සිංහල, Colombo, Democracy, Governance, Human Rights

යුද්ධය, පාතාලය සහ නීතිය (2)

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
පරිගණක ශිෂ්‍ය නිපුණ පැහැරගෙන යෑමේ සිදුවීමට අදාළව ත්‍රිකුණාමලයට දඬුවම් මාරුවක් ලද (සෑම විටම වැරදි කරන පොලිස් නිලධාරීන්ට උතුරු නැගෙනහිරට ම දඩුවම් මාරු දෙන්නේ මන්ද?) පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන යළි කරලියට පැමිණියේ උචිත ලෙසම අපරාධකරුවකු ලෙස පොලීසිය විසින් හංවඩු ගසන ලද මර්වින් නිරෝෂන් නම් ජනමාධ්‍යවේදියකු පොලිස් වෙඩි පහරින් මිය ගිය බව ප්‍රකාශ කරමිනි. මර්වින් නිරෝෂන් අත් අඩංගුවට ගන්නා ලද්දේ ළදැරියකට ලිංගික හිංසා කොට මරා දැමීම සම්බන්ධයෙන් සැක පිට ය. ඔහු මරා දැමුණේ පොලිස් පරීක්ෂනය පිණිස රෝහලට ගෙන යමින් තිබියදී ය. කතාව පරණ තැටියම ය. සැකකරු පැන යාමට උත්සාහ කරන ලදී. පොලීසිය වෙඩි තැබුවේය. සැකකරු මියගියේ ය.
මර්වින් මහේෂන් නැගෙනහිර මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂයේ ක්‍රියාධරයෙකි. සිගරම්එප්එම් වෙබ් අඩවියේ සංස්කාරක ය. ඉන්දියාවෙහි ජනමාධ්‍ය අධ්‍යාපනය ලැබූවෙකි. පුරවැසියකු අත් අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ ආරක්ෂාව අත් අඩංගුවට ගන්නා නීති ආයතනය සතු ය. ඔහුගේ හරි වැරදි තීරණය කළ යුත්තේ පොලීසිය නොව අධිකරණය යි. පසුගිය සති ගණනාව තුළ පොලීසියේ අනීතික සහ ප්‍රචණ්ඩ හැසිරීම් පිළිබඳව ඇති වූ මහජන කැළඹීම්වලට පසු වදනක් වශයෙන් පොලිස්පති ජයන්ත වික්‍රමරත්න කියා සිටියේ පාතාල මර්දන ක්‍රියාදාමය කිසිසේත්ම නොනවත්වන බවයි. මෙම මර්දන ක්‍රියාදාමය යටතේ අත් අඩංගුවට ගත් පතාල සැකකරුවන් කිසිවකු ගැන වාර්තා වී නැත. එවැනි පුද්ගලයින්ට එරෙහිව නඩු කිසිත් පවරා ද නැත. එසේ නම් මෙම මර්දන කටයුතු කරන්නේ කෙසේ දැයි පොලිස්පතිවරයා කියා සිටිය යුතු ය. කියන්නට බැරි දේ සිතා ගන්න යන පිලිවෙත අනුව අප පොලිස්පතිවරයාගේ මෙම ප්‍රකාශය තේරුම් ගන්නේ නම් ඉන් කියැවෙනු ඇත්තේ දිගටම ඝාතන සිදුවනු ඇති බව ද?

දැනටමත් දේශපාලනයට පිවිස ඇති හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කීවේ මෙසේ ය: ‛පාතාලයේ එවුන්ට මරණය උරුමයි. නීතිය ක්‍රියාත්මක කළත් අවසානයේ පාතාලයේ එවුන්ට හිමිවෙන්නේ මරණ දඬුවම. පොලිසිය දැන් ඒක වේලාසනින්ම කරනවා. ඒකෙ හංගන්න දෙයක් නැහැ. පාතාලයේ එවුන් කොහොම මැරුවත්, අධිකරණය ඒ මරණ සාධාරණීකරනය කරනවා’’ (- ලංකා නිව්ස් වෙබ්)

පොලීසියේ නිගමනයන් මත පුරවැසියන් ඝාතනය කිරීමට අප ඉඩ ලබා දෙන්නේ නම් ඝාතනය වනු ඇත්තේ අපරාධකරුවන්ට වඩා අහිංසකයින් ය. 2002 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බලයට පැමිණිමෙන් පසු මා එකළ ජීවත් වු කුරුණෑගල දිසාවේ ශ්‍රීලනිපයට වැඩ කළ අප සහෝදරවරු ගණනාවක් ම පොලීසිය අත් අඩංගුවට ගත්තේ නිවෙස්හි තිබී ග්‍රෙනේඩ් බෝම්බ සහ තුවක්කු සොයා ගත්තේ ය යන බොරු චෝදනා එල්ල කරමිනි. බොගම්බර සිර ගෙදර දැමූ ඔව්න් නිදහස් කර ගැනීමට අපට තෙමසකට වඩා ගත විය. පොලිස් කණ්ඩායම් විසින් පැහැරගෙන ගොස් සිංහල කොටි යැයි මහ හඩින් හංවඩු ගසන ලද සිංහල තරුණ පිරිස ඔබට මතකද? මෙි වන විට ඉන් 13දෙනෙකු ම අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ. අධිබල පුපුරණ ද්‍රව්‍ය සමඟ අත් අඩංගුවට ගනු ලැබූ බවට පොලිස් වාර්තා උපුටා දක්වමින් පුවත් වාර්තා පළ වූ ජනමාධ්‍යවේදිනියන් වූ පරමේශ්වරී සහ සුසන්තිකා නිදොස් කොට නිදහස් කරන ලද්දේ ද අධිකරණයෙනි. එල්ටීටීඊ ය සමඟ එක්ව කටයුතු කළ බවට චෝදනා ලැබූ වන්නි වෛද්‍යවරුනට ඇප ලබා දෙන ලද්දේ එවැනි චෝදනා කිසිවක් නැති බවට ඔප්පු වීමෙන් පසු ය. නිදන් හෑරූ බවට චෝදනා කොට අත් අඩංගුවට ගත් ජෙනරල් පන්නිපිටිය ද මෑතදී නිදොස් කොට නිදහස් කෙරුණි. මෙවැනි සිද්ධින් කොපමණ නම් ඉදිරිපත් කල හැකිද?
ශ්‍රී ලංකාවෙහි සිදුවන අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුවන්නේ එනම් අපරාධකරුවන්ට දඩුවම් ලැබෙන්නේ සියයට 10 ක් තරම් යැයි කියනු ලැබේ. ඉන් පෙනෙන්නේ අපරාධකරුවන්ගේ දක්ෂතාවය ද? පොලිස් දෙපාර්ථමේන්තුවේ අදක්ෂතාවය ද? නීතියේ පාලනය ක්‍රියාත්මක රටවල මෙම සංඛ්‍යාව සියයට 60ට වැඩි ය.
ශ්‍රී ලංකාවේ පොලිසිය 1971 සිටම කුඩා කාල අන්තරයන් හැරුණ විට කටයුතු කර ඇත්තේ හදිසි නීතිය යටතේ ය. සාමන්‍ය නීතිය යටතේ පුරවැසියන් සතු ස්වකීය ආරක්ෂාව පිළිබඳ අයිතීන් හදිසි නීතිය යටතේ අහෝසි වන්නේ එමගින් පොලීසියට ලැබෙන අසීමිත බලතල නිසා ය. ප්‍රජාතන්ත්‍රවාදී පාලකනයක් කරා ගමන් කිරීමට නම් ශ්‍රී ලංකාවෙහි ඇති විය යුතු ප්‍රධානතම වෙනසක් වන්නේ සාමන්‍ය නීතියේ පාලනය රටෙහි පිහිටුවිම ය. හදිසි නීතිය සහ ත්‍රස්තවාදය වැළැක්විමේ නීතිය අහෝසි කිරිම ය. එමෙන්ම පොලීසිය නිර් දේශපාලනියකරණය කිරීමය. ඒ සඳහා පිහිටැවුණු පොලිස් කොමිසමට වත්මන් ආණ්ඩුව නිවාඩු දි තිබෙන්නේ ව්‍යවස්ථා සභාව පත් කිරීම කල් තැබීම මගිනි. යුද්ධය තිබූ අවදියේ දී අපට අසන්නට ලැබුණේ ව්‍යවස්ථා සභාවට අදාල 17වන සංසෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල සීමා කරනු ලබන නිසා එම සංසෝධනය අනුව ව්‍යවස්ථා සභාව පිහිටුවීම යුද්ධය කරගෙන යාමට බාධාවක් බව ය. දැන් පාතාල මර්දනය තවත් හේතුවක් විය හැකි ය.

එමෙන්ම 1970 සිටම රජයේ සියළු ආයතන මෙන්ම පොලීසිය ද දේශපාලනීයකරණය විය. ඊයේ පෙරේදා වන තුරුම පොලිස් මාධ්‍ය ප්‍රකාශකව සිටි පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර සහ සහ මාතර පොලිස් අධිකාරිවරයකු ලෙස රාජකාරි කළ නියෝජ්‍ය පොලිස්පති ප්‍රතාපසිංහ පාලක පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයට එළඹෙන බව ප්‍රකාශ කර තිබේ. නැගෙනහිර පළාත් සභා මැතිවරණය අවස්ථාවෙහි පාලක පක්ෂයේ ආරක්ෂ කටයුතු සොයා බැලීම සඳහා හිටපු පොලිස්පතිවරයා පැමිණි බව වාර්තා විය. සෑම මැතිවරණයකින් ම පසු බලයට පත්වන පක්ෂයේ මංත්‍රිවරු සිය ගෝලබාල පොලිස් නිලධාරීන් තම ආසනයට ගෙන්වා ගැනීම ද 1970න් පසු වර්ධනය වූ ප්‍රවණතාවයකි. අනුරාධපුරයේ එජාප සංවිධායක වූ දොස්තර ජොන් ප්‍රනාන්දු පුල්ලේ ගේ නිවෙස උතුරු මැද පලාත්සභා මැතිවරණය අවස්ථාවෙහි ගිනි තැබීම සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අධිකරණය අවස්ථා ගණනාවකදී ම පොලීසියට තරවටු කළේ ය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ අධිකරණ පරීක්ෂනයට මේ වන විට පිට පිට තෙවතාවක්ම පොලීසිය පැමිණ නැත.

පාර්ලිමේන්තු හෝ පලාත් සභා හෝ මංත්‍රීවරයකුගේ අනීතික ක්‍රියාවකට එරෙහිව පියවර ගැනීමට තරම් ධෙර්යවන්ත පොලිස් නිලධාරීන් සිටියේ නම් ඒ හැම අද එක්කෝ ගෙදර ය. නැත්නම් දඩුවම් මාරු ලැබ දුර බැහැර ය. පා.ම. මහින්ද රත්නතිලක කටුපොත පොලීසියට පැන සැකකරුවකු පැහැර ගෙන යෑමෙන් ලබා දෙන සඥාව වන්නේ ද දේශපාලන අධිකාරයට පිටින් යෑමට පොලීසියට ඉඩක් නැති බව යි. තමන් ජනාධිපතිවරයාගේ දරුවන් පවා නැලවූ බව මෑතදී තරුණයන් දෙදෙනෙකු මරා දැමීමට හවුල් වූ බව කියන පොලිස් නිලධාරියා පුරාජේරු කීමට පුරුදුව සිටි බව කියනු ලැබේ.

අනෙත් අතට මෑත කාලීන සියළු ජනමත සමීක්ෂන පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ වඩාම දූෂිත ආයතනයක් ලෙස මහජනයා පොලීසිය සළකන බවය. පොලීසිය යන වචනය අවාසනාවකට මෙන් බැදී ඇත්තේ සැකරුවන්ට පහර දීම, සැකකරුවන්ගෙන් අල්ලස් ලබා ගැනීම සහ දේශපාලන පක්ෂාග්‍රාහිත්වය යන පැවැත්ම සමඟය. (පොලිස් සේවයේ ද අන් සියළු සේවාවන්හි මෙන් වැඩි දෙනෙකු යහපත් මිනිසුන් ය. එනමුත් රටෙහි මෙන්ම පොලීසියේ ද ඔවුන් නිහඬ බහුතරය යි.)

ප්‍රශ්නය හරියටම මෙය යි. ආණ්ඩුව පාතාලයේ සහ ත්‍රස්තවාදයේ නාමයෙන් අනීතිකව පුරුවැසියන් ඝාතනය කිරීමට නොනිල අවසරයක් ලබා දී ඇත්තේ එවැනි දේශපාලනික, දූෂිත වගවීමක් නැති ආයතනයකට ය. 2004 අප්‍රේල් මාසයේ සිට මෙරට ඝාතනය කරන ලද මේතාක් පොලීසිය විසින් නොවිසඳූ ජනමාධ්‍ය ඝාතන 24ක් ඇති බව ද සටහන් කළ යුතු ය. මෙම මර්දන පිළිවෙත ම මෙම මර්දන යාණ්ත්‍රනය ම විපාක්ෂික දේශපාලන ක්‍රියාධරයින්ට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාධරයින්ට එරෙහිව යෙදවෙනු නැතැයි අපට සහතිකයක් තිබේ ද? එවැනි සහතිකයක් ලබා ගත හැකි වන්නේ අද මෙම අනීතික ඝාතනයන්ට එරෙහිව ඝාතනය වන්නේ කව්රුන්දැයි නොසළකා විරෝධය දැක්වීමෙනි. (මර්වින් මහේෂන් ඝාතනය එවැනි එක් සිදුවීමකි.) සෑම ඝාතනයක් අරභයාම රජයේ වගවීම ඉල්ලා සිටීමෙනි. සියල්ලට ම ඉහලින් දේශපාලනය නිරායුධ කොට නීතියේ පාලනය පිහිටුවීම මගිනි.

සුනන්ද දේශප්‍රිය