සිංහල, Colombo, Democracy, Governance

හරි පුදුම දේශපාලන කතා

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද්ධ දේශපාලන ක්‍රියාවළියෙහි සක්‍රීය සාධක හදුනා ගැනීම එතරම් දුෂ්කර නැති නමුත් මෙම විවිධ බලවේගයන්ගේ අනෝන්‍ය ක්‍රියාකාරිත්වය විසින් ශ්‍රී ලංකාව කවර දිසාවකට ගෙන යනු ඇත්දැයි කියා සිටිම එන්න එන්නම දුෂ්කර වෙමින් තිබේ.

දේශපාලන විවිරණ ලෙස ලියැවෙන සති අන්ත ඕපාදුප ලිපි අත හැරිය ද සතියක් පාසා අසන්නට ලැබෙන දේශපාලන පුවත් පමණක් වුව කෙනෙකු කරකවා අත හරින තරමට දේශපාලන කරකැවිල්ලක් ඇති කරයි. දේශපාලන බලවේගයන්ගේ පෙළ ගැසීම් සමහර විට සිදුවන්නේ සිතා ගැනීමට බැරි තරම් පුදුම සහගත ලෙස ය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා පිටත සිට තීරණාත්මක වැඩ කොටස කළේ ජනතා විමුක්ති පෙරමුණ ය. රට පුරා පොස්ටර් අලවමින් රැස්වීම් වේදිකා දෙදරවමින් රට පුරා ගියේ ඔවුන් ය. ඇතුළත සිට එම කාරිය කළේ මංගල සමරවීර ය. රාජ්‍ය ජනමාධ්‍ය චන්ද්‍රිකා බලපෑම මත නිහඩ පිලිවෙතක් ගෙන යද්දී ප්‍රචාරක ව්‍යාපාරය ගෙන ගිය ඒ බලවේග දෙකම දුර්වල කරනු ලැබ ඉන්නේ අද ආණ්ඩුවෙන් පිට ය. ඌව පළාත් සභාවේ මහ ඇමැති ධූරයට දේශපාලනයේ නොසිටි රාජපක්ෂ කෙනෙකු තරඟ වදින විට හිටපු මහා ඇමැති විජිතමුනි සොයිසාට නාම යෝජනාවත් ලැබුනේ නැත.

එමෙන්ම අද ජනමාධ්‍ය සංවිධාන සහ ඒවායේ නායකත්වයන්ට අල්ල පනල්ලේ බැණ වදිමින් සාමය නතර කොට යුද්ධයට පණ පෙවූ ජනමාධ්‍යවේදීන් ලෙස කෑ මොර දෙන රාජ්‍ය ජනමාධ්‍යවේදීන් ජනාධිපතිවරණයේ දී සිටියේ නිහඩව ය. ‛මහින්ද‛ නමින් පුවත්පතක් මුද්‍රණය කරමින් රාජපක්ෂ ජනාධිපතිවරණයට සහාය දුන් ප්‍රධාන ජනමාධ්‍යවේදීන් තිදෙනෙකුගෙන් එක් අයකු අද ජීවිතය බේරා ගැනීමට රටින් පිට ය. අනෙකා පැහැරගෙන යනු ලැබ පහර දී ලෙඩ ඇදේ ය. තුන්වැන්නා තනතුරෙන් පහ කරනු ලැබ ලේක්හවුස් සයිබිරියාවේ ය.
එකළ රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණ වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් දුන් අයකු අද ලේක්හවුසියේ මුල් පුටුවේ ය. ඔහු කොතරම් ශක්තිමත් ද යත් ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡයාරූප පවා මුද්‍රණයෙන් ගලවා ඉවත් කරයි. ඔහු පමණක් නොව රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමට දිවා රෑ නොබලා දරදිය ඇද්ද කතුවරු ද ජනමාධ්‍යවේදීහු ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයන් බවට පත්ව සිටිති. 2005 නොවැම්බර් මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පැමිණියේ නම් මේ සියළු දෙනා අද කොහි සිටින්නට තිබුනේ ද?
රටේ දෙවැනි නායකයා ලෙස සැළකෙන ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් සම්මුඛ සාකච්ජාවකට සහභාගි වෙමින් කියා සිටියේ එදා ආණ්ඩුවට විරුද්ධ වී අද පාට මාරු කර ඇති පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වියයුතු බවයි. එම ප්‍රකාශය උපුටා දැක්වූ මහින්ද රාජපක්ෂවාදී වෙබ් අඩවියක් එන්ජීඕ පුවත්පතක් ලෙස දැක්වූ සති අන්ත පුවත්පත් කතුවරයකුට පහර දුන්නේ ය. එලෙස පහර දුන්නේ එම වෙබ් අඩවියටම එම කතුවරයා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පසසමින් දෙන ලද සම්මුඛ සාකච්ජාවකට පිළිතුරක් ලෙසිනි.
මහින්ද රාජපක්ෂ මහතාට කල් නොයවා ජනාධිපතිවීමට අවස්ථාව සැළසුනේ එවකට අගවිනිසුරු වූ සරත් සිල්වා දුන් මතභේදාත්මක අධිකරණ තීරණයක් නිසා ය. එනයින් ඔහු සැළකුනේ ද ජනාධිපතිවරයා බලයට පත්වීමට තීරණාත්මක වැඩ කොටසක් කළ අයකු ලෙස ය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාට එරෙහි තීන්දු ගණනාවක් ද දුන්නේ ය. නමුත් පසු කළෙක අගවිනිසුරු සරත් සිල්වා ආණ්ඩුව අමාරුවට පත්කළ අධිකරණ තීන්දු ගණනාවක් දුන්නේ ය. විශ්‍රාම ගොස් සිටින සරත් සිල්වා මහතාට ඔහු දුන් සමහර තීරණාත්මක තීන්දු වලට එරෙහිව දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගණනාවක් ඉදිරිපත්ව තිබේ. එන පොට හොඳද නරකද යන්න ගැන දැන් සරත් සිල්වා මහතා නිදි නැතිව අහස පොළව ගැටලනවා ඇත.
13වන සංසෝධනය නොහොත් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ නම් තම පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන බවට තර්ජනයක් කළ හෙළ උරුම පක්ෂයේ නායක චම්පික රණවක අද පුදුමාකාර ලෙස නිහඩ ය. ආණ්ඩුවට සම්බන්ධ බවට ලසන්ත වික්‍රමතුංග විසින් කරුණු ඇතිව පෙන්වා දුන් ඉහත කී අන්තර් ජාල වෙබ් අඩවිය ජනාධිපතිවරයා විසින් චම්පික රණවකට බැණ වැදුණු වචන පවා වාර්තා කළේ ය. අනෙත් අතට හෙළ උරුමවාදි තරුණ බුද්ධිමතකු වන මාලිංග සෙනවිරත්න 13වන සංසෝධනය අවශ්‍යම බව කියන ආණ්ඩුවේ ස්විස්ටර්ලන්ත තානාපති දයාන් ජයතිලකට එරෙහි මතවාදී ප්‍රහාරයකට මුල පිරුවේ ය. හෙළ උරුමවාදි න්‍යායාචාර්‍යවරයකු සහ ඇමැති දිනේශ් ගුණවර්ධනගේ ආධාරකරුවකු වන ආචාර්‍ය නලින් ද සිල්වා ද බලය බෙදීමට එරෙහි ව්‍යාපාරය පණ පොවන්නට පටන් ගෙන තිබේ. හෙළ උරුම පක්ෂය දැන් එක්කෝ ආණ්ඩුවෙන් යා යුතු ය. නැත්නම් සිය මතවාදයෙන් ඉවත් විය යුතු ය.
ඇමැතිධුර දෙකක් ලැබීමෙන් පසු විමල් විරවංශගේ පක්ෂය 13 වන සංසෝධනය සම්බන්දයෙන් නිහඩ විය. තමන් නිහඩ වු නිසා දෝ 13වන සංසෝධනයට පක්ෂ මැති ඇමැතිවරුන් නිහඩ කරන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ ය. විමල් වීරවංශ ආණ්ඩුවෙන් ගිය ද ඇමැතිධුර ලබා ගත් අය නම් එලෙස ඉවත් නොවන බව සහතික ය.
එසේ ඉල්ලා සිටීමෙන් දින ගණනාවක් ඇතුළත ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ හින්දු පුවත්පතට කියා සිටියේ තමා 13 වන සංසෝධනය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් ජනාධිපතිවරණයෙන් පසු එම පොරොන්දුව ඉටු කරන බවත් ය. 13වන සංසෝධනය සහ තවත් වැඩිපුර දෙන බවට කරන ලද ප්‍රකාශය ගැන හින්දු කර්තෘ එන්.රාම් අසන ලද ප්‍රශ්නයට මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ හෙට උනත් එය ලබා දීමට තමා සූදානම් බව යි. ඔහු ඊටත් වඩා වැදගත් දෙයක් කියා සිටියේ ය. එනම් තමා දෙමළ ජාතික සංධානය තම විසඳුමට එකඟවන තුරු බලා සිටින බව යි.
මෙයට සති දෙක තුනකට පෙර තරම් ඉහත දී අප කවරකු හෝ දේශපාලන විසදුමක් සඳහා දෙමළ ජාතික සංධානය නොහොත් ටීඑන්ඒ අවශ්‍යම බවට කියා සිටියේ රාජ්‍ය ජනමාධ්‍ය ස්ත්‍රෝත්‍ර ගායනාකරුවන් විසින් අප කොටි ත්‍රස්ත්‍රවාදීන්ගේ අතකොළු ලෙස දක්වා හම ගසන්නට තිබුණි. නමුත් දැන් ජනාධිපතිවරයාම කියන්නේ තමා ඔවුන්ගේ එකඟතාවය අපේක්ෂා කරන බව යි. සමහරක් රාජ්‍ය ජනමාධ්‍ය ස්ත්‍රෝත ගායනාකරුවන් දෙමළ ජාතික සංධානය හැදින්වූයේ එල්ටීටීඊ ය මෙන්ම ඉවරයක් කර දැමිය යුතු සංවිධානයක් ලෙස ය.
මේ අතර කට වස්සවන ලෙස විමල් විරවංශ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි එක් ඇමැතිවරයකු වන තිස්ස විතාරණ රූපවාහිනී වැඩ සටහනකට සහභාගිවෙමින් කියා සිටියේ සර්ව පාක්ෂික සමුළුවේ තීරණ බොහෝ දුරට අවසන් බවත් ඒ අනුව දෙවන මන්ත්‍රණ සභාවක් ද ඇතිව පළාත් මට්ටමින් බලය බෙදා හැරීමට කටයුතු කරන බවයි. මෙම දෙවන මන්ත්‍රණ සභාවෙහි පළාත් සභාවන්ට නියෝජනය ලබා දීම මගින් මධ්‍යයේ බලය බෙදීමට ද කටයුතු කරන බව ද ඔහු කියා සිටියේ ය. මේ අතර ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද ද 13වන සංසෝධනය ක්‍රිියාත්මක කළ යුතු බව කියා සිටියේ ය.
තවත් වැදගත් ප්‍රකාශයක් වූයේ එක්සත් ජාතික පක්ෂයේ සහාය ඇතිව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්ද බලයකින් එකී ව්‍යවස්ථා සංසෝධන සම්මත කර ජනමත විචාරණයකට ද යන බව යි.
මේ එළබෙන්නේ අනාවැකිකරුවන් හිරගෙට යවන අනාවැකි නොකිය යුතු නොකිය හැකි කාලයක්ද ?