සිංහල, Colombo, Media

රෑපවාහිනය, රනිල් සහ ජනමාධ්‍ය

සුනන්ද දේශප්‍රිය

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ධාරාවේ පුවත්පත් කතුවරුන් තිදෙනෙකු විවේචනය කරමින් කළ කතාව පිලිබඳව අදහසක් දැක්විය හැකි දැයි ආණ්ඩුවේ රෑපවාහිනිය විමසා සිටියේ පසුගිය සතියේ දී ය.

මා කියන දෙය එළෙසම විකාශණය කරන බවට රෑපවාහිනී සංස්ථාවේ උසස් නිලධාරියකුගේ පොරෙන්දුව මත මා එයට අදහස් පළ කළේ
හේතූන් කිහිපයක් උඩ ය.

විනාඩියක් නොඉක්මවන සේ අදහස් ඉදිරිපත් කළ ද රෑපවාහිනී නිලධාරීහු සිය පොරොන්දුව කෙළෙසා මා කී මේ වචන කපා දැමූහ. —ජනමාධ්‍යවේදීන් මරා දැමීම සහ පහරදීම් වැනි ක්‍රම මගින් ජනමාධ්‍ය බියපත්කරන යුගයක˜ රෑපවාහිනිය මා කී එම වචන වලට බිය විය. ඒ අතර වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති සනත් බාලසූරිය මේ සම්බන්ධයෙන් දැක් වූ අදහස් ඊටත් දරුණු ලෙස වාරණය කළහ.

එමගින් රෑපවාහිනී ලොක්කන් පෙන්වූයේ රනිල් වික්‍රමසිංහ මහතාට ආචාර ධර්ම කියාදෙන්නට යන්නේ තමන් ඒවා අමු අමුවේම උල්ලංඝනය කරමින් බව යි. ජනමාධ්‍ය ආචාර ධර්ම සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගන්වන ආචාර්්‍යවරයකු එහි සභාපති වශයෙන් ඇතිව මෙම කෙළෙසීම් සිදුවිම වඩාත් කණගාටුදායක ය. අද මෙරට වඩාම අගතිගාමී ජනමාධ්‍ය පවත්නනේ රජය යටතේ බව ඕනෑම සරල මාධ්‍ය නිරීක්ෂනයකින් වුව පෙන්නුම් කරනු ඇත.

අනෙත් අතට රනිල් වික්‍රමසිංහ මහතා යම් යම් ජනමාධ්‍ය ආයතන සහ කතුවරුන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අදහස් ජනමාධ්‍ය නිදහස රැක ගැනීමට වඩා සිය දේශපාලන ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමේ අරමුණින් කරන බව මගේ පුද්ගලික අදහස ය.
තමන්ට කිසිදු බලපෑමක් ජනාධිපතිවරයාගෙන් එල්ල නොවන බවට ප්‍රසිද්ධියේ කියා සිටි සිය සහෝදරයා වන ටී.එන්.එල්. හිමිකාර ෂාන් වික්‍රමසිංහ මහතාට ඔහු කිසිදු විවේචනයක් කළේ නැත. නමුත් එවැනිම අදහසක් ප්‍රකාශ කළ රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට යළි යළි දරුණු ප්‍රහාරයන් එල්ල කළේ ය.

පසුගිය දා ඔහු දිනපතා ලක්බිම කර්තෘ ජටිල වැල්ලබඩ සහ දිනපතා ලංකාදිප කර්තෘ සිරි රණසිංහ යන මහත්වරුන්ටද එවැනිම විවේචනයක් එල්ල කලේ ය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ විවේචනය එල්ල වූයේ ඔහු මාතර ජනරළ රුස්වීමේ දී කළ කතාවෙහි රාජපක්ෂ සමාගම පිලිබඳව කළ යම් යම් කොටස් පළ නොකළේය යන කරුණ පදනම් කර ගෙන ය.

මෙරට කිසිදු ජනමාධ්‍යයක් කවර දේශපාලනඥකුගේ හෝ කතා එහෙම පිටින්ම පළ කරන්නේ හෝ විකාශනය කරන්නේ හෝ නැත. එපමණක් නොව කිසිදු කතාවක් කථීකයාට සාධාරණය ඉටු වන සේ පළ කැරෙන්නේ හෝ විකාශනය කැරෙන්නේ ඉතාම කළාතුරකිනි. එය ලෙහෙසි කාර්්‍යයක් ද නොවේ.

දේශපාලන කතාවක් වාර්තා කිරිමේ දී ජනමාධ්‍ය විසින් නොකළ යුතු දෙය නම් කථීකයා ඉදිරිපත් කරන සන්දර්භයෙන් ඉවතට ගෙන කරුනු වාර්තා කීරීම යි.

සමස්තයක් වශයෙන් රාජපක්ෂ ආණ්ඩුව සහෝදර සමාගමක් විසින් කරගෙන යයි. දූෂණයෙන් පිරී ඇත. භිෂනය මත පවත්වා ගෙන යයි. ආර්ථික කළමණාකරණය දුර්වල ය.

අන්තර් ජාතික වශයෙන් හුදකලා වි ඇත යනාදිය මේ දිනවල රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාවල හරය සේ දැක්විය හැක. මෙම සන්දර්භයෙන් පිටතට ගෙන ඔහුගේ කතාව වාර්තා කරන්නේ නමි එය වරදකි.

අපේ ජනමාධ්‍ය බොහෝ විට මෙම සාධාරණය දේශපාලන කථීකයින්ට ඉටු කරන්නේ නැත. සමහර විට මෙම ආචාර ධර්මීය නොවන වාර්තාකරණයෙන් වැඩිම බැට කෑ දේශපාලන පක්ෂයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ යි. එමෙන්ම මෙරට ජනමාධ්‍යයන්ට වැඩිපුරම පහර දුන් පක්ෂයක් වන්නේ ද එය යි.

එම පක්ෂය ජනමාධ්‍යට කළ විවේචන යම් යම් අවස්ථාවන්හිදී ප්‍රජාතන්ත්‍රවාදී සීමාව ඉක්මවා ගොස් උසිගැන්වීම් බවට පත්විය. ඒ සෑම අවස්ථාවකදී ම අපි ඒ මාධ්‍ය විරෝධී පිළිවෙතට විරෝධය පළ කළෙමු. දැන් රනිල් වික්‍රමසිංහ මහතා ද බිය ගැන්වීමක සහ උසිගැන්වීමක මට්ටමින් ජනමාධ්‍ය විවේචනය කරන විට එය පෙන්වා දීමට අපට අයිතියක් තිබේ.

ජනාධිපතිවරයා දුරකථනයෙන් සන්ඩේ ලීඩර් කතුවරයාට තර්ජනය කළ බවට අපට වාර්තා වූ කළ අප එසැනින්ම එය හෙලා දැක්කෙමු. දුරකතනයෙන් තර්ජනය කිරීමත් ප්‍රසිද්ධ වේදිකාවක සිට තර්ජනය කිරිමත් අතර වෙනසක් තිබිය නොහැකි ය. ආණ්ඩු පක්ෂයෙන් කළත් විපක්ෂයෙන් කළත් තර්ජනය තර්ජනයම ය.

රනිල් වික්‍රමසිංහ මහතා කරන විවේචනය තර්ජනයක් නොවේ යැයි ද එය ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක අයිතියක් යැයි ද යන තර්කය යම් දුරකට සාධාරණ බව ද සැබෑය. නමුත් සෑම දේශපාලන පක්ෂයක්ම මෙලෙස ස්වකීය කතා පළ කල නොකළ යුතු සැටි කියා දෙන්නට පටන් ගත් විට පත්තර වල කියවන්නට ඉතුරු වනු ඇත්තේ දැනටමත් වෙමින් ඇති පරිදි ඔව්න්ගේ කතා සහ වෙළද දැන්වීම් පමණ ය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ විවේචනයේ තවත් පැත්තක් ඇත. එනම් සිය කතාවන්හි රාජපක්ෂ සමාගම පිලිබද විවේචන පුවත්පත් පල නොකරන්නේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට ඔවුන් වැඩ කරන නිසා බව ය. නැත්නම් ආණ්ඩුවට බියෙන් බව ය. දැනටමත් ජනාධිපතිවරයා දිනපතා ලංකාදීපයට එරෙහිව රුපියල් බිලියන දෙකක් ඉල්ලා නඩු පවරා ඇත. ඒ ද මහින්ද රාජපක්ෂ මහතා හිට්ලර්ට සමාන කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාවක් පළ කලේ ය යන චෝදනාව උඩ ය. එය මගේ අදහසේ හැටියට නම් දේශපාලන නඩුවක් මිස නීතිමය නඩුවක් නොවේ. සමහර විට එම බිය ගැන්වීම දැන් වැඩ කරනවා වෙන්නටත් පුළුවන.

මෙවැනි චෝදනාවන්ට බිය වී ස්වයං වාරණයක් පනවා ගන්නට පුවත්පත් කල්පනා කරන බව පෙනෙන විට අනෙක් දේශපාලනඥයින් ද ඒ මඟම ගෙන පත්තර බිය ගැන්වීමට කටයුතු කරනවා ඇත. සිය අයිතිය දේශපාලනඥයින්ට පාවා දෙන ජනමාධ්‍ය කරන්නනේ ජනමාධ්‍යයේ ප්‍රථම වගකීම පුරවැසියාට ය යන අනුලංඝනීය ආචාර ධර්මය කෙළෙසීම ය.

දේශපාලන සහ වානිජ බලපෑම්වලින් තොර ජනමාධ්‍ය අද නොමළ ගෙදරකින් අබ සෙවීම වැනි දුෂ්කර ක්‍රියාවකි. එවැනි පුරොගාමී මාධ්‍ය මෙහෙවරක යෙදිය හැක්කේ මහජන සේවා ජනමාධය සම්ප්‍රදායකට පමණි. ලොව පුරාම එම කාර්්‍යය වඩාම සාරථක ලෙස ඉටු කරන්නේ රාජ්‍ය සතු එනමුත් මහජන සේවා ජනමාධ්‍ය ලෙස ස්වාධීනව කටයුතු කීිරීමට අවශ්‍ය නීතිමය, මුල්‍යමය සහ සංස්කෘතිකමය පදනමක් ඇති ජනමාධ්‍ය පමණ ය.

එජාපය මෙන්ම ශ්‍රීලනිපය ද ඒවාට වරින්වර හවුල් වීම මගින් මෙරට අනෙක් සියලූම දේශපාලන පක්ෂ ද කර ඇත්තේ මෙරට මහජන සේවා ජනමාධ්‍ය විය යුතු රජය සතු ජනමාධ්‍ය දේශපාලන අගතීන්ගෙන් දූෂනය කිරීම ය. අද පවා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක්වත් මහජන සේවා ජනමාධ්‍ය සම්ප්‍රදායක් ඇති කිරීමට කිසිදු කැපවීමක් පෙන්වන්නේ නැත. එය මහින්ද වින්තනයේත් නැත. ජාතික සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් නැත.

අනුන් විවේචනය කරනවාට වඩා බලයේ සිටින අය කිරීමෙන්ද බලයට පත්වන්නට සිටින අය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම මගින් ද පුරවැසියා බලසතු කැරෙන නිදහස් අපක්ෂපාත සහ සාධාරණ මහජන සේවා ජනමාධ්‍ය සම්ප්‍රදායකට මඟ පෙන්වන ස්වකීය මාධ්‍ය පිලිවෙත රටට පෙන්නුම් කරන්නේ නමි කොතරම් අගනේ ද?