Colombo, Featured Articles, Features

විරෝධතාවයන් අනතුරට ලක් වීමට පෙර


”ඔයාලා කවුද? කොහෙන්ද ආවෙ? අපි ආණ්ඩුවට විරුද්ධ වෙන්න හිතාගෙන මේ උද්ඝෝෂණය කරනව කියලා ඔයාලා හිතනව නම් ඒක වැරදියි. අපිට ඕනෙ ආණ්ඩුවට විරුද්ධ වෙන්න නෙමෙයි. ඒක නිසා මේක ගැන මුකුත් ඔයාලට කියන්න අපිට බැහැ.”

මෑත දිනක ඉසෙඞ් ස්කෝර් ගැටළුව පිළිබඳව විරෝධය දක්වමින් පැවැති උද්ඝෝෂණයකදී ඒ පිළිබඳව විමසීමට ගිය විට ශිෂ්‍යයන් කණ්ඩායමක් මෙබඳු ප‍්‍රකාශයක් කරනු ලැබීමෙන් පැහැදිලිවන්නේ වර්තමාන උද්ඝෝෂණ ක‍්‍රියාවලිය තුළ පවතින උග‍්‍ර අදේශපාලනික භාවයයි. ඔවුන් පවතින රජයට තමන්ගේ ඉසෙඞ් ඉස්කෝර් ගැටළුව විසඳන ලෙස මහපාරේ විරෝධතාවය දක්වන අතරම, ඔවුන් ආණ්ඩු විරෝධී නොවන බවද පවසයි. එක් අතකින් ‘ඒස්.බී, බන්දුල ගෙදර යනු’ යනුවෙන් සඳහන් කර ඇති පුවරු අල්ලාගෙන සිටින ඔවුන් අනෙක් අතින් තමන් ආණ්ඩුවට විරුද්ධ නැති බවද පවසයි. අනාගත අරගලයකට අවැසි ජව සම්පන්න තරුණයා මෙසේ බියගුළු ප‍්‍රකාශ නිකුත් කරන තත්ත්වයක් තුළ ලාංකීය විරෝධතා භූමියට ඇත්තේ අවිනිශ්චිත අනාගතයකි.

”අද පාසැල් අධ්‍යාපනය තුළ හදන්නෙ තනි මිනිහෙක්. ආත්මාර්ථකාමී මනුෂ්‍යයෙක්. සාමුහිකව මැදිහත් වෙන්න, තවත් කෙනෙකුට උදව් කරන්න දැන් තියෙන අධ්‍යාපන ක‍්‍රමය ඇතුළෙ හදන්නෙ නැහැ. සමහරක් අය උද්ඝෝෂණ වලට සම්බන්ධ වෙන්නෙ තමන්ට අදාල කේෂත‍්‍රයෙ විතරයි. අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි වෙන්නෙ එක පිරිසක් විතරයි. ඒ අය ගොවියගෙ ප‍්‍රශ්න වලට මැදිහත් වෙන්න එන්නෙ නැහැ. කම්කරුවන්ගෙ ප‍්‍රශ්නෙට මැදිහත් වෙන්න එන්නෙ නැහැ. වෛද්‍ය පීඨයෙ පිරිස එන්නෙ පෞද්ගලික වෛද්‍ය පීඨය පරද්දන්න විතරයි. පවතින සමාජ ක‍්‍රමයට සාමුහික පැවැත්ම හරියන්නෙ නැහැ. මෙන්න මේ තත්ත්වය වෙනස් කරන්න ඕනෙ.”

මෙසේ පවසන්නේ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ විසිනි. අදේශපාලනික තාරුණ්‍යය යනු පවතින ක‍්‍රමයේ අවශ්‍යතාවයක් බව මෙහිදී ධම්මික පවසයි. එමෙන්ම වර්තමාන විරෝධතා භූමිය තුළ පවතින ප‍්‍රධාන ගැටළුවක් මෙහිදී ධම්මික විසින් ඉස්මතු කරයි. එනම් එක් එක් පුද්ගලයන් විසින් විරෝධතාවයේදී මැදිහත් වන්නේ ඒ ඒ පුද්ගලයාට අදාල ක්ෂේත‍්‍රය තුළ පමණි. සාමුහික වශයෙන් සමාජ ගැටළුවලට මැදිහත් වනවා වෙනුවට හුදෙකලා සටන් පමණක් විරෝධතා ලෙස දකින්නට ලැබීම මෙහි ප‍්‍රතිපලයකි. ඉසෙඞ් ස්කෝර් සම්බන්ධයෙන්, පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන්, ආචාර්යවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් මහා ජනගංගා පසුගිය කාලයේ කොළඹට ගලා ආවේය. නමුත් ආණ්ඩුවේ ප‍්‍රහාරයන් හමුවේ මිය ගිය නිමලරූබන් වෙනුවෙන්, දිල්රුක්ෂන් වෙනුවෙන් විරෝධතාවය දක්වන්නට මිනිසුන් එකා දෙන්නා බැගින්, තැන් තැන් වලින් එකතු කරන්නට සිදුවිය. තමන්ගේ කේෂත‍්‍රයේ ගැටළු සම්බන්ධයෙන් පවා සෘජුව ඉදිරිපත් වීමට නොහැකිව මුළු ගැන්වෙන සමාජයක අනෙකාගේ ගැටළුව පිළිබඳව මැදිහත් වනවා යන්න අද සිහිනයක් බවට පත් වී තිබේ.

නිදහස් අධ්‍යාපනය සුරැකීම සම්බන්ධයෙන් වූ මහා රැළියක් පසුගිය දා කොළඹ විහාර මහ දේවී එළිමහන් රංග පීඨයේ පැවතිණ. එදා මහා ජන ගංගාවක් විහාර මහ දේවී උද්‍යානයට එක් රොක් විය. විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන්, වෘත්තීය සංගම් නියෝජිතයන්, ශිෂ්‍ය සංගම් නියෝජිතයන් ජනතාව ඇමතීය. ආණ්ඩුවට එරෙහි ඕනෑම විරෝධයකදී සෘජුව මැදිහත් වන ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න ද එදින ජනතාව ඇමතීමට බලා සිටියේය. නමුත් ඔහුට දේශනයක් දීම සංවිධායක වරුන් විසින් මගහැර තිබිණ. මේ තත්ත්වය පිළිබඳව එම රැලිය සංවිධානය කළ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වන සංජීව බණ්ඩාරගෙන් විමසා සිටි විට ප‍්‍රකාශ කර සිටියේ එදින වික‍්‍රමබාහුට කතාවක් දුන්නේ නම් එයට විරෝධතාවය දැක්වීමට සූදානම් වී බොහෝ පිරිසක් බලා සිටි බවයි. වික‍්‍රමබාහු කරුණාරත්න ඒ වන විට තමිල්නාඩුවේ පැවති සමුළුවට සහභාගී සිට පැමිණීමෙන් කුපිත වූ උග‍්‍ර ජාතිවාදී ශිෂ්‍යයන් පිරිසක් වික‍්‍රමබාහු කරුණාරත්න කතා කළේ නම් හූ කියන්නට බලා සිටි බැවින් ඔහුගේ කතාව අවලංගු කළ බව සංජීව බණ්ඩාර පැවසීය. පළමුවෙන්ම මෙවැනි ජාතීවාදී පිරිස් විරෝධතාවයන්ට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වගකිව යුතුය. වර්තමාන ලාංකීය විරෝධතා භූමිය තුළ අවස්ථාවාදයට මෙය කදිම නිදසුනකි. ඔවුන්ගේ විරෝධතාවය පවතින්නේ එක් සීමාවක් දක්වා පමණි. පවතින පාලන ක‍්‍රමය විසින් අතිශය දරුණු ලෙස තම අයිතිවාසිකම් කඩ කර ඇති මොහොතේ වුවත් ඔවුන් තම ජාති හිතෛශීය භාවය පිළිබඳව අමතක නොකරන්නට වග බලාගෙන ඇත. වික‍්‍රමබාහු කරුණාරත්න පැමිණියේ තවත් ජාතියකගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිට බව සිතීමේ ශක්තිය ඔවුන්ගේ ජාතීවාදී දෑස් විසින් මග හැර ඇත. ඉතින් වර්තමාන විරෝධතා භූමිය තුළ සිටින්නේ ජාතිය ඉදිරියේ දෙඇස් අන්ධ කරගත පිරිසක් නම් ඔවුන් සමග අප සිදුකරන විරෝධතාවය පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුව ඇත.

”ආචාර්යවරුන්ගේ ඉල්ලීම් මම හිතන්නෙ සාධාරණයි. වැටුප් වැඩි කරන්න කියන එක, අධ්‍යාපනයට වෙන්කරන ප‍්‍රමාණය වැඩි කරන්න කියන එක, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කරන්න කියන එක අද අද ලංකාවේ අධ්‍යාපන කේෂත‍්‍රයට අතිශයින්ම වැදගත්. ඒ සඳහා මම මගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. නමුත් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ ප‍්‍රශ්න කරන අපගේ ගුණාත්මකභාවය මොකක්ද? උදාහරණයක් හැටියට අද විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතින් ලියැවෙන බොහෝ ලිපි අරගෙන බැලූවහම ඒව ශාස්ත‍්‍රීයව හරි දුප්පත්. එයින් පැහැදිලි වෙන්නෙ ඔවුන්ගේ අධ්‍යනයේ ඇති මදිකම.”

පේරාදෙණියේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි විසින් වර්තමාන විශ්ව විද්‍යාල ආචාර්ය අරගලය දකින්නේ ඒ ආකාරයටය. මහාචාර්යවරයා ප‍්‍රකාශ කළ ආකාරයට පවතින ආණ්ඩුව විසින් අධ්‍යාපනය පිළිබඳව සිදුකරන හානිය වැළැක්වීමට ආචාර්යවරුන් විසින් සිදු කරන මැදිහත් වීම අතිශයින්ම වැදගත්ය. නමුත් සීමිත පිරිසක් හැරුණ විට අද විශ්ව විද්‍යාල තුළ සිටින බොහෝ පිරිසක් ව්‍යාපාරිකයන් බව පැවසුවාට වැරැද්දක් නොමැත. බොහෝ ආචාර්යවරුන් ශාස්ත‍්‍රීයව අතිශය උදාසීන තත්ත්වයකට අද පත් වී ඇත. මහාචාර්යවරයා පවසන පරිදි ඔවුන්ගේ ලිපි සහ ඔවුන්ගේ සමාජීය මැදිහත් වීම් මෙයට කදිම උදාහරණ සපයයි. අනෙක් කාරණය නම් නව දැනුමක් පිළිබඳව ඔවුන්ට කිසිදු අදහසක් නොමැත. බොහෝ විශ්ව විද්‍යාල තුළ සිදු කරන්නේ පැරණි සටහනක් නොනවත්වා ගායනා කිරීමත්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් එය ලියා ගැනීමත් පමණි. ශිෂ්‍ය ශිෂයාවන්ට දැනුම සම්බන්ධයෙන් පිපාසයක් සකසනවා වෙනුවට ඔවුන් සිදු කරන්නේ විභාගයට සරිලන ශිෂ්‍යයෙක් බිහිකිරීම පමණි. අද ආචාර්යවරුන්ගේ අරගල භූමිය තුළ සිටින බොහෝ පිරිස් මෙබඳු වූ චර්යාවක් උරුම පිරිසකි. ඉතින් මොවුන් වැටුප් වැඩිකිරීමට එහා වූ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් වෙනුවෙන් තම කාලය කැප කරයි දැයි යන්න අවිනිශ්චිතය.

වර්තමාන විරෝධතා භූමිය තුළ පවතින මෙබඳු වූ ගැටළු පිළිබඳව අද වෙනදාටත් වඩා සිතීමට කාලය එලඹ ඇත. මන්ද අද අප ගත කරන්නේ තනි පුද්ගල සිහින දකින, අතිශය අදේශපාලනික මිනිසුන් ජීවත් වන සමාජයක බැවිනි. විශේෂයෙන්ම මිනිස් අයිතිවාසිකම් පිළිබඳව කිසිදු ආකාරයේ සැලකිල්ලක් නොදක්වන බඩගෝස්තරවාදී පාලන ව්‍යුහයක් තුළ සිදුවන අසාධාරණ කම් අවසන් කිරීමට, බියගුළු, ශක්තිමත්නැති, දේශපාලන අනවබෝධයෙන් පසුවන, අවස්ථාවාදී පුද්ගලයන්ගෙන් සමන්විත විරෝධතාවයන්ට නොහැකිය. මෙසේ කියන්නේ පවතින විරෝධතාවයන් විනාශ කිරීමට නොව වඩාත් ශක්තිමත් කිරීමට බවද මතක තබා ගත යුතුය.

සටහන – චමිල ප‍්‍රියංක[Chamila Priyanka]

[Photo:File.VIKALPA]