Colombo, Featured Articles, Features

හොර ජාවාරම්කරුවන් වරෝ වරෝ

[Photo Credit:www.thecomingcrisis.blogspot.com]

ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ආර්ථික පිළිවෙතට විවේචනයක් වශයෙන් ඉහත සඳහන් වැකිය 1980 ගණන් මුල් කාලයේ දී ජනප‍්‍රිය කළේ මහාචාර්ය කාලෝ පොන්සේකා ය. ඔහු එම උපුටනය ලබා ගත්තේ වෙනත් කිසිවකුගෙන් නොව ජනාධිපති ජයවර්ධනගෙනි. ආර්ථික සංවර්ධනය පිණිස විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම සාධාරණ කිරීමට ”Let the robber barrons come” කියා ජනාධිපති ජයවර්ධන කියා තිබුණි. ඉන් කියැවුණේ හොර ජාවාරම්කරුවන් වුවත් ආයෝජකයින් නම් ඔවුන්ට ශ‍්‍රී ලංකාවේ ආර්ථික දොරවල් ඇර දිය යුතු බවය.

මේ කියමන මතක් වූයේ මේ දිනවල කොටස් වෙළද පොළ සම්බන්ධයෙන් කෙරීගෙන යන වාද විවාද සම්බන්ධයෙන් එකළ හොර ජාවාරම්කරුවනට විරුද්ධ වූ පිරිස් අද නිහඩව ඉන්නේ ඇයිදැයි යන පැනය මතුවූ අවස්ථාවක ය. ඇත්ත වශයෙන් ම නම් මේ වනාහී හුදෙක් ජනාධිපති ජයවර්ධන සහ මහාචාර්ය කාලෝ පොන්සේකා සම්බන්ධ ප‍්‍රශ්ණයක් ම නොවේ. වතමනෙහි අප සමාජයීය හෘද සාක්ෂිය පිළිබඳ ප‍්‍රශ්ණයකි.

ශ‍්‍රී ලංකාවේ කොටස් වෙළද පොළ ලොව වඩාම සාර්ථක කොටස් වෙළද පොළ යැයි යුද්ධාවසානයෙන් පසු විශාල පම්පෝරියක් අසන්නට ලැබුණි. නමුත් කල් නොයාම ඒ පම්පෝරියේ හුලං බැස්සේ ය. කොටස් වෙළද පොළෙහි ව්‍යාජ පිම්බීම ජේ. ආර් ජයවර්ධන කාලයේ දී විදෙස්වලින් ගෙන්වා ගත් නමුත් අද ශ‍්‍රී ලංකාවෙහිම සිටින හොර ජාවාරම්කරුවන් පිරිසක් විසින් පවත්වා ගෙන යන ලද කූඨ ජාවාරමක් බව හෙළිදරව් විය.

මෙම හොර ගුහාව සුද්ද පවිත‍්‍ර කිරීම පිණිස යැයි විනිමය හා සුරුකුම්පත් කොමිසමෙහි සභාපතිනිය ලෙස පත් කරන ලද වත්මන් ජනාධිපති ලලිත් වීරතුංග මහතාගේ බිරිඳ වූ පරිපාලන සේවයෙහි තිස් වසරක අත්දැකීම් සහිත ඉන්ද්‍රානි සුගතදාස මහත්මියට එම ජාවාරම්කරුවන්ගේ බලය හමුවෙහි ඉල්ලා අස්වීමට සිදුවිය. අනතුරුව එම තනතුරට පත් කරන ලද ආචාර්ය තිලක් කරුණාරත්න මහතාට ද සිදුවූයේ ඒ හෙණයම ය. මාෆියා ජාවාරම්කරුවනට එරෙහිව තමන් විසින් අරඹන ලද පරීක්ෂන 17ක් අවසන් කිරීමට පෙර ඔහු ගෙදර යවන ලදී. ජනමාධ්‍යට කතා කරමින් ඔහු කීවේ තමන්ට ඉල්ලා අස්වීමට තෙරපුම ආවේ මුදල් ඇමැතිවරයා ද වන ජනාධිපතිවරයාගෙන් බවයි.

කොටස් වෙළදපොළ පාලනය කරන්නේ මාෆියාවක් විසින් බව ඔහු ප‍්‍රසිද්ධියේ කිව්වේ ය. ඔහුගේ වචන ප‍්‍රතිරාව නංවමින් අමාත්‍ය ඩිව් ගුණසේකර ද කීවේ සත්‍ය වශයෙන්ම කොටස් වෙළද පොළ පාලනය කරන්නේ මාෆියාවක් විසින් බවයි. ඔහු එසේ කීවේ නිකම්ම ඩිව් ගුණසේකර ලෙස නොව බලගතු රාජ්‍ය ව්‍යවසාය කමිටුවේ සභාපතිවරයා ලෙස ය. එම දුරයේ සිටිමින් අමාත්‍ය ඩිව් ගුණසේකර පසුගිය කාලයෙහි රාජ්‍ය ව්‍යවසායන්හි දූෂන සහ මුල්‍ය අක‍්‍රමිකතා හෙළිදරව් කිරීමට මහත් වැඩ කොටසක් කළ දේශපාලනඥයෙකි.

මාෆියාවක් යනු ඉතාම රහසිගත ලෙස අතිශය තික්ෂන බවකින් ක‍්‍රියාත්මක වන භායානක අපරාධකරුවන්ගෙන් සැදුම්ලත් දෘඩ ලෙස බැදුණු කණ්ඩායමකි. බොහෝ විට මාෆියා කණ්ඩායම් අරමුදල් සහ බිය ගැන්වීම ඒකාබද්ධ කොට දේශපානඥයින් සිය වසඟයට ගනු ලැබේ.

පශ්චාත් යුද ශ‍්‍රී ලංකාවේ විස්මයක් ලෙස හුවා දක්වන ලද කොටස් වෙළදපොළ පාලනය කරමින් කෝටි ප‍්‍රකෝටිපතියන් බවට පත් වූයේ අන්න එවැනි ආර්ථික අපරාධකරුවන් රොත්තකි. පුදුමයකට මෙන් ඒ හොර ජාවාරම්කරුවන්ට ඉඩදී ඉවත් වන ලෙස තිලක් කරුනාරත්නට බලපෑම් ආවේ ජනාධිපතිවරයාගෙනි. එපමණක් නොවේ. දැන් තිලක් කරුණාරත්නම විසින් හෙළදරව් කර ඇති පරිදි මෙම කොටස් වෙළදපොලේ තැරුව්කාර සමාගම් සහ විනිමය හා සුරුකුම්පත් කොමිසමෙහි රාජ්‍ය නිලධාරීන් සමඟ ජනාධිපතිවරයා කළ සාකච්ජාවේ දී මුල් තැන ලැබී තිබුණේ ද ජාවාරම්කරුවන්ට ය. අනේ අපොයි කිය යුතු තරමටම එම සාකච්ජාව රාජ්‍ය නිලධාරීන්ට එම ජාවාරම්කරුවන් විසින් උපදෙස් දෙනු ලද අවස්ථාවක් බවට පත් විය.

තිලක් කරුණාරත්න මහතා විනිමය සහ සුරුකුම්පත් කොමිෂන් සභාවෙහි සභාපතිධුරයෙන් ඉවත්ව හොර ජාවාරම්කරුවන්ගේ රෙදි ගැලවීමට සූදානම් වූ විට පුහුල් හොරා කරෙන් දැනේ කීවා සේ එක් ජාවාරම්කරුවකු මා නම් එය මාෆියාවේ නැතැයි කීවේ ය. එපමණක් නොව දිලිත් ජයවීර නම් එම ජාවාරම්කරු නොකියා කීවේ එවැනි මාෆියාවක් නැති බවයි. දිලිත් ජයවීර පොදු පෙරමුණේ ජන්ද ව්‍යාපාර ගණනාවකම ප‍්‍රධාන පෙළේ වැඩකාරයකු විය. එහිලා ඔහු සෙල්ලම් කළේ අමාත්‍ය සරත් අමුණුගමගේ දියණිය වන අරුණි අමුණුගමගේ ට‍්‍රයිඇඞ්ස් ප‍්‍රචාරක ආයතනය හරහා ය.

ඔහු විසින් පවත්වන ලද පුවත්පත් සාකච්ජාව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ඉල්ලං කෑමක් ලෙස ය. එම සාකච්ජාවේ දී තවත් රාජපක්ෂවරයකු වන බලගතු ආරක්ෂක ලේකම් ගෝඨාභය තමා වෙනුවෙන් තිලක් කරුනාරත්න මහතාට දුරකථන ඇමතුමක් දුන් බව ද ජයවීර පිළිගත්තේ ය. තවදුරටත් වාර්තා වූයේ රාජපක්ෂ සහෝදරවැරන් සමඟ ඇති සමීප ඇඟෑලූම්කම් මෙම කතාවේ දී ඔහු මතු කල බවයි.

ජයවීරගේ කතාන්තරවලට පිළිතුරක් ලෙස (ජනාධිපති ලේකම් බිරිඳ) ඉන්ද්‍රානී සුගතදාස මහත්මිය කීවේ ජයවීර කියන පරදි වෙන කිසිවකුට මුලා වීමට තමා බබෙක් නොවන බවයි. ආචාර්ය තිලක් කරුණාරත්න කීවේ ඔහුගේ කතාව කේන්ති ගස්සනසුළු අපහාසයක් බවයි.

අනතුරුව දිලිත් ජයවීරගේ තවත් ජාවාරම්කාර හවුල්කරුවකු වන ආචාර්ය නාලක ගොඩහේවා ගැන ප‍්‍රශ්නාකාරී කරුණූ ජනමාධ්‍ය විසින් ඉස්මතු කරන ලදී. ඔහු එවකට සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා විය. සංචාරක පනතේ පස්වැනි වගන්තිය අනුව සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ කවර හෝ ව්‍යවසායකයක යෙදී සිටින අයෙකුට එම තනතුර දැරිය නොහැකි ය. නමුත් දිලිත් ජයවිර සමඟ එක්ව කලම්බු ලෑන්ඞ් ඇන්ඞ් ඩිවෙලොප්මන්ට් යන සමාගම යටතේ ඔහු ලිබර්ටි ප්ලාසා හෝටලයේ දිගුවක් ලෙස කාමර 180 හෝටලයක් ගොඩ නගමින් සිටියේ ය. දේශපාලනයේ දී නීතියේ පාලනයක් නැතිවාක් මෙන්ම ආර්ථිකයේ දී ද නීතියේ පාලනයක් නැති කමින් ගොඩහේවාට ජවාරම අතරතුරම සංචාරක සභාපති තනතුරේ රුදී සිටීමට වරම් ලැබී තිබුණි.

තිලක් කරුණාරත්නගේ ඉල්ලා අස්වීම සහ කොටස් වෙළද පොලේ ජාවාරම්කරුවන් සමඟ රාජපක්ෂ සහෝදරවරුන්ගේ ලබැදියාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඉංග‍්‍රිසි පුවත්පත්හි මහත් සාකච්ජාවක් ඇති වූ නමුත් ආණ්ඩුව එය තඹ දොයිතුවකටවත් ගණන් ගත් බවත් පෙනෙන්නට නොතිබුණි. ශ‍්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල ගෙන්වා ගැනීමට යැයි කියා ජැමෙයිකාවට ගොස් නාමල් රාජපක්ෂ පසුපසින් අශ්වය ගෝන් ටික් ටික් ටික් නැටුම් නැටූ මහ බැංකු අධිපති නිවාඞ් කබ්රාල් කිව්වේ විනිමය සහ සුරුකුම්පත් කොමිෂමේ සභාපති කව්දැයි කියා ආයෝජකයින්ට ප‍්‍රශ්ණයක් නැති බවයි.

දැන් තිලක් කරුනාරත්න ගෙදර යැවු ජනාධිපති එම තනතුරට හොටල් හදන ගමන්ම සංචාර සභාපතිකරම දැරූ සහ ජයවීරගේ ගජයකු වන නාලක ගොඩහේවා පත් කර තිබේ. ඒ සමඟම වාර්තා වන්නේ කොටස් වෙළද පොළ පණ ගසා ඇති බවය. ජාවාරම්කරුවන්ගේ කල් මරේ ය.

දැන් කොටස් වෙළද පොළ පාලනය කරනු ලබන බවට තිලක් කරුණාරත්න සහ ඩිව් ගුනසේකර විසින් කරන ලද ප‍්‍රකාශ හුදෙක් ඉතිහාසයට පමණක් අයිති ඒවා බවට පත්වේ. ජේ.ආර්. ජයවර්ධන විසින් එතෙර හොර ජාවාරම්කරුවනට කරන ලද ආරාධනය දැන් රාජ්‍යයේ බලගතුම නිලයන්හි රුකවරණය යටතේ මෙරට හොර ජවාරම්කරුවනට කැරේ. දේශපාලනය සහ ජාවාරම අතර ඇති වෙනස මැකී ගොස් ය. දේශපාලනය පවුලේ උරුමයක් වන්නේ එය සේවයක් නොව ජාවාරමක් වන නිසාම ය. ඒ කොතෙක් ද යත් කරුනා අම්මාන්ගේ සහෝදරියත් දැන් ජන්ද සටන් බිමේ ය.

අපේ කාලයේ මහම අපරාධය නම් දුෂ්ඨ මිනිසුන්ගේ සැහැසිකම් නොව යහපත් මිනිසුන්ගේ නිහැඩියාව යැයි යන කියමන පදනම් කර ගනිමින් පේ‍්‍රමදාස භීෂනයේ හිම දියකළ අප විසින් ම 1992 දී සංවිධානය කළ පළමු බියෙන් අත් මිදෙමු මහා රුළිය අමතා වේදිකාවෙන් බැස එන මා තවත් දිරිමත් කළ අයකු වූයේ එදා හොර ජාවාරම්කරුවන්ට එරෙහිව හඬ අවදි කල මහාචාර්ය කාලෝ ය.

එදා හොර ජාවාරම්කරුවනට විරුද්ධ වූ සමාජ නායකයින් පවා ඊට වඩා බිය ජනක තත්ත්වයක් ඇති වත්මනෙහි නිහඬව සිටින පසුබිමක ඉන් විසි වසරකට පසුත් එම කියමනම යළි කීමට සිදුව තිබීම අපේ සමාජයේම හෘද සාක්ෂිය පිළිබද ප‍්‍රශ්ණයක් නොවේ ද?

සුනන්ද දේශප්‍රිය[Sunanda Deshapriya]