Colombo, Featured Articles, Features

කැකිල්ලේ දෝෂාභියෝගය

[Photo Credit:www.sundaytimes.lk]
අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් යමෙකු පෙනී සිටින මුත්, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට එරෙහි නොවීම, පරස්පරයක් මතුනොකරන, එකිනෙකින් ස්වාධීන ආස්ථාන දෙකක් විය හැකි ද? මේ පැනයට, ‘ඔව්‘ සහ ‘නැත’ යනුවෙන් පිළිතුරු දෙකක් තිබේ.

පළමුවෙන්, ‘ඔව්’ යන පිළිතුර සළකා බලමු.

අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග සහ දැනුවත් සිවිල් පුරවැසියන් පෙනී සිටි ඉතිහාසය, මේ කියන වර්තමාන දෝෂාභියෝගයෙන් ඈතට දිවෙන්නකි. ‘බ්‍රේස්ගර්ඩල්’ නඩු විභාගයේ දී බි‍්‍රතාන්‍ය රැජිණගේ ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයාගේ අභිමතයට එරෙහිව තනි පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට තරම් එදා අධිකරණය අදීන වූ අවස්ථාවේ සිට, නිදහස් ලංකාවේ අධිකරණ ඉතිහාසයේ වඩාත් ජුගුප්සා ජනක සහ වඩාත් අපකීර්තිමත් අධිකරණ ප‍්‍රධානියා වූ සරත් එන්. සිල්වාගේ පාලන කාලය දක්වා, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විවිධ තරාතිරමේ ආයතන සහ මිනිස්සු පෙනී සිටියහ. අධිකරණයේ ස්වාධීනත්වය ඉංග‍්‍රීසි පාලකයාට ඉහළින් ඔසවා තැබීම සඳහා එදා වමේ නායකයන් ද, නීතිය හැරුණු කොට වෙනත් සෑම පුද්ගල මනෝභාවයක්ම ඊනියා ‘යුක්තිය පසිඳලීමක්’ මුවාවෙන් යොදාගත් සරත් එන්. සිල්වාගේ අයථා ක‍්‍රියාකලාපයට එරෙහිව ‘රාවය’ ඇතුළු තවත් සිවිල් සංවිධාන හා ක‍්‍රියාධරයන් ද (සුළුතරයක්) පෙනී සිටි බව අපි දනිමු. ඒ ආරම්භක අවස්ථාවේ දී, එනම්, ‘බ්‍රේස්ගර්ඩල්’ සිද්ධියේ දී තනි පුද්ගලයෙකුගේ අයිතිය වෙනුවෙන් අදීනත්වයට ඔසවා තැබුණු අධිකරණය, 1999 න් පසු තනි පුද්ගලයෙකුගේ මනෝරථය වෙනුවෙන් අන්ත දීනත්වයකට පහත හෙලූණි.

දැන් කෙනෙකුගේ සිතේ මෙවැනි ප‍්‍රශ්නයක් මතුවන්නට පිළිවන. එදා සරත් එන්. සිල්වාගේ විෂමාචාරය ඉදිරියේ (දෙවරක්ම) ගෙනා දෝෂාභියෝගය, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කෙනෙකුට සාධාරණීකරණය කළ හැකි වී නම්, අද ශිරානී බණ්ඩාරනායකට එරෙහිව නැගී එන විෂමාචාර චෝදනා ඉදිරියේ එවැනිම දෝෂාභියෝගයක් අසාධාරණ වන්නේ කෙසේ ද?

ශිරානී බණ්ඩාරනායකට එරෙහිව අද මතුකරන චෝදනා, ඒවා සත්‍ය කරුණු සහ නිවැරදි දත්ත මතම පමණක් පාදක වෙතැ යි අප මොහොතකට පිළිගත්තත්, එදා සරත් එන්. සිල්වාගේ විෂමාචාර හැසිරීම ඉදිරියේ තබා සළකන විට එය, ලැව්ගින්නක් ඉදිරියේ ඇති ලිප් බොක්කක් මෙනි. එසේ තිබියදීත්, ඇගේ සැමියාගේ ක‍්‍රියාකලාපය, (ඉතිරි කිරීමේ බැංකුව සහ ‘ද ෆිනෑන්ස් ආයතනය අතර ගනුදෙනුව) එය මොන තරම් බාහිර බල පද්ධති සමග ගැටගැසී තිබූ දෙයක් වුවත්, ඔහුගේ ඒ වරද සහායකත්වය මගින් අගවිනිසුරුවරියගේ උත්තරීතර තනතුර වෙත කරන ලද කැළල සුළුපටු නොවන බවට බරපතල විවේචනයක් අපට ද තිබේ. මේ නිසා, අප මුලින් නැගූ ප‍්‍රශ්නයට ‘ඔව්’ කියා පිළිතුරු දීමට බැරි කමක් නැත. ඒ අනුව, අප මේ අවස්ථාවේ පෙනී සිටින්නේ අධිකරණයේ ස්වාධීනත්වය සඳහා මිස ශිරානී බණ්ඩාරනායකගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් නොවේ යැයි කෙනෙකුට කීමට පිළිවන් කම තිබේ. පසු ගිය සතියේ කැඳවූ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ මහා සම්මේලන විශේෂ සැසිවාරයේ දී, ‘‘අගවිනිසුරුවරිය වෙත පූර්ණ විශ්වාසය තබමු’’ යනුවෙන් බහුතරයකින් ගෙනා මුල් යෝජනාව පසුව වෙනස් කෙරුණි. එසේ කෙරුණේ, මුළු සභාවේම ඒකමතිකත්වය ඇති කර ගැනීම සඳහා ය. ඒ අනුව, එම යෝජනාව, ‘‘දෝෂාභියෝගය සහ අධිකරණයේ ස්වාධීනත්වය ගැන අප බලවත් සේ කණස්සල්ලට පත්ව ඇත’’ යනුවෙන් දියාරු කෙරුණි. එනම්, පුද්ගල සාධකයක් (ශිරානී බණ්ඩාරනායක) කෙරෙහි විශ්වාසය තබනු වෙනුවට, ආයතනික ස්වාධීනත්වය අවධාරණය කොට දැක්වීම වැදගත් සේ සළකන්නට ඇති. ඉතිං, මුලින් අප නැගූ ප‍්‍රශ්නයට ‘ඔව්’ යනුවෙන් උත්තර දීම එක එල්ලේ පරස්පර නැත.

එහෙත් මෙය, අදාළ අර්බුදයේ එක පැත්තක් පමණි. අනිත් පැත්ත කුමක් ද?

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අප ඉදිරිපත් කළ ඉහත සඳහන් විවේචනයම, වර්තමාන පාලකයා මතු කරන්නේ එම අධිකරණයේ ස්වාධීනත්වය නැති කොට, අධිකරණයත් තමාම බවට රූපාන්තරණය කර ගැනීම ඉලක්ක කරගෙන නම්, අපේ සුජාත වූත්, වලංගු වූත් (අගවිනිසුරුවරියට එරෙහි) එම විවේචනයම, පාලකයාගේ යටි අරමුණ සහ ඉලක්කය තුළ හොවා අර්ථගන්වන විට, අවලංගු සහ අවජාත නොවන්නේ ද? තවත් විදිහකින් කිවහොත්, මේ අවස්ථාවේ අගවිනිසුරුවරියගේ පුද්ගලබද්ධ අක‍්‍රමිකතාවට එරෙහිව නැගී සිටීම, අප අපේක්ෂා කරන අධිකරණයේ ස්වාධීනත්වයට නොව, එම ස්වාධීනත්වයට වළ කපන පාලකයෙකුගේ ඒකාධිපති ඉලක්කයට සහ අරමුණට සහමුලින් අනුගත වන්නේ නම්, අප අවසානයේ දී සේවය කරනු ඇත්තේ කාට ද?

අනිත් අතට, ඉහත සඳහන් විෂමාචාරය (ඇගේ සැමියා දේශපාලන පත්වීමක් දැරීම) පසු පස සිටින සැබෑ නිර්මාපකයා කවුද? වෙන කිසිවෙකු නොව, මේ රටේ විධායක බලය (ව්‍යවස්ථාදායකය ද ඇතුලූව) හොබවන ජනාධිපතිවරයා ය. ඔහුගේ අතින් පත්වීමක් භාරගත් තැනැත්තාගේ යම් විෂමාචාරයක් නිසා එම තැනැත්තාගේ බිරිඳව වගඋත්තරකාරියක් කරන්නේ නම්, එම පත්වීම කළ ජනාධිපතිවරයාව ඊට වැඩි මට්ටමකින් එම විෂමාචාරයේම සම=වගඋත්තරකරුවෙකු කළ යුතුව තිබේ. මේ කාරණා විසින් අපව යොමු කරන්නේ, ඉහත සඳහන් ප‍්‍රශ්නයට ‘නැත’ යනුවෙන් පිළිතුරු දීමට යි. එනම්, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහාම මේ අවස්ථාවේ දෝෂාභියෝගයට එරෙහි වීමත් අනිවාර්ය කෙරෙන බවයි.

දැන්, තවත් පැත්තකට අපේ අවධානය යොමු කරමු. ඉහත සඳහන් විෂමාචාරයේ ප‍්‍රභවය සහ ඒ මගින් අගවිනිසුරුවරිය වෙත එල්ල කෙරෙන බලපෑම කරණකොටගෙන, ඇයව විනිශ්චයට ලක්කිරීමේ අධිකරණමය පරිපාටිය කොතෙක් දුරට ස්වාභාවික යුක්ති ධර්මයට අනුගත ද? එහි දී පහත සඳහන් කාරණා කෙනෙකුගේ සැළකිල්ලට යොමු විය යුතුය.:

මේ දෝෂාභියෝගයේ ප‍්‍රථම චෝදකයා වුණේ, වෙන කවුරුවත් නොව, ජනාධිපතිවරයාම ය. විවිධ අවස්ථාවල මේ බව (දෝෂාභියෝගයට කලින්) ඔහු කියා ඇත. ඒ අනුව යමින්, එනම් නායකයාගේ අභිමතය අනුව යමින්, එහි ව්‍යවස්ථාමය චෝදකයන් වන්නේ, දෝෂාභියෝග යෝජනාවට මුලින් අත්සන් තැබූ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 117 දෙනා ය.

ඊළඟට, එම චෝදනා විභාග කිරීමේ ‘‘අධිකරණය’’ (පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව) සමන්විත වන 11 දෙනාගෙන් 7 දෙනෙකු, අර කී ජනාධිපතිවරයා සහ 117 දෙනා අයත් පක්ෂයේම සාමාජිකයන් ය. ඊළඟට, එම ‘අධිකරණය’ දෙන තීන්දුවෙන් ඇය වැරදිකාරිය වුවහොත්, එම තීන්දුව සම්මත කරන්නේ, අර කී ජනාධිපතිවරයා ද, අත්සන් කළ 117 දෙනා සහ පසුව කී 7 දෙනා ද සාමාජිකත්වය දරණ එකම පක්ෂයේ හෝ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ය. එම සම්මත කිරීම අනුව අවසානයේ දී ඇයව සේවයෙන් නෙරපන්නේ එකී සියල්ලන්ගේ පක්ෂ නායක සහ මෙකී චෝදනාවේ ආරම්භක චෝදක, ජනාධිපතිවරයා ය. දැන්, චෝදකයා, විනිශ්චයකරුවා සහ වධකයා යන හැම පාර්ශ්වයක්ම එකම කුලකයකට (පක්ෂයකට) අයත් බව පෙනේ. එවිට, විත්තිය වෙනුවෙන් යුක්තිය ඉටු වන බවට සහතික විය හැක්කේ කෙසේ ද?

ඉන්දියාවේ දී මෙවැනි දෝෂාභියෝගයක අධිකරණ පරිපාටිය සමන්විත වන්නේ, දැනට සේවය කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, රටේ ඉහළ උසාවියක විනිසුරුවරයෙකු සහ පිළිගත් නීතිවේදියෙකුගෙන් සැදුම්ලත් විශේෂ විමර්ශණ මණ්ඩලයකිනි. පාර්ලිමේන්තුව සළකා බලන්නේ ඒ විද්වත් විනිශ්චයයි.

මෙය පවා, සියල්ල දේශපාලනීයකරණය වී ඇති ලංකාව වැනි රටක, පාලකයාගේ හිතුවක්කාරී අභිමතයට යට වීමට හොඳටම ඉඩ තිබේ. එබැවින්, අවශ්‍ය කරන්නේ නීතිය සහ යුක්තිය රජ කැරැවීම නම්, මෙවැනි දෝෂාභියෝගයක් විභාගයට ගැනීම සඳහා, චූදිත අධිකරණ නිලධාරියා නැති (මේ කාරණයේ දී අගවිනිසුරුවරිය නැති), ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉතිරි සාමාජිකයන් 10 දෙනා සහ අභියාචනාධිකරණයේ සභාපතිවරයාගෙන් සමන්විත පූර්ණ පරීක්ෂණ මණ්ඩලයක් ඇති කරගත යුතු බව අපේ හැඟීමයි.

ඒ තාක්, මෙම දෝෂාභියෝගයේ දුෂ්ට අරමුණට විරුද්ධ වන්නා සේම, එම අරමුණ පණගන්වන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී යාන්ත‍්‍රණයටත්, යුක්ති ධර්මය අගයන සෑම පුරවැසියෙකුම, පක්ෂ භේදයකින් තොරව, විරෝධය දැක්විය යුතුව තිබේ.

ගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]