සිංහල, Colombo, Democracy, Features, Governance, Life quips, Media

අලි පැටව් සහ දරු පැටව්

පින්නවල අලි අනාථාගාරයෙන් ගෙනගොස් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද අලි පැටව් දෙදෙනාගේ කතාව ශ්‍රී ලංකාවේ පුරාවෘත්තයක් වන තරමට දැන් පරසිඳු ය. මේ අලි පැටවුන් දෙදෙනා ගැන නොලියූ නොකියූ, නොපෙන් වූ පුවත්පතක්, රේඩියෝවක්, රූපවාහිනියක් හෝ වෙබ් අඩවියක් හෝ ශ්‍රී ලංකා ධරණීතලයෙහි නැත. ලියන ලද කතුවැකි දෑසට කදූළු සහ සිතට වෛරය ගෙනෙයි. මේ සා අපරාධයක් සසිරිබර ලෝකෙම්ම උතුම් ශ්‍රී ලංකාද්වීපයේ සිදුවුයේ කෙසේ දැයි වික්ෂිප්ත වූ මාධ්‍යවේදීහු ද සත්ව අයිතිවාසිකම් ආරක්ෂකයෝ ද දළදා මාළිගාවේ දියවඩන නිලමේ සමග මහා සටනක් අරඹූහ. සටන ජය පරාජයක් නැතිව තවම ඉදිරියට යයි.

වසර තුනක් වයසැති රාජු සහ සින්දු යන මෙම අලි පැටව් තිදෙනා දළදා මාලිගාවට පූජා කරන ලද්දේ අමාත්‍ය මංඩළයේ අනුමැතියකිනි. ඒ දළාදා මාළිගාවේ බෞද්ධ පෙරහැර යනාදියට සහභාගි කර ගැනීම පිණිස ය. අමාත්‍ය මංඩළයේ කිසිවකු එම තිරණයට විරුද්ධ නොවූහ.

මේ වන විට සත්ව ආරක්ෂක සංවිධාන දෙකක් මෙම අලි පැටවුන් දෙදෙනා යළි මව් තුරුලට යැවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ. ඉන් එක් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබූයේ ජනාධිපති ජනමාධ්‍ය උපදේශකවරයකු වන ලූෂන් රාජකරුණා මහතාගේ බිරිඳ විසිනි. අනෙක් පෙත්සම සෙෘඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වාගේ බිරිඳ විසිනි. මෙම පෙත්සම් දෙකම ජනමාධ්‍යයෙහි මහත් ප්‍රසිද්ධියක් ලබා ගත්තේ ය.

අලි පැටව් දෙදෙනා වෙනුවෙන් පසුගිය සති අන්ත පුවත් පත් වචන දහස් ගණනින් විශේෂාංග පළකරමින් සටනට දායක වූහ. සන්ඩේ ටයිම්ස්, ලක්බිම ඉන්ග්ලිශ්, සන්ඩේ ලීඩර්, ද නේෂන් යන සියළු සති අන්ත පුවත්පත් මෙම අලි පැටව් දෙදෙනා ගැන ලිපි පළ කළහ. රාජ්‍ය පාලිත ජනමාධ්‍ය හැර අන් සියළු සිංහල සති අන්ත පුවත්පත් ද මෙම අලි දරු පුවතට කැපී පෙනෙන තැනක් ලබා දුන්නේ ය.

රටක දේශපාලන සාකච්ජාවේ න්‍යාය පත්‍රය සකස් කිරීමට දායක වීම ජනමාධ්‍යයේ එක් කාර්‍ය භාරයකි. මේ අනුව කළ අලි පැටව් දෙදෙනාගේ කතාව රටෙහි ප්‍රධාන පුවතක් බවට පෙරළීමට ද ඊට විසඳුමක් සෙවීමට ද ජනමාධ්‍ය මහත් සේ දායක වූහ.

උදාහරණයක් වශයෙන් දිවයින සහ දි අයිලන්ඩ් පුවත්පත් විශේෂාංග ලිපිවලට අමතරව මේ සම්බන්ධයෙන් කතුවැකි දෙක බැගින් ලියූහ. මේ අලි පැටවුන් දෙදෙනා එම කතුවැකි වලින් දක්වන ලද්දේ මෙළෙස සිය මවගෙන් අලි දරුවන් පැහැරගෙන යෑම ජනාධිපතිවරයාට එරෙහිව කරන ලද කුමංත්‍රණයක් ලෙස ය. ජවිපෙට පක්ෂපාතී ඉංග්‍රිසි වෙබ් අබවියක් වන ලංකා ටුර්ත් ජූලි 27 සහ ජූලි 31 අතර තුරු මේ සම්බන්ධ දීර්ඝ වාර්තා පහක් පළ කළේ ය. මෑතදී ලංකාණ්ඩුව විසින් තහනම් කළ ලංකා නිව්ස් වෙබ් අඩවිය එම කාලය තුළ වාර්තා 4ක් අලි පැටවුන් වෙනුවෙන් වෙන් කළේ ය.

රාජු සහ සින්දු ගැන සිය කතුවැකිය ලියමින් වඩා වැදගත් මානුෂිය කරුණක් මතු කළ පුවත්පතක් ද විය. ඒ දෙමළ බසින් පළවන තිනක්කූරල් ය. ඒ මෙසේ ය: අලි පැටව් දෙන්නයි වව්නියා කඳවුරු ජනතාවයි. සති අන්ත සිංහල හෝ ඉංග්‍රීසි පුවත්පත් කිසිවක් එම සති අන්තයෙහි මේ කඳවුරු ගතකළ මේ ජනයාගේ ප්‍රශ්න ගැන විශේෂාංග කිසිවක් පළ කළේ නැත.

සසිරිබර ලෝකෙම්ම උතුම් ශ්‍රී ලංකාවෙහි මේ වන විට 300,000 ක ජනතාවක් දෙමසකට වඩා සිය කැමැත්තට පිටින් ආණ්ඩුවේ සරණාගත කඳවුරුහි රඳවා සිටින බව රහසක් නොවේ. අඩුම වශයෙන් මේ ජනයා තවත් මාස හය හතක් සමහර විට වසරකටත් වඩා රඳවා තිබෙනු ඇත්තේ මේ කඳවුරු වල ය. මේ කඳවුරුහි ගාල් කර සිටින ජනයාගේ තත්ත්වය ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාරට සහ ආණ්ඩුවාදී දෙමළ දේශපාලනඥ වී. ආනන්ද සංගරීට අනුව ඉතාම කණගාටුදායක ය. හිටපු අගවිනිසුරුට අනුව නීතියෙන් පිටුවහලක් නැති ජනතාවකි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට අනුව ලොව කොතැනකවත් දැක නැති තරම් ඛේදජනකය. එම ජනයා බෝවෙන රෝ පිඩාවන්ගෙන් බැට කති. පැපොල රෝගීන් 5,000කි. ඇස් ලෙඩුන් ගණන දන්නා අයෙක් නැත. ඔව්නට ලැබෙන සුව සේවාවන් අප්‍රමාණවත් ය, නෑමට සහ සේදීමට ජලය නැති තරම් ය, වැසිකිළි ඇත්තේ 100 දෙනෙකුට එකකි, සියල්ළටමත් වඩා කතා කිරීමේ සහ ගමනාගමනයේ නිදහස නැත. මේ වනාහී අපේම රටේ ජන පිරිසකි.

රාජු සහ සින්දු පිළිබඳ ප්‍රශ්නය ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් බවට පත්කළ ශ්‍රී ලංකාවේ සිංහල සහ ඉංග්‍රිසි ජනමාධ්‍ය ලක්ෂ තුනක් වන මෙම ජනයාගේ ප්‍රශ්නය සහමුලින්ම වාගේ අමතක කර දමා නැත්ද?

රාජු සහ සින්දුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පවරන ලද නඩු උදෙසා ජනමාධ්‍ය ලබා දුන් ප්‍රසිද්ධිය මෙකී 300,000 වන ජනයාගේ අයිතිවාසිකම් උදෙසා පවරන ලද නඩු සම්බන්ධයෙන් ලබා දුන්නේ ද? එවැනි නඩු පවරා ඇති බව ඔබ දන්නේ ද? මෙම අලි පැටවුන් දෙදෙනාගේ අයිතීන් වෙනුවෙන් වචන දහස් ගණනින් යුතු විශේෂාංග පළ කළ පුවත්පත් මෙම 300,000 වන ජනයාගේ අයිතීන් සම්බන්ධයෙන් පළ කළ එවැනි එක් ලිපියක් හෝ ඔබ දැක තිබේ ද?

රාජු සහ සින්දුගේ හිත කකියවන ජායාරූප සෑම පුවත්පත්කම පළ විය. වවුනියාවේ කඳවුරු ගත කර සිටින 40,000 තරම්වන දරුවන්ගේ දුක් පීඩා පෙන්වන එකදු ජායාරූපයක් හෝ එම දරුවන්ගේ අයිතීන් ගැන ලියූ එක් ලිපියක් හෝ පළවනු ඔබ දැක තිබේ ද? ඒ වෙනුවෙන් උසාවි ගිය එක් ළමා අයිතිවාසිකම් සංවිධානයක් හෝ වෙත් ද?

මෙම කඳවුරුවල සිටි 50,000 පමණ නීතිවිරෝධීව පිටකර ඇතැයි ආණ්ඩුවට පක්ෂපාතී දෙමළ මංත්‍රීවරයකු විසින් කියූ බවට පසු දිනෙක වාර්තාවක් පළ වූ බව ඔබ දන්නේ ද? ඉන් අදහස් කැරෙන්නේ මෙම කඳවුරු කරා ගෙන ආ ජනයාගෙන් 50,000 දැන් ඒවායේ නැති බව ද? මෙම පිරිස් පිට කරන ලද්දේ ආණ්ඩුවට සම්බන්ධ වෙනත් දෙමළ දේශපාලන පක්ෂ විසින් රුපියල් 500,000 යේ සිට 1,000,000 දක්වා අල්ලස් ලබා ගැනීමෙන් පසුව යැයි එම මංත්‍රීවරයා කී බව ඔබ දන්නේ ද?

මෙම ජනයාගෙන් සියයට 80ක් නොවැම්බර් අගවන විට යළි පදංචි කරවන බවට ආණ්ඩුව ලෝකයට පොරොන්දු වී ඇති බව ඔබ දන්නේ ද? මෙම පිරිස් අතර 20,000ක් එනම් සෑම 15 දෙනෙකුටම එක් අයෙක් එල්ටීටීඊ හිතවාදීන් විය හැකි බව ආණ්ඩුව කියන බව ඔබ දන්නේ ද? ඒ දැනටමත් වෙනම රඳවා ඇති 10,000 තරම් වන එල්ටීටීඊ සැකකරුවන්ට අමතරව බව ඔබ දන්නේ ද? මේ සංඛයාව යුද හමුදාව විසින් යුද්ධයේ දී මරා දමන ලද බවට ප්‍රකාශිත 22,000 වන එල්ටීටීඊ සටන්කරුවන්ට අමතරව බව ඔබ දන්නේ ද?

අපට අවශ්‍ය දවසේ වැදගත්ම සාකච්ජාවක් වනුයේ මෙය යි. එනමුත් ස්වයං වාරණයේ තිරපට විසින් එම සාකච්ජාව යටපත් කරනු ලැබ තිබේ. ඒ නිසා අපි අලිපැටව් සහ ඇතින්තියන් ගැන කතා කරමු.