Colombo, Featured Articles, Features

ධනවතුන්ගේ ප‍්‍රවේණිය දුප්පතුන්ගේ අයිතියට: රාජ්‍ය ආයෝජනයන් තුළ ද.දේ.නි. 6% ක් අධ්‍යාපනයට

[Image – Vikalpa]

පසු කලෙක අධ්‍යාපන ඇමති වූ සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර 1944 දී අධ්‍යාපනය පිළිබඳ විශේෂ කමිටුවේ නිර්දේශයන් රාජ්‍ය සභාවට ඉදිරිපත් කරමින් 19 වන සියවසේ ස්කොට්ලන්තයේ විසූ එක්තරා ජූරි සභික, දේශපාලනඥයෙකුගේ වූ ප‍්‍රකාශයක් මෙසේ උපුටා දැක්වීය. ‘‘ගඩොලින් බැදි රෝමය සොයා ගැනීමත් එය පිගන්ඩොල්වලින් පිරි එකක් ලෙස ශේෂ කිරීමත් ශ්‍රේෂ්ට ඔගස්ටේගේ ආත්ම වර්ණනාවක් වුනා. අපිට දවසක කියන්න පුලූවන් නම් අපි අධ්‍යාපනය ඉතාමත් අධික මිලකට සොයා ගත්මුත් අපි එය ඉතා ලාභදායී මිලකට එය ඉතිරි කළා කියලා, අපි එය මුද්‍රා තබන ලද පොතක් ලෙසට සොයාගෙන විවෘත ලිපියක් ලෙස ශේෂ කළා කියලා, අපි අධ්‍යාපනය පොහොසතුන්ගේ ප‍්‍රවේණියක් ලෙසට සොයා ගත්මුත් අපි එය විවෘත දුප්පතුන්ගේ අයිතියක් ලෙසට ඉතිරි කළා කියලා, මෙම රාජ්‍ය මන්ත‍්‍රණ සභාව කෙතරම් උදාර වෙයිද?’’ දශක ගණනාවක් පුරා රටෙහි නිදහස් අධ්‍යාපනය සඳහා මං හෙළි කළ එම ප‍්‍රතිසංස්කරණ සකස් කරන ලද්දේ විවිධ ජනවර්ගයන් නියෝජනය කළ අධ්‍යාපනඥයින් 23 දෙනෙකුගෙනි. මෙම කමිටුව අවුරුදු 3ක් පුරා යාපනය, නුවර, ගාල්ල, මඩකලපුව සහ කොළඹ යන ස්ථානයන්හි සංචාරය කරමින් එකතු කරන ලද දත්ත මත එය සකස් කෙරිණි. 24 වන වාර්ෂික වාර්තාව, එනම් කමිටුවේ වාර්තාව අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් සඳහා අවධානය යොමු කළ යුතු කාරණා සහ ඊට අදාල සන්ධර්භයන් පිළිබඳ අවධානය යොමු කර තිබුණි. එවකට ලංකාව තුළ අධ්‍යාපනයට අදාල වූ කරුණු පිළිබඳ පසුබිමත් සහ ඊට අදාල පුඑල් විග‍්‍රහයත් එම වාර්තාවේ තිබූ ශක්තිය විය. කෙසේ වුව ද එය නිදහස් අධ්‍යාපනය සඳහා නම්‍යශීලි ඉල්ලීම් වෙනුවෙන් ඉඩ විවර කරමින් රටෙහි අධ්‍යාපනය පිළිබඳ විශාල සන්දිස්ථානයක් සලකුණු කිරීමට සමත් විය.

ඉන් අවුරුදු 70කට පසු අද දවසේ නිදහස් අධ්‍යාපනය තර්ජනයකට ලක්වී ඇති අතර සහ එය ඇත්තේ විනාශයේ මුව විටයි. ආණ්ඩුව විසින් රහසිගතව සකස් කරන ලද පෞද්ගලික අධ්‍යාපන පනත් කෙටුම්පතට පසුගිය ජනවාරියේ දැක්වූ විරෝධතා හේතුකොටගෙන කල් දැමුවද අනෙකුත් ඊට පෙර තිබූ ආණ්ඩූන්ද ඇතුලත්ව නිදහස් අධ්‍යාපනය සාමයේ සැතපවීමට සියල්ලේ කටයුතු කළහ. සෑම කල්හිම අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන ලද ප‍්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.9% ට වඩා අඩු විය. අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන ලද මුදල් ප‍්‍රමාණය ඉතාමත් අඩු මට්ටමකට පත් කරද්දී බොහෝ විට එය ලෝකයෙන්ම අඩුම ප‍්‍රතිශතයක් වන තරමට පත් විය. මෙම නොසලකා හැරීම පෞද්ගලික අධ්‍යාපනය ප‍්‍රවර්ධනය කරන්නක් වූයේ එමගින් සිය දරුවන් අධික මුදලක් ගෙවා උපකාරක පන්ති සඳහා යොමු කිරීම, ජාත්‍යන්තර පාසල් සඳහා හෝ ඩිප්ලෝමා හැදෑරීම සඳහා යොමු කිරීම, පිට රට විශ්ව විද්‍යාල හෝ පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා යොමු කිරීමට දෙමාපියන් පෙළඹවීමෙනි. ඉතාම අසරණ ලෙස ආධාර ලබන මහජන අධ්‍යාපනය පෞද්ගලික සේවාවන් සමගින් වර්ධනය කළ හැකි ලෙස අධ්‍යාපනය වෙනුවෙන් වන රාජ්‍ය ආයෝජනයන් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරන ලෙස විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සංගමය විසින් ඉල්ලා සිටින විට එම ඉල්ලීමට සහාය දැක්විය යුත්තේ මේ මතයි. එම ඉල්ලීම 1940 දී නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කන්නන්ගරගේ නිර්දේශයන් සහ ඔහුගේ කමිටුව විසින් ඉල්ලා සිටි යෝජනාවන්ගේද ගෞරවය දිනා ගනු ඇත.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් අධ්‍යාපනයට අදාල බොහෝ ඉල්ලීම් සහ කරුණු මතු කරයි. එනම් පරිපාලනයට දේශපාලනික පත් කිරීම්, විශ්ව විද්‍යාල අවකාශය මිලිටරීකරණය, ලකුණු ප‍්‍රශ්නය සහ ග‍්‍රාමීය පාසල් වසා දැමීම ආදිය පිළිබඳවය. ඒ ගැන බොහෝ ශාස්ත‍්‍රඥයින් විසින් මෑත කාලීනව ලියා ඇතිමුත් මා මෙහිදී ආමන්ත‍්‍රණය කිරීමට උත්සාහ කරන්නේ 6% ඉල්ලීමෙහි දේශපාලන ආර්ථිකය පිළිබඳවය. මෑත කාලීන ඉතිහාසය තුළ වඩාත් තීක්ෂණමය දේශපාලනික ඉල්ලීම් අතර එකක් වූ 6% ඉල්ලීම ප‍්‍රධාන තලයේ ආර්ථික විද්‍යාඥයින් විසින් මතවාදීමය හේතු මත මගහැර හෝ ඉවත දමා ඇත. ගෝලීය ආර්ථික අර්බුදයේ ඉහළ යාමත් සමග ඇතිවූ ආර්ථික තත්ත්වය සහ එමගින් තවදුරටත් ඉල්ලා සිටින සමාජ සුභ සාධනය කපාහැරීම සහ ඉතා අරපරිස්සමට ජීවත් වන ලෙසට කරන පෙළඹවීම මගින් හෝ ඒ පිළිබඳ නව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින්ගේ මගහැරීම මගින් හෝ නව ලිබරල් ජාත්‍යන්තර ආයතන වන ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනාදියෙ හි ස්ථාවරයන් මගින් හෝ අප 6% ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කිරීමෙන් වලක්වා නොගත යුතුයි.

දළ දේශීය නිෂ්පාදිතය සහ සංවර්ධනය පිළිබඳ නැවත සිතීම

මූලිකව විශ්ව විද්‍යාල අචාර්යවරුන් 5000 කින් සමන්විත 6% ඉල්ලීම අද වනවිට පාසල් ගුරුවරු 230000 කගේ, මිලියන 4කට අධික ළමුන්ගේ සහ ඔවුනගේ දෙමාපියන්ගේ මෙන්ම මුඑමහත් වැසියන්ගේම අවධානය දිනා ගැනීමට සමත් වී ඇත. ඒ අනුව මෙම 6% ඉල්ලීම මහජනයාගේ ඉල්ලීමක් බවට මෙන්ම එය අපගේ සමාජය පිළිබඳ කියවීමක් බවටද පත්ව ඇත. මේ තත්ත්වයන් තුළ මා ප‍්‍රශ්න කිහිපයක් ඇසීමට කැමතියි. මෙම ඉල්ලීම ආර්ථිකය පිළිබඳ රැඩිකල් වෙනස්මය සිතීමකට ඉඩ විවර කර දෙනු ඇත්ද? උදාහරණයක් ලෙස අපගේ සමාජයේ අනෙක් වැදගත් අංශ වන සෞඛ්‍ය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් කොපමණ ප‍්‍රමාණයක් ආණ්ඩුව වැය කළ යුතුද? රාජ්‍ය විසින් සමාජ සුභසාධනය සඳහා ඉටු කළ යුතු යැයි ඉල්ලා සිටින ඉහත කී ඉල්ලීම් ආර්ථිකය පිළිබද අපගේ සමාජ අපේක්ෂාවන් සමග සම්බන්ධ වන්නේ කෙසේද? දළ දේශීය නිෂ්පාදිතය සහ ආර්ථික වර්ධනය හැරුණු විට ඉන් රටෙහි මුඑ භාණ්ඩ සහ සේවාවන් පිළිබඳ වෙනත් දෙයක් අදහස් වේද? විශේෂයෙන්ම මෙම ආර්ථික වර්ධනයෙන් ඵල ප‍්‍රයෝජන ලබන්නේ කවුද?

පසු ගිය අවුරුද්දේ ආණ්ඩුව විසින් දළ දේශීය නිෂ්පාදිතයෙහි වර්ධනය 8% යැයි සහ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 2800 බවද කියමින් ආත්ම වර්ණනාවක නියැලූණි. එහෙත් දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා යොමු කරන ලද ප‍්‍රතිශතය 2005 සිට 2010 දක්වා කාලය තුළ 2.9% සිට 1.9% දක්වා අඩු වන විට සහ විශ්ව විද්‍යාල සිසුවෙකුට කරන ලද වියදම ප‍්‍රතිශතයක් ලෙස 130% සිට 70% දක්වා අඩුවන විට මෙම අංකයන්හි ඇති තේරුම කුමක්ද? අධ්‍යාපනය සහ සමාජ සුභ සාධනය කෙරෙහි ඉතා විශාල වශයෙන් පහර දීම රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රචාරකයින් විසින් අපට දක්වන්නට කැමති පරිදි හදිසියේ ඇති වූ තත්වයක් හෝ නියත තත්වයක් හෝ නොවේ. එය ඊට එහා ගිය යමක් වන ආණ්ඩුවේ ප‍්‍රමුඛතාවය පෙන්නුම් කරන්නකි.

උදාහරණයක් ලෙස ගුරුවරුන්ගේ වැටුප්, ප‍්‍රාග්ධන වියදම්, අධ්‍යාපනය, සංවර්ධනය සඳහා ආයෝජනය, පාසල් සහ විශ්ව විද්‍යාල ගොඩනැගිලි සඳහා කරන ආයෝජනයද ඇතුලත්ව පුනරාවර්තී වියදම් දෙස බැලූ කළ අපට ආණ්ඩුවේ ප‍්‍රමුඛතාවයන් හඳුනා ගත හැකිය. සමස්තයක් ලෙස අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට යොමු කරන ප‍්‍රාග්ධන වියදම් අනෙකුත් සියලූ යටිතල පහසුකම් සඳහා වෙන්කරන ප‍්‍රාග්ධන වියදම්වලින් 10% කි. ඇත්තවශයෙන්ම අත්‍යාවශ්‍ය සමාජ යටිතල පහසුකම් වන අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වඩා රට පුරා අපට දැක ගත හැකි වරායවල් සහ මහා මාර්ගවලට වැඩි අවධානයක් යොමු කිරීම ආණ්ඩුවේ ප‍්‍රමුඛතාවය බව පැහැදිලිය. 2005 දී ප‍්‍රාග්ධන වියදම්වලින් අධ්‍යාපනය වෙනුවෙන් වූ වියදම්වලට වඩා ප‍්‍රවාහනයට සහ සන්නිවේදනය සඳහා තුන් ගුණයක් අඩු වන විට එය 2011 දී පැහැදිලිවම අධ්‍යාපනයට වඩා 8 ගුණයකින් වැඩි වී ඇත. මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවට අනුව 2012 සිට 2016 දක්වා මුලූ ව්‍යාපෘතිමය ප‍්‍රාග්ධන ආයෝජනය අධ්‍යාපනයට රුපියල් බිලියන 125 ක් ද, සෞඛ්‍යයට රුපියල් බිලියන 132 ක්ද වන මුත් එය මංමාවත් සඳහා රුපියල් බිලියන 803 ක් වැනි ඉතා විශාල මුදලකි. මෙමගින් පෙන්නුම් කරන්නේ ඉතා විශාල ලෙස ක‍්‍රම ක‍්‍රමයෙන් සමාජ සුභසාධනය සඳහා ආණ්ඩුවේ ප‍්‍රමුඛතාවයන් අඩුවී ඇති බවකි.

6% ඉල්ලීම අප තව දුරටත් දළ දේශීය නිෂ්පාදිතය, ආර්ථික වර්ධනය මෙන්ම එය විසින් සේවය සපයන්නේ කා හට දැයි සිතන්නට පොළඹවයි. ධනපති පන්තියට සහ ඉහළ ගාස්තු ගෙවිය හැකි විදෙස් සිසුන්ට සේවය සපයන පෞද්ගලික ව්‍යාපාරයක් බවට පත් කරමින් දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය සඳහා අනුග‍්‍රහය දැක්විය හැකි තත්වයකට රටෙහි මහජන අධ්‍යාපනය පරිවර්තනය කරමින් පවතී. එහෙත් මෙය පුලූල් ලෙෂ සමාජයට සේවය කරයිද? ප‍්‍රතිශතයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය වෙනුවෙන් කරන රාජ්‍ය ආයෝජනය සහ ප‍්‍රතිශතයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයෙන් පෞද්ගලික අංශය අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය අතර පැහැදිලි සහ වැදගත් වෙනසක් ඇත්තේ මෙහිදීය. පෞද්ගලික අධ්‍යාපනික පනත් කෙටුම්පත සහ පෞද්ගලික විශ්ව විද්‍යාල ප‍්‍රවර්ධනය යනාදිය දළ දේශීය නිෂ්පාදිතයෙන් ප‍්‍රතිශතයක් ලෙස පෞද්ගලික අංශයේ අධ්‍යාපනයට දායකත්වය වැඩි කරනු ඇතිවාක් මෙන්ම එය දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය සඳහාද දායක වනු ඇත. කෙසේවුවද මෙම විශ්ව විද්‍යාල එහි ඇති අධික ගාස්තු ගෙවීම් මත සේවය සපයනු ඇත්තේ පොහොසතුන්ට පමණි. පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් ආචාර්යවරුන් සදහා වැඩි පඩි ගෙවනු ලැබීම රටෙහි විශාල පිරිසකට ඇතුල් විය හැකි රාජ්‍ය විශ්ව විද්‍යාල තව දුරටත් අඩපන කරනු ඇත.

නව ලිබරල් ප‍්‍රතිපත්තිවලට එරෙහි වීම

මූලික ප‍්‍රශ්නය නම් සමාජ සුභසාධනය කපා හැරීම අද දවසේ පෙරමුණ ගෙන ඇත්තේ මන්ද සහ එහි මූලයන් ඇත්තේ කොහිද යන්නය. අයවැය සීමා කිරීම්, අධ්‍යාපනයට සහ සමාජ සුභ සාධනයට අදාල ආයෝජනයන් කපා හැරීම, මුල්‍ය ප‍්‍රාග්ධනයේ උවමනාවන්ට සේවය කරන විශාල නව ලිබරල් පන්ති ව්‍යාපෘතියක කොටසකි. පෞද්ගලීකරණයට සහ චාම් දිවිපැවැත්මට අදාල නව ලිබරල් ප‍්‍රතිපත්තීන් ආර්ථිකය මුල්‍යකරණයට සේවය කරන්නේ ගෝලීය මුල්‍ය ප‍්‍රාග්ධනය සහ දේශීය මුල්‍ය ධනපතීන්ව සතුටු කිරීම පිණිසය.

මෙම ප‍්‍රතිපත්තීන් ආර්ථිකයේ අනෙකුත් සියලූ අංශයන්ගෙන් මුල්‍ය අංශයට ලාභ ලබා දෙමින් ප‍්‍රාග්ධන සමුච්ඡුනය සදහා සේවය කරයි. මෙවැනි නව ලිබරල් සමුච්ඡුනකරණයන් මගින් සිදු කෙරන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා වූ මහජන ආයතනයන් ලාභ ලබන ව්‍යවසායකයන් බවට පරිවර්තනය කරමින් මහජන සුභසාධනය විනාශ කරනු ලැබීමය. අනෙක් අර්ථයෙන්, මෑත කාලීන අපේ ඉතිහාසය තුළ නිදහස් අධ්‍යාපනය නාමයෙන් සිදුවූ පෞද්ගලික අධ්‍යාපනය විසින් දෙමාපියන් ණය ගැති තත්වයකට පත් කරන ලද අතර ඔවුන්ව ණය ලබා ගැනීම් වෙත සහ සිය නිවෙස් අධ්‍යාපනය වෙනුවෙන් උකස් කිරීම් වෙතට පත් කරන ලදි. තවදුරටත් අපගේ අධ්‍යාපන ක‍්‍රමය ගොඩනගන ලද්දේ දශක ගණනාවක් තිස්සේ සාමුහික සමාජ ප‍්‍රයත්නයක් සහ සමාජ ආයෝජනයක් මතයි. වත්මන පෞද්ගලිකරණයේ ක‍්‍රියාවලියත් සමග මහජනතාවගේ අධ්‍යාපනික උරුමය අධ්‍යාපනික ලාභ ලබන ව්‍යාපාරයක තත්වයට පත් කරමින් පැහැර ගනිමින් ඇත.

අධ්‍යාපනය නව ලිබරල්කරණය කිරීම එනම් නව ලිබරල්කරණ කි‍්‍රියාවලියක ලක්ෂණයක් වන ‘අහිමි කිරීම මගින් සමුච්ඡනකරණය’ ලෝකය පුරා බොහෝ රටවල්හි ප‍්‍රචලිත තත්වයකි. විශේෂයෙන් බටහිර තුළ ගෝලීය ආර්ථික අර්බුදයත් සමග අධ්‍යාපනයට වන වියදම් කපාහැරීම වේගවත් කර ඇත. බටහිර රටවල සිසු ණය ඉහළ යාමත් සමග අධ්‍යාපනය තරුණ පිරිසට සමාජ සහ ආර්ථිකමය යහපතට දොරටු විවර කර දෙනවා වෙනුවට ඔවුනට විශාල බරක් වී ඇත. මෙම තත්වය බටහිර රටවල අධ්‍යාපන මොඩලයන් අප අධ්‍යාපනයට මග කීමෙහි ප‍්‍රති විපාක වනු ඇත. 1944 දී පවා කන්නන්ගර සහ ඔහුගේ කමිටුව ලංකාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මැදිහත් වෙද්දී ඇමෙරිකාවේ, එංගලන්තයේ සහ අනෙකුත් බටහිර මොඩලයන්හි සැබෑව පිළිබඳ සවිඥ්ඥානික වී ඇති බව පෙනෙයි. ඔවුන්ට අනුව එය මෙසේය.

‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක අධ්‍යාපනය සෑම මට්ටමකදීම නිදහසේ ලැබිය යුතුය යන්නට ඉතා සුලූ පිරිසක් එකග වනු ඇත. දක්ෂතාවය කිසිදු සමාජ පන්තියකට හෝ කණ්ඩායමකට සීමා විය යුතු නැත. එසේම ඕනෑම සමාජ ක‍්‍රමයක් සම අධ්‍යාපනික අවස්ථාවන් නිර්මාණය සදහා පියවර ගත යුතුය. විටෙක ප‍්‍රගතිශීලී සහ උසස් ප‍්‍රජාතන්ත‍්‍රවාදයන් විසින් අධ්‍යාපනය පෙර පාසලේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණයෙන් නිදහස් කර නැත්තේ මන්දැයි ඇසිය හැකිය. එහෙත් මුල්‍ය ආර්ථික තත්වයන් මගින් පොළඹවනු ලැබූ සමහර බටහිර රටවල් ඇතුලත්ව රටවල් කිහිපයක් උසස් අධ්‍යාපනය සියලූ දෙනාට නිදහසේ ලබා දෙන නමුදු විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිදහසේ ලබාදීම ව්‍යතිරේකයකි’

යටත් විජිත සමයේ අපගේ අධ්‍යාපනඥයින්ට ඉහත කී මොඩලයන්ගෙන් පරිබාහිරව සිතන්නට හැකි වුණි නම් නිසැකවම අධ්‍යාපනය පරිවර්තනයකට ලක්කරන අධිපති නව ලිබරල් ප‍්‍රතිපත්තීන්වලට වෙනස් වූ මාවතක් තුළ අපට යාමට ඉඩ තිබුණි. විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සංගමයේ 6% ඉල්ලීම ඔවුන් විසින්ද දක්වන පරිදි ඉටුකිරීමට කාලය අවශ්‍යය. ආණ්ඩුව පැත්තෙන් ඒ සඳහා පියවරෙන් පියවර රාජ්‍ය ආයෝජනයන් වැඩිකළ හැකි තත්වයකට කැපවීමක් අවශ්‍යය. සමහර පර්යේෂණවලට සහ ඓතිහාසික දත්තවලට අනුව 1954 සහ 1964 කාලය තුළ ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2’6% සිට 4’6% දක්වා වැඩි විය. ඒ අනුව අපගේම ඉතිහාසයට අනුවද 6% ඉල්ලීමට ආණ්ඩුවේ දේශපාලන කැමැත්ත මත පැවැත්මක් ඇත. එහෙත් අවාසනාවකට යථාර්ථය වී ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුව අධ්‍යාපන අර්බුදය කෙරෙහි උනන්දුවක් නොමැති වීමයි. පසුගිය කාලය තුළම වැඩ වර්ජනය පිළිබඳ කිසිදු ගණන් ගැනීමකින් තොරවම ආණ්ඩුව විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සංගමය සමග සාකච්ඡා ඇද ගෙන යනවා පමණක් නොව එමගින් ඔවුනගේ ප‍්‍රමුඛතාවයන් පිළිබඳ අදහසක්ද දෙනු ලබයි. මන්ද ජනාධිපති විසින් පසුගිය දිනවල දෙවතාවක් මුල්‍ය අංශය සමග එක්ව කොටස් වෙළඳපළකරුවන් හමු විය. මේ පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය නම් ඊළග අයවැය වාර්තාවට ඔවුනගේ දායකත්වය ගන්නා බවය. එහෙත් ඔවුනගේ කැමැත්ත ඇත්තේ කොටස් වෙළදපල කෙසේ හෝ ඉහළ දමා ගැනීම පිණිස විය හැකිය? ඒ අනුව විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සංගමයේ අරගලය පුලූල් වූවකි. එනම් එය අධ්‍යාපනයේ අර්බුද සන්දර්භය තුළ පමණක් නොව මුල්‍ය ප‍්‍රාග්ධනයේ හෙජමොනික ආධිපත්‍යය කඩා වැටීමක්ද පිළිබඳ විය හැකිය. එම නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගය සහ විශේෂයෙන් එහි 6% හි ඉල්ලීමට මහජන සහාය අවශ්‍යවන්නේ එය දිගු කාලීන ජාතික අරගලයක් දක්වා එනම් පෙර පරම්පරාවන් විසින් දශක ගණනක් පුරා ගොඩනගන ලද පරිදි අධ්‍යාපනය වූ කලි දුප්පතුන්ගේ අයිතියක්ය යන්න තහවුරු කරන අරගලයක් දක්වා රැගෙන යාමටය.


අහිලන් කදිරගාමර් | පරිවර්තනය – ගීතිකා ධර්මසිංහ