රණවක සැළකුණේ ජනාධිපති රාජපක්ෂගේ උපදේශකයකු ලෙස ය. නමුත් දැන් ඔහු ආණ්ඩුවට ප්‍රසිද්ධියේ අභියෝග කරන තත්ත්වයට පත් ව තිබේ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ උතුරු නැගෙනහිරට පළාත් සභා ක්‍රමය ලබා දීමට එරෙහිව තමන් ලක්ෂ 20ක් ජනයා කොළඹට කැඳවන බව ය. විමල් වීරවංස ද පළාත් සභා ක්‍රමයට උග්‍ර විරෝධයක් දක්වයි. මෙම පක්ෂ තුනට සැළකිය යුතු සිංහල බෞද්ධ බලමුළු ගැන්වීමක් සඳහා ශක්තිය තිබේ. එසේ නමුත් ප්‍රශ්නය එල්ටීටීඊ ය නැති දේශපාලන සංදර්භය තුළ සිංහල බෞද්ධ නායකත්වය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පැහැර ගැනීමට එකී බලවේග සමත්වනු ඇත්ද යන්න ය.

ස්වකීය නායකත්වය සහ සංධානය රැක ගැනීමට කෙවිටත් කැරට් අලයත් දෙකම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පාවිච්චි කරන බව පෙනේ. චම්පිකගේ ආණ්ඩුවෙන් ඉවත්ව යෑමේ කතාවට ජනාධිපති කිපී තිබෙන බව කියැවෙන පුවත ජනමාධ්‍යට ලීක් කිරීම සහ ආචාර්‍ය මර්වින් ලවා චම්පික රණවකට අනතුරු හැඟවිමක් වන පුවත්පත් ප්‍රකාශයක් නිකුත් කිරීම කෙවිට ය. මේ සඳහා මහාචාර්ය ජී.එල්. පිරිස් තෝරා ගන්නේ නැතිව ආචාර්‍ය මර්වින් ම තෝරා ගන්නට ඇත්තේ මන්ද යන්න තේරුම් ගැනීම ලෙහෙසි ය. අනෙත් අතට අමාත්‍ය කෙහෙළිය ලවා අද මූලික ප්‍රශ්නය වන්නේ 13 වන සංසෝධනය සහ පළාත් සභා නොව සරණාගත ප්‍රශ්නය යැයි කියා බටර් පාරක් ගෑම කැරට් අල ය පෑම ය.

කැරට් අලයේ සහ කෙවිටේ උපාය කෙටි කාලීනව සාර්ථක වන්නට පුළුවන. එසේ නමුත් දීර්ඝ කාලීනව එල්ටීටීඊ ය නැති දේශපාලන විත්‍රයෙහි වත්මන් පොදු පෙරමුණෙහි බලවේගයන්ට එකට රැදී සිටීම දුෂ්කර ය.

පශ්චාත් එල්ටීටීඊ ශ්‍රී ලංකාවෙහි දෙමළ ජනයාට ස්වයං පාලනයක් ලබා දීම අතපසු නොකරන බවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැනටමත් ස්ථිරසාර පොරෙන්දු ගණනාවක් ම දී තිබේ. හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, විමල් විරවංශගේ පක්ෂය, ගුණදාස අමරසේකර යනාදීන් සහ හිටපු ආරක්ෂ අංශ පිරිස් එක්ව (දැනටමත් හෙළ උරුමයෙහි එවැනි පිරිස් සිටී) බලය බෙදීමට එරෙහි පෙරමුණක් සාදනවා ඇත. ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු සංස්කෘතික රටක් බවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නිල වශයෙන් දරන අදහස එම පිරිස් පිළිගන්නේ නැත. දැනටමත් මෙම පිරිස් එල්ටීටීඊය පරාජය කිරීමේ ස්වකීය අයිතිය වෙනුවෙන් පෙනී සිටිති. වවුනියාවේ ආගමික රැස්වීමක කතා කරමින් හෙළ උරුමයෙහි නායක භික්ෂුවක සංකේතාත්මකව කියා තිබුණේ එලල්ටීටීඊ ය පැරදවීමේ කාලතුවක්කු වලට උණ්ඩ සවි කළේ තමන් බව යි. පළාත් සභා මායිම් යළි සළකුනු කළ යුතු බව විමල් වීරවංශ කියා සිටී.

මෙම දේශපාලන බෙදීම ඇතිවනු ඇත්තේ වඩාත් ගැඹුරට යන වෙනත් දේශපාලන වර්ධනයක් පසු බිමෙහි ය. එනම් එල්ටීටීඊය සහ එහි බිහිසුනු ක්‍රියාකාරකම් දේශපාලන සටන් පාඨයක් වශයෙන් ක්‍රමයෙන් අඩු වටිනාකමක් ලබා ගන්නා විට සමාජ දේශපාලන නායකත්වය පවත්වා ගැනීමට ආණඩු බලවේගයන් කුමණ ක්‍රම සහ විධි යොදා ගන්නට ඉඩ ඇත්තේ ද යන ප්‍රශ්නය යි. මහාචාර්‍ය පීරිස් වෙනුවට ආචාර්‍ය මර්වින් රජයේ නොනිල ප්‍රකාශකයා වීම විසින් පෙන්වන එල්ටීටීඊ ය නැති චිත්‍රයේ මඟ සළකුණු කිසිවක් ඇත්ද?