සිංහල, Badulla, Corruption, Governance

මහවැලි නිල නිවාස පුද්ගලික අංශයට විකුණයි

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ගොඩනැගිලි රාශියක් මේවන විට මහවැලි නිළධාරින් විසින් ව්‍යාපාරිකයින්ට විකුණා ඇත. ඇතැම් ගොඩනැගිලි වල වටිනා දැව ඔවුන් ගලවා ඉවත් කර ගෙන ඇති අතර සමහර ගොඩනැගිලි පෞද්ගලික ආයතන මඟින් කාර්යාල එසේ නැත්නම් සංචාරක බංගලා බවට පත් කරගෙන විශාල ලෙස මූල්‍ය සම්පත් උපයීමට කටයුතු යොදා තිබේ.
මහවැලි සී කලාපයේ ගිරාඳුරුකෝට්ටේ උප කලාපයේ මහවැලි නිල නිවාස වල හොඳ තත්ත්වයේ ගොඩනැගිලි 100 කට අධික සංඛ්‍යාවක් මෙලෙස ධනවත් පුද්ගලයින්ට හා සමාගම් වලට විකුණා ඇත. මහවැලි සී කලාපයේ බතලයාය කොට්ඨාශ කළමනාකාර කාර්යාලයට අයත් නිල නිවාසය ගම්පොල ප්‍රධාන පෙලේ කුකුල් ෆාම් ව්‍යපාරිකයෙකුටත් ඉතිරි නිවාස සීමාසහිත කොළඹ කොමර්ෂල් සමාගමටත් (සී.අයි.සී) විකුණා ඇත.
මහවැලි ගොවීන්ගේ දෙවන පරම්පරාවල සිටින දරුවන්ට බෙදා දිමට වෙන්කර තිබූ ඉඩම් අක්කර 4000ක් මෙම සමාගම් දෙකට විසි අවුරුදු බද්දට ලාබාදී ඔවුන් බඩ ඉරිඟු වගා කර එම ව්‍යාපෘති වල කාර්යාල ලෙස මෙම ගොඩනැගිලි පවත්වාගෙන යති. රුපියල් කෝටි ගනන් වටිනා මහජන දේපල මෙසේ විනාශ කිරීමට ඉඩදී බලධාරීන් නිහඩව ඉන්නේ මන්දැයි ප්‍රදේශයේ ජනයා ප්‍රශ්න කරති.