Ampara, සිංහල, Corruption

තේක්ක කැපූ පොලිස් සහායක හා සිවිල් ආරක්ෂකයා දඟගෙට

පසුගිය 14 වන දින අම්පාර දිස්ත්‍රික්කයේ වඩිනාගල වන බිට්ටුවට අයත් රක්ෂිතයක තේක්ක ගස් 2 කපා ඉරමින් සිටි මොණරාගල දිස්ත්‍රික්කයේ 14 කනුව පොලිස් මුරපොලට අනුයුක්තව සේවය කල පොලිස් සහායකයෙකු හා සිවිල් ආරක්ෂක භටයෙකු වඩිනාගල අඩවි වන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි වාර්ථාවේ.
මෙසේ දැව ඉරීම සඳහා මෙම පොලිස් සහායකයා හා සිවිල් ආරක්ෂක නිළධාරියා යොදවා ඇත්තේ අදාල මුරපොලේ ස්ථානාධිපතිවරයා වන අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනිමෙන් පසු වන නිළධාරින්වෙත පැමිණි මුරපොලේ ස්ථානාධිපතිවරයා වන සංරක්ෂණ නිළධාරීන් වෙත පවසා ඇත්තේ ඔහුගේ නම චූදිතයෙක් ලෙස යොදා අදාල නිළධාරින් දෙදෙනා නිදහස් කරන ලෙයසි. එසේම දැව ඉරීම සඳහා භාවිතා කල ජංගම ලී ඉරුම් මැෂිම හා ට්‍රුක්ටරයද ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් බලහත්කාරයෙන් රැගෙනවිත් ඇති බවද විකල්ප වෙත වාර්ථාවේ.
අප මේ පිළිබඳව අම්පාර දිසා වන නිළධාරී කාර්යාලයෙන් විමසූ විට ඔවුන් පැවසූවේ මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කළ බව සත්‍ය බවයි. එයට පොලිසියේ ඇති සම්බන්ධය පිළිබඳව අප විමසූ විට දිසා වන නිළධාරි කාර්යාලයේ නිළධාරියා පැවසුවේ තමන්ට ආරංචි වූ ආකාරයට මේ සිද්ධිය සඳහා පොලිසීය සම්බන්ධ බව සත්‍ය බවයි. එහෙත් අදාල වැටලීම කළ අඩවි වන නිළධාරියා තවම මේ පිළිබඳව වාර්ථාව ලබාදී නැති බැවින් ඒ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බව ඔහු පවසා සිටියා. මේ සිද්ධිය පිළිබඳව පොලිස් අධිකාරීවරයා දැනුවත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසූවා. පසුව අප අඩවි වන නිළධාරියාව සම්බන්ධ කර ගත් අතර ඔහු පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා පොලිසියට සම්බන්ධ බව තමන් නොදන්නා බවයි. එසේම මෙය අධිකරණයේ විභාග වන කටයුත්තක් නිසා වැඩියමක් ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු පැවසූවා.
මේ පිළිබඳව මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් විමසූ විට ඔහු පැවසූවේ තමන්ට එවැනි පැමිණිල්ලක් ලැබි නොමැති බවයි.