සිංහල, Colombo, Democracy, Human Rights, IDPs and refugees, Peace and reconciliation

අවතැන් කඳවුරු පවත්වාගෙන යාම පිටුපස සැගවුනු අරමුනක් – විපක්ෂ නායක

PFF PC -1
එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට රජයේ ඉල්ලීමට අනුව හමුදා පාලන ප්‍රදේශයට පැමිණි උතුරේ අවතැන් වු ජනතාව මේ වන විටත් කඳවුරු කිහිපයක රඳවාගෙන සිටින්නේ ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී ඔවුන්ගේ ඡන්ද බලහත්කාරයෙන් ලබාගැනිමට බව ප්‍රකාශ කරන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අහිංසක පුරවැසියන් බවට තහවුරු කරගත් සියලු දෙනා ඔවුන්ගේ ගම්බිම් වල නැවත පදිංචි කිරීම සඳහා රජය කටයුතු කළ යුතුව ඇතැයි අවධාරනය කලේය.
විපක්ෂ නායකවරයා මෙම අදහස් ප්‍රකාශ කලේ අද (3) දින කොළඹ පුස්තකාල හා ප්‍රලේකන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ පැවති පුවත් පත් සාකච්ඡාවකදිය. නිදහසේ වේදිකාව සංවිධානය විසින් සංවිධානය කර තිබූ මෙම පුවත් පත් සාකච්ඡාවේදි වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා රජය ප්‍රකාශ කරන පරිදි මෙම කඳවුරු තුළ සිටින 10000 පමණ දෙනා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ අය විය හැකි අතර ඒ අතර ම තවත් 25000 පමණ එල්ටීටීඊ සංවිධානයේ යැයි සැක කල හැකියයි රජය ප්‍රකාශ කරන නිසා එම පිරිස පමණක් රැඳවුම් නියෝග යටතේ තබා ගනිමින් ඉතිරි 170,000 පමන දෙනා මුදාහැරීමට කටයුතු නොකිරිම බලවත් ප්‍රශ්නයක් බවද සඳහන් කරන ලදි. අවතැන් වුවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවේදී පොරොන්දු වූ කරුණු ජනාධිපතිවරයා විසින් කඩකර ඇති බව අවදාරණය කරන විපක්ෂ නායකවරයා ඉදිරි මෝසම් වැසි කාලයට පෙර ඔවුන් කඳවුරු වලින් ඉවත් කළ යුතුව ඇති බවද සඳහන් කලේය.
අවතැනුවුවන් කඳවුරු තුලින් ඉවත් කිරිම පමාවිමට රජය ඉදිරිපත් කරන හේතු කිසිසේත්ම පිළිගත නොහැකි යැයි ප්‍රකාශකළ වික්‍රමසිංහ මහතා රජය ප්‍රකාශ කරන පරිදි වලලා ඇකි බිම් බෝම්බ එයට හේතුවක් නම් බිම් බෝම්බ ඉවත් කිරිම සඳහ මිත්‍ර රටවල් ගණනාවක් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවන්ට ප්‍රතිචාර නොදක්වන්නේ මන්දැයි ප්‍රශ්න කලේය.
මෙම පුවත් පත් සාකච්ඡාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායක මංගල සමරවිර මහතා ‛‛ලක්ෂ තුනකට අධික සාමාන්‍ය ජනතාවක් මේ ආකාරයට බලහත්කාරයෙන් රඳවාගෙන සිටීම අද වන විට ජාතික ප්‍රශ්නයක් වී ඇති අතර මේ තත්ත්වයට ඉක්මන් විසඳුමක් ලබා නොදුනහොත් එය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්විය හැකි බවට අනතුරු ඇඟවීය. මෙම කඳවුරු සුබ සාදක කඳවුරු ලෙස හැඳින්විමට නොහැකි බව ප්‍රකාශ කළ සමරවිර මහතා ඒවා හැඳින්විය යුත්තේ වහල් කඳවුරු ලෙසින් බවද සඳහන් කරන ලදි. නැගෙනහිර ප්‍රදේශය එල්ටීටීඊ පාළනයෙන් මුදාගත් පසු එහි විසූ ජනතාවද කඳවුරු තුළ ජීවත් වුවද ඔවුන් මේ ආකාරයට කොටු කර කිසිඳු බාහිර සබඳතාවයකින් තොරව රඳවා නොසිටි බව සිහිපත් කළ සමරවීර මහතා උතුරේ ජනතාව සම්බන්ධයෙන් පමණක් එවැනි පිළිවෙතක් අනුගමනය කරන්නේ මන්දැයි ප්‍රශ්න කලේය.
වව්නියා දිසාපතිවරිය ප්‍රකාශ කරන ආකාරයට මෙම කඳවුර තුළ විසූ 10000කට ආසන්න පිරිසක් අතුරුදහන් වි ඇතැයි සිහිපත් කල සමරවීර මහතා එය ඉතාමත් බරපතල තත්ත්වයක් බවද සඳහන් කරන ලදි. එම පිරිස දැඩි ආරක්ෂක රැකවල් මැද සිටියදිත් කඳවුරු තුළින් පැන ගියේද එසේ නොමැති නම් ඔවුන් අතුරුදහන් කර ඇතිද යන ප්‍රශ්නය පැන නගින බව සඳහන් කළ සමරවිර මහතා මේ පිළිබඳව රජය වගකීමකින් යුතුව කරුණු පැහැදිලි කරයුතුව ඇතැයි ද ප්‍රකාශ කරන ලදි.
පසුගිය කාලයේ උතුරේ ප්‍රදේශ ගනනාවක ජීවත් වූ සිවිල් ජනතාව යුධ ගැටුම්මැද දී රජයේ පාලන ප්‍රදේශ කරා පැමිණියේ රජයේ හා හමුදාවන්ගේ ආරාධනාව නිසා බව සිහිපත් කළ එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා යුද්ධය අවසන් වී දින 100ක් ගත වී ඇති මේ අවස්ථාවේ ඔවුන් රඳවාගෙන සිටීමට කිසිදු හේතුවක් නැතැයි සඳහන් කරන ලදි. ඔවුන්ගේ ගම් බ්ම් වලට ගොස් නිදහසේ ජීවත්වීමට අවශ්‍යතාවයක් ඔවුන් තුළ ඇතත් රජය ඊට ඉඩ නොදෙන්නේ ආණ්ඩුවේ සැඟවුන න්‍යාය පත්‍රයක් නිසා බව සඳහන් කළ අතර එයින් පෙනී යන්නේ ආණ්ඩුවට සැඟවීමට විශාල දෙයක් තිබෙන නිසා බව සඳහන් කරන ලදි.එමෙන්ම අද පවතින තත්ත්වය අනුව අනියම් ආකාරයට ජනසංහාරයක් සිදුවෙමින් තිබෙනවාද යන ප්‍රශ්නයද මතුවන බව ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.
මෙම ප්‍රවෘත්ති සකච්ඡාව අමතා ආචාර්ය නිමලකා ප්‍රනාන්දු, මනෝගනේෂන් සහ හර්මන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මින්ද අදහස් දැක්වු අතර ඔවුන් කළ ප්‍රකාශ ද විකල්ප යූ ටියුබ් වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.