Colombo, Featured Articles, Features

කටු ගේ උස්සා පොළවේ ගැසීම


මෙවර වෙසක් කලාපයේ තිබූ පුදුමාකාරම සෙල්ලම වූයේ කටු ගේ උස්සා පොළේ ගැසීමයි. වරෙක කටුගෙය තුළ වෙසක් කූඩු දැල්වෙන අතර, තවත් වරෙක කටුගෙයි කොටස් එකිනෙක මාරු වී පෙනෙන්නට ගනියි. තවත් විටෙක කටුගෙය ඉතා කුඩා අංශු බවට පත්වෙයි. මෙලෙස කැරකීම්, උඩ දැමීම් අවසානයේ එක්වරම කටුගෙය උස්සා පොළොවේ ගැසීමෙන් අනතුරුව කටුගෙය අතුරුදහන් කිරීම මෙම සෙල්ලමේ අරුම පුදුම අවස්ථාවයි. මෙලෙස අතුරුදහන් වන කටුගෙය නැවතත් පෙනෙන්නට ගෙන පෙර මෙන්ම සෙල්ලම් දැමීම ආරම්භ කරයි. මේ වෙසක් සමයේ රාත්‍රියේ දර්ශනය වූ තොරණ්, කූඩු මෙන්ම නවීන තාක්ෂණය භාවිතා කොට කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට සිදුකළ මෙම ප්‍රදර්ශණය ලංකාවට නව විනෝද මාධ්‍යයක් හඳුන්වා දුන් බවට සැක නැත.

කටු ගෙය පිටුපස පසුගිය දිනවල සිදු වූ සෙල්ලම් අමතක කරන්නට, කටු ගෙය ඉදිරිපිට මෙබඳු සෙල්ලම් පෙන්නවා ඇත. නමුත් ආලෝක විජ්ජාවෙන් කටු ගෙය උස්සා පොළොවේ ගසන හැම වාරයකම මතකයට එන්නේ කටුගේ පිටුපස සිදු වූ අබිරහස් සොරකමයි. එවිට සිතෙන්නේ ඇත්තෙන්ම කටුගෙය උස්සා පොළොවේ ගසන්නේ ඉදිරිපස නොව පිටු පස බවයි. මෙහි ඇති ගැටළුව වන්නේ ලොව හොඳම බුද්ධි අංශය සහ පොලීසිය සිටින රටට තවම කටු ගෙය තුළ සිදු වී සොරකම සොයා ගැනීමට නොහැකි වීමයි. කටුගෙයි සොරකම සිදු වූ ආසන්න දිනවල ඉතා කාර්යක්ෂම වූ පරීක්ෂකවරු දැන් මොනවා කරනවා දැයි කවුරුත් දන්නේ නැත. එබැවින් කටු ගෙයි සොරකම ගැන සිදු කරන පරීක්ෂණ මේ වන විට ක්‍රම ක්‍රමයෙන් කෞතුකාගාරගත වෙමින් පවතී. කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ ප්‍රමාදවෙන විට, ඒ සිදුවීම සිදු කළේ ඒ පරීක්ෂක වරුන්ටම සම්බන්ධ පිරිසක්ය යන පාඩම අපට අතීත දේශපාලන අත්දැකීම් විසින් හොඳින්ම උගන්වා ඇත. ඉතින් එම අත්දැකීම් වලට වෙනස්ව, කටු ගෙයි කඩු වලට සිදු වූ දේ පිළිබඳව සිතීමට වෙනත් තර්කන අවශ්‍ය නැත.

අද වන විට උස්සා පොළොවේ ගසන්නේ කොළඹ පිහිටි කටුගෙය පමණක් නොවේ. සමස්ත රට පුරා ඇති පස් ගොඩවල් උස්සමින්,පෙරලමින් රට පුරා පැතීරී ඇති ඓතිහාසික උරුමයන් උස්සා පොළොවේ ගසමින් සිටියි. පසුගිය දා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කිරීමට උත්සාහ කළේ තවත් මෙවන් වූ සොරකමකි. පොලිස්පති වරයා මොනවා කීවත් විශේෂ කාර්ය බලකාය නිදන් මංකොල්ලයේ යෙදෙන්නට උත්සාහ කළ බව රටම දනියි. ඊට අමතරව පසුගිය කාලය පුරා නිදන් මංකොල්ලකෑම් බොහෝ ගණනක් බුදුන්ගේ දේශය තුළ සිදුවිය. මේ සොරකම් බොහෝ ඒවා පිටුපස ආරක්ෂක අංශ සිටි බව කවුරුත් දන්නා සත්‍යයකි. මෙම සියලු මංකොල්ලකෑම් පිළිබඳ පර්යේෂණ කටු ගෙයි සොරකමේ පරීක්ෂණ මෙන්ම කාලයේ වැලිතලාවට යටවෙමින් තිබෙයි. ඉතින් එලෙස පරීක්ෂණ යට වීම හැර, මෙම මංකොල්ලකෑම් සිදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව සිතා ගැනීමට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත.

මෑතකදී දඹුල්ල රජ මහා විහාරයේ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා බෞද්ධ ජන ගංගාවක් දඹුල්ල පුරවරයේ සෝදිසි කිරීමක නිරත විය. ඒ ලංකාවේ බුද්ධාගමට වින කටින මිථ්‍යාදෘෂ්ටිකයෝ සෙවීමටය. ලංකාවේ බුද්ධාගමට, සිංහල ජාතියට තර්ජනයක් වූ මෙම මිථ්‍යාදෘෂ්ටිකයන් පිරිසට, ස්වාමීන් වහන්සේලා සහ බෞද්ධ වැසියෝ සාදු කියමින් බනිද්දි ප්‍රාදේශීය ලේකම්වරිය පවා මුවැත්තියක් ලෙස ඒ දෙස බලා සිටියාය. බෞද්ධාගමට අයිති ඉඩම් වල වෙනත් සිද්ධස්ථාන ඉදිකරමින් මෙම මිථ්‍යාදෘෂ්ටිකයන් විසින් රටට,ජාතියට, ආගමට සිදු කිරීමට උත්සාහ දැරූ විනාශය අවසානයේදී දේශප්‍රේමීන් විසින් වලක්වා ගැනීමට සමත් විය.

ඉතින් අපට අසන්නට ඇත්තේ; ප්‍රසිද්ධියේ පුරාවස්තු මංකොල්ල කද්දී, කටුගෙයි කඩු සොරකම් කරද්දී ඒ පිළිබඳ සිදුකරන පරීක්ෂණ ප්‍රමාද වෙද්දී දඹුල්ලේ සාදුකාර දුන් අය ඇතුළු සමස්ත දේශප්‍රේමී ජනතාව මොනවා කරනවාද යන්නයි, යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය මැදිහත් වෙද්දී නොකා නොබී උපවාස කළ දේශප්‍රේමීන්, ලංකාව සතු පෞරාණික ධනය හොරකම් කරන විට ඒ සඳහා පරීක්ෂණ කරන මෙන් උපවාස නොකරන්නේ ඇයිද යන්නයි, සිංහල දෙමළ කලා උළෙල කොළඹදී පවත්වන විට, එමගින් රටට ජාතියට සිදුවන හානිය දරා ගන්නට බැරිව එම උළෙලට සහභාගී වූවන්ට පහර දුන් දේශප්‍රේමීන්ට නිදන්වස්තු මංකොල්ලකන එවුන් සොයමින් පහර දෙන්නට නොහැකි ඇයිද යන්නයි.