Colombo, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance

ඒකාධිපති මළ බෙර හඬ

IMG_0671
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් පත් කෙරුණු පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ වාර්තාව යළිත් වරක් ‘ස්වාධීන’ කමිටුවකින් විමර්ශනය කළ යුතු යැයි ජනාධිපතිවරයා ම දැන් ප‍්‍රසිද්ධියේ කියමින් සිටී. ඒ බව පළමු වරට ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ නවීන මහල් සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට පසුගියදා සහභාගි වෙමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන ආණ්ඩුව ගෙන ආ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව සම්න්ධයෙන් තමන්ට පැවැරී ඇති විධායක බලය ක‍්‍රියත්මක කරන්නට පෙර එකී වාර්තාව පිළිබඳ ස්වාධීන කමිටුවක් පත් කොට යළි විමසා බලන බවත් තමන් උත්තර දිය යුත්තේ තමන්ගේ හදවතට පමණක් බවත් එයින් තමන් සෑහීමකට පත් විය යුතු බවත් මෙම පියවර ගන්නේ තමන්ගේ අවශ්‍යතාව මත විනා ඒ සම්බන්ධයෙන් කිසිම නීතියක හෝ පොත පතක හෝ සඳහන් වී නැති බවත් ජනාධිපතිවරයා තවදුරටත් කියා තිබේ. ජනාධිපතිවරයාගේ මෙකී ප‍්‍රකාශය අනුව අපට පහත කරුණුවලට එළැඹිය හැකි ය.

1. දෝෂාභියෝගය විභාග කිරීමට (තම ආණ්ඩුව විසින් ම පත් කර ගනු ලැබූ) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ස්වාධීන එකක් නො වන්නක් යැයි ජනාධිපතිවරයා ම පිළිගන්නා බව.

2. ජනාධිපතිවරයා තම විධායක බලතල ක‍්‍රියාත්මක කරන්නේ ‘නීතියේ ආධිපත්‍යය’ සංකල්පයෙන් බැහැරව වන අතර රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඔහු නො තකා හැර ඇති බව.

3. ජනාධිපතිවරයා ක‍්‍රියා කරන්නේ ඔහුගේ සිත සෑහිමකට පත් කිරීම සඳහා පමණක් වන අතර ඔහු උත්තර දෙන්නේ ජනතාවට නොව ඔහුගේ සිතට පමණක් වන බව.

නඩුවක් විභාග කරන විනිශ්චයකාරවරයකුගෙන් හෝ විනිශ්චයකාර මණ්ඩලයකින් හෝ අනිවාර්යයෙන් ම අපේක්ෂා කරන්නේ නීතියේ සාධාරණත්වයයි. එනම් කිසිදු පාර්ශ්වයකට විශේෂ ළැදියාවක් නොදක්වා සාධාරණත්ව මූලධර්මය මත පිහිටා අදාළ නඩු කටයුත්ත විනිශ්චය කිරීම වේ. සාධාරණ හා අපක්ෂපාතී නඩු තීරණයක් අපේක්ෂා කළ හැක්කේ එවිටදී ය. අධිකරණ ක‍්‍රියාදාමයකින් කිසියම් කෙනකුට එරෙහිව චෝදනා ගොනු කොට එය විභාග කළ යුත්තේ පිළිගත් නීතිමය සම්ප‍්‍රදායකට අනුකූලව ය. අදාළ චෝදනා නිසියාකාරව විත්ති පාර්ශ්වයට දිය යුතු ය. චෝදනා ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සතුව ඇති ලිඛිත සාක්ෂි හා අදාළ සාක්ෂිකරුවන් ඇත්නම් එහි ලැයිස්තුවක් විත්ති පාර්ශ්වයට දීම අනිවාර්යය කාරණයෙකි. තමන්ගේ නිර්දෝෂීභාවය නිසියාකාරව ඔප්පු කිරීමට විත්ති පාර්ශ්වයට හැකියාව ලැබෙන්නේ එවිටදී ය. එසේ නැතිව තමන් උත්තරීතර යැයි කියා ගත් පළියට පාර්ලිමේන්තුවට හිතූ හිතූ ආකාරයට තේරීම් කාරක සභා පත් කොට ‘පිස්සු බල්ලන්’ මෙන් අධිකරණ කටයුතු කිරීමට ‘ප‍්‍රජාතන්ත‍්‍ර සමාජයක’ කිසිම ඉඩක් ලැබෙන්නේ නැත.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විධිමත්ව විනිවිදභාවයකින් යුක්තව ස්වකීය බලතල භාවිත කරන්නේ කෙසේදැයි දැන ගැනීමට අවශ්‍ය නම් බි‍්‍රතාන්‍ය පාර්ලිමේනතුව ඊට මනා නිදසුනෙකි. එහි තේරීම් කමිටු රැස්වීම් සජීව ලෙස රූපවාහිනී මාධ්‍යයෙන් නැරඹීමට ජනතාවට ඉඩ ලබා දී ඇත්තේ ද එකී කටයුතුවල විනිවිදභාවය ආරක්ෂා කිරීමට ය. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග විභාගය ද මාධ්‍යට විවෘත කොට එම කටයුත්ත විනිවිදභාවයකින් සිදු කළ යුතු යැයි ජනතා බලවේග දැඩිව ඉල්ලා සිටිය ද ඊට ආණ්ඩුව නිසි ප‍්‍රතිචාරයක් නො දැක් වූයේ තමන් කරන නීති විරෝධී ප්‍රෝඩාව ජනතාව ඉදිරියේ හෙළි වන නිසාවෙන් විය යුතු ය. ජනාධිපතිගේ හා ඔහුගේ සොහොයුරන් වන බැසිල් හා චමල් රාජපක්ෂවරුන්ගේ පූර්ණ අධ්‍යක්ෂණයෙන් මෙහෙය වුණු මෙම තේරීම් කාරක සභාව විසින් විත්ති පාර්ශ්වය හා විපක්ෂ සමාජිකයන්ගේ නියෝජනයක් නැතිව ම පැය කිහිපයක් ඇතුළත සියලූ සාක්ෂි කැඳවා අදාළ තීරණය ද දෙනු ලැබීමෙන් එහි ස්වාධීනත්වය කොතරම්දැයි මනාව ප‍්‍රකට කොට ඇත.

මෙහිදී විශේෂයෙන් සලකා බැලිය යුත්තේ ‘නීතියේ ආධිපත්‍යය’ හෙවත් ‘නීතියේ පාලනය’ සම්බන්ධයෙන් මෙරටේ විධායකය සහ ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව කොතෙක් දුරට අවනතව ක‍්‍රියා කරන්නේ ද යන්න ය. ‘නීතියේ පාලනය’, ප‍්‍රජාතන්ත‍්‍ර පාලන ක‍්‍රමවේදය පිළිගන්නා රාජ්‍යයන් වෙතින් අනිවාර්යයෙන් ම ප‍්‍රකට විය යුත්තෙකි. මෙයින් කියැවෙන්නේ ‘නීතියට ඉහළින් කිසිවක් නැත’ යන්න ය. එනම් පාලකයා සිටිය යුත්තේ ද නීතියට යටත්ව ය. පාලකයාට හිතෙන හිතෙන සෑම දෙයක් ම කළ නො හැකි ය. පාලකයා ද නීතියට අවනත වන්නා වූ කොටස්කාරයකු විනා එයින් පරිබාහිර පුද්ගලයකු ලෙස සැලැකිය යුතු නැත. පාලකයාට එක නීතියකුත් සාමාන්‍ය වැසියාට තව නීතියකුත් ක‍්‍රියාත්මක විය යුතු නැත.

නූතන දේශපාලනයට ‘නීතියේ පාලනය’ සිද්ධාන්තය හඳුන්වා දීමට පුරෝගාමීව ක‍්‍රියා කළ ඩයිසි(Dicey) විසින් අවධාරණය කරනු ලබන්නේ මෙම සිද්ධාන්තයෙන් මූලිකව ම කාරණා ත‍්‍රිත්වයක් අපේක්ෂා කරන බව ය. පළමු කාරණාව වන්නේ කෙනකු නීතියට අවනතව සිටින්නේ කොපමණ කලක් ද ඒ දක්වා ම ඔහු දඬුවමකට යටත් නො වන බව ය. එනම් රජයක් විසින් කෙනකුට දඬුවම් පනවනු ලැබිය යුත්තේ ඔහු නීතිය කැඩුවහොත් පමණී. මෙයින් අදහස් කරන්නේ රජයකට අත්තනෝමතිකව කිසිම පුද්ගලයකුට එරෙහිව දඬුවම් පැනැ විය නො හැකි බව ය. නිදසුනක් ලෙසට තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කොට නීතිමය ක‍්‍රියාවලියෙන් පරිබාහිරව දඬුවම් පැනැවීමට මෙහිදී පාලකයාට ඉඩක් ලැබෙන්නේ නැත.

දෙවැනි කාරණාව වන්නේ එක් නීතියකින් නැතහොත් එක් නීති පද්ධතියකින් සියලූ දෙනා ම පාලනය විය යුතු බව ය. එනම් සාමාන්‍ය ජනතාවට බලපාන නීතිය ම පාලකයාට ද බලපෑ යුතු ය. නිදසුනක් ලෙස තමන්ගේ ‘පාවිච්චියට’ හෙරොයින් ග‍්‍රෑම් 10 ක ළඟ තබා ගත් පුද්ගලයාට මරණ දඬුවම නියම කොට හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 100 ක් ළඟ බා ගත් මුළු රටේ ම හෙරොයින් බෙදා හරින ඇමැතිවරයකුගේ ගෝලයකු සියලූ චෝදනාවලින් නිදහස් කරන්නේ නම් එතැන නීතිය ක‍්‍රියාත්මක වන්නේ දෙයාකාරයකට ය. එවැන්නක් සිදු විය යුතු නැත.

මෙම සිද්ධාන්තයේ තෙවැනි මූලික කාරණාව වන්නේ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන්නේ හුදෙක් ලිඛිත නීතිය ම පමණක් අනුව නොව අධිකරණමය තීන්දු ප‍්‍රකාරව ද එය සුරක්ෂිත කළ යුතු බව ය. එනම් තමන් උත්තරීතර යැයි කියා ගත් පමණින් මුළු මහත් සමාජයට ම බලපාන අධිකරණ තීන්දුවක් නො තකා හරිමින් කටයුතු කිරීමට විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට හෝ නො හැකි ය. විධායකය හා ව්‍යවස්ථාදායකය විසින් අධිකරණ තීන්දුවලට ගරු කරනු ලැබිය යුතු යැයි නීති පොතක ලියැ වී නැතත් එසේ කිරීමේ පොදු සම්ප‍්‍රදායක් ස්ථාපිතව තිබේ. තමන් විධායකය නිසා හෝ උත්තරීතර නිසා හෝ එවැන්නක් නීති පොතක නැතැයි කියමින් හෝ එකී සම්ප‍්‍රදාය බිඳීමට විධායකයට හා ව්‍යවස්ථාදායකයට ඉඩක් නැත.

පොදුවේ ගත් විට ‘නීතියේ පාලනයෙන්‘ මූලිකව ම අපේක්ෂා කරන්නේ රජය විසින් ස්වකීය බලය භාවිත කරනු ලැබිය යුත්තේ සම්මුති නීතියකට අනුකූලව ම විය යුතු බව ය. එසේ නොමැතිව තමන්ගේ පටු දේශපාලන අරමුණු සාධනය කර ගනු පිණිස රජයකට අත්තනෝමතිකව තම බලය භාවිත කළ නො හැකි ය. මෙහිදී රජය යන්නට ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන ම අයත් වන්නේ ය.

මෙරට විධායකය හා ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව කටයුතු කරමින් සිටින්නේ නීතියේ පාලනයෙන් බැහැරව බව බැලූ බැල්මට ම පෙනෙන කාරණයෙකි. ජනාධිපතිවරයාගේ පවුලේ සමාජිකයන්ට හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන ආණ්ඩුවේ මැති-ඇමැතිවරුන්ට එක නීතියකුත් රටේ සාමාන්‍ය වැසියාට තව නීතියකුත් ක‍්‍රියාත්මක වන්නේ එනිසාවෙනි. ඇමැතිවරුන් නිදහසේ මත්ද්‍රව්‍ය ජාවරම් කරන්නෙත් කප්පම් ගන්නේත් ගණිකා මඩම් පවත්වා ගෙන යන්නේත් තවත් අනෙකුත් නීති විරෝධී කටයුතු කරන්නේත් එනිසාවෙනි. ආරක්ෂක ලේකම්වරයාගේ අණ පරිදි අත්තනෝමතිකව යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවමින් සිටින්නේත් පොලිස් හා හමුදා ක‍්‍රියාවන් නිසා නිරායුධ පුද්ගලයන් ඝාතනය වුවත් ඊට එරෙහිව නීතිමය පියවරක් නො ගන්නේත් එනිසාවෙනි. ‘බැලූ බැල්මට ම’ නඩු කටයුත්තක් නැති බව පැහැදිලිව ම පෙනී තිබියදීත් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් විධායක හා ව්‍යවස්ථාදායක බලය භාවිත කරමින් අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත කර ගන්නට වත්මන් ආණ්ඩුව ක‍්‍රියා කරමින් සිටින්නේ එනිසාවෙනි. ‘මා උත්තර දිය යුත්තේ මගේ සිතට පමණී’ යන සිතුවිල්ලෙන් ජනාධිපති කටයුතු කරමින් සිටින්නේ එනිසාවෙනි.

තමන් මෙරටේ විධායකයේ ප‍්‍රධානියා වූ නිසා ම තමන් උත්තර දිය යුත්තේ තමන්ගේ සිතට පමණක් යැයි ජනාධිපතිවරයා කියන්නේ නම් එය මුග්ධ ප‍්‍රකාශයක් බව පැහැදිලිව ම කිව යුතු ය. ජනාධිපතිවරයාට අඩුම වශයෙන් 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය හෝ පිළිබඳ අවබෝධයක් තිබේ නම් මෙවැනි මුග්ධ ප‍්‍රකාශයක් කරන්නේ නැත. ජනාධිපතිවරයා පත් කරනු ලබන්නේ ජනතාව විසිනි. ඒ, ජනතාවගේ විධායක බලය ක‍්‍රියාත්මක කිරීමට ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා ජනතාවට වගකිව යුත්තේ කුමන ආකාරයකට දැයි වචනයෙන් වචනයට විග‍්‍රහ කොට දක්වා නැත්තේ වුවත් ජනතාව විසින් පත් කෙරුණු විධායක ජනාධිපතිවරයාට තමන්ගේ හිතලූ අනුව අත්තනෝමතිකව ක‍්‍රියාත්මක කළ නො හැකි ය. විධායකයේ සීමා කවරේ ද යන්නත් නො කළ යුතු දේ කුමක් ද යන්නත් නීතියෙන් ලිඛිතව නොමැති වුවත් සම්ප‍්‍රදාය විසින් එහි සීමා ඇඳ ඇති බව ජනාධිපතිවරයා දැන ගත යුතු ය. යමක් නීති පොතක නැත්නම් ඒ දෙය නීති විරෝධී වන්නේ නම් එය නො කර සිටීමට සම්ප‍්‍රදාය විසින් විධායකයට බල කෙරෙනු ඇත. එමෙන්ම යමක් නීති පොතක නැත්නම් එහෙත් එය සමස්ත ප‍්‍රජාවගේ ම සුබසාධනයට යෝග්‍ය වන්නේ නම් එය කිරීමට සම්ප‍්‍රදාය විසින් බල කෙරෙනු ඇත.

එමෙන්ම ජනාධිපතිවරයාගේ සිතේ සෑහීමට පත් වන රේඛාව ඇත්තේ කොතනදැයි හෝ සෑහීමකට පත් වන්නේ කවරාකාරයකටදැයි හෝ කාටවත් නිශ්චය කොට දැක්විය නො හැකි ය. කෙනෙක් අනෙකාට සාධාරණත්වය ඉටු වෙනු දැකීමෙන් ම සෑහීමකට පත් වෙනු ඇත. තවකෙක් අනෙකාගේ විනාශය දකිමින් ම අපමණ සෑහීමකට පත් වෙනු ඇත. ජනාධිපතිවරයාගේ ‘සෑහීම’ ඇත්තේ කොතනදැයි කිව නො හැකි ය. නිදසුනක් ලෙස ඇඩොල්ෆ් හිට්ලර්, තම හමුදා බලය යොදවා නිරායුද යුදෙව් ජාතිකයන් මිලියන ගණනක් අමු අමුවේ ඝාතනය කිරීමට සැලැස්සුවේ වුව ඔහු කිසිදිනෙක එයින් සෑහීමකට පත් වූයේ නැත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් තුළ ස්වාධීන අධිකරණ පද්ධතියක අවශ්‍යතාව වඩාත් දැනෙන්නේ විධායකය හා ව්‍යවස්ථාදායකය කුමන අවස්ථාවක හෝ පටු දේශපාලන තීරණවලට එළැඹෙමින් නීති විරෝධී දේ කිරීමට උත්සහ ගන්නා විටදී ය. නීතියේ ආධිපත්‍යය බිඳෙන්නේ කෙදිනක ද එතැන ඒකාධිපති පාලනයක් බිහි වීම වැළැක්විය නො හැකි ය. මෙරටේ දැන් සිදු වෙමින් පවතින්නේ ද එයයි. දකුණේ සිංහල බහුතර ජනතාවගේ ජාතිවාදී හැඟීම් අවුස්සමින් ආණ්ඩුව තමන්ගේ ඒකාධිතපති ස්වරූපය යටපත් කර ගන්නට සමත් වී තිබේ.

ඒ යටපත් කර ගැනීම කොතරම් කාලයකට වලංගුදැයි තීරණය වන්නේ ආණ්ඩුවේ සැබෑ ඒකාධිපති පාලනය අවබෝධ කර ගැනීම සඳහා ජනතාවට කොතරම් කාලයක් ගත වන්නේ දැයි යන කාරණාවත් සමඟ ය ! එනම් ආණ්ඩුවේ ජාතිවාදී නැලැවිලි ගීයෙන් නිදා සිටින ජනතාව ස්වකීය නින්දෙන් සැබෑවට ම අවදි වී ප‍්‍රකෘති සිහියට පත් වන්නේ කවදාද වර්ගවාදී ඒකාධිපති පාලනයට එරෙහිව මළ බෙර වැයීම ද එදින ඇරැඹෙනු ඇත !!!

සඳුන් යාපා කරුණාරත්න[Sadun Yapa Karunaratne]

@SLG