සිංහල, Education, Human Rights, Kandy

ගුරුවරයාගේ දඬුවමින් සිසු ඇසට තුවාල

මහනුවර අම්පිටිය බෙරවත් පාසැලේ 9 වසරේ ඉගෙනුම ලබන ධනුත් යසත් බණ්ඩාර නැමැති සිසුවාට ගුරුවරයෙකු විසින් පහර දීම හේතුවෙන් ඇසකට තුවාල සිදුවීම නිසා මහනුවර මහ රෝහලේ 59 වන වාට්ටුවට ඇතුලත් කර ඇති බව විකල්ප වෙත වාර්ථා වී තිබේ. මෙම පහර දීම සිදුවී ඇත්තේ පසුගිය 13 වෙනිදා දහවල් 1.15 පමණය.
පසුගිය 13 වැනිදා දහවල් 1.15 පමණ මෙම සිසුවා එම පාසලේම උසස් පෙළ පංතියේ සිසුවියක හා කථා කරමින් සිටීම මෙම පහරදිමට හේතුව ලෙස පැවසේ. පහරදීමෙන් ඔහුගේ වම් ඇසට තුවාල සිදුවී ඇත. එදිනම දරුවාව රෝහල් ගත කර ඇති අතර මේ වන විටත් ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
අප මේ පිළිබඳව මහනුවර මහ රෝහලේ 59 වන වාට්ටුවෙන් විමසූ විට එහි ප්‍රධාන හෙද නිළධාරිනිය පැසූවේ පහර දීමක් නිසා ඇසක් තුවාල වූ මෙම සිද්ධියට අදාල දරුවා වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි. එහෙත් මෙය නඩු කටයුත්තකට ආදාල සිදුවිමක් නිසා ඇයට වැඩි විස්තර ලබා දිය නොහැකි බවත් වාට්ටුව බාර වෛද්‍යවරයාගෙන් වැඩි විස්තර ලබාගන්නා ලෙසත් ඇය අප සමඟ පැවසූවා.
මේ පිළිබඳව විමසීමේදී මහනුවර පොලිසිය පැවසූවේ තමන්ට මේ පිළිබඳව පැමිණිල්ලක් ලැබුන බවයි. ඊයේ සිද්ධියට අදාලව දරුවාගෙන් කටඋත්තරයක් ලබාගත් බවත් දරුවාගේ දෙමාපියන්ගෙන්ද අද දින කටඋත්තර ලබාගැනීම සඳහා පොලිස් නිළධාරී මහතකු පිටත් කර හැරිය බවත් ය. ගුරුවරයා සම්බන්ධයෙන් කුමන පියවරක් ගන්නේදැයි අප නැගූ ප්‍රශ්ණයට පිලිතුරු දෙමින් එම නිළධාරියා පැවසූවේ අද දින ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.